1200 x 80 DMirror
 
 

 මීට අවුරුදු දෙකහමාරකට කලින් “ඛේමාගේ කොලුවා” යැයි ඔහුගේ පාර්ලිමේන්තු ජීවිතයේ තිස් වන සැමරුම් උත්සවය පවත්වනු ලැබූයේ 2019 පෙබරවාරි මස 28 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ
ශාලාවේදී ය. 
 
ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූයේ 1989 පෙබරවාරි 15 වන දින පැවති මහ මැතිවරණයෙනි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රීවරයෙකු වශයෙනි. 
 
කලින් විදේශ කටයුතු ඇමතිවරයා වූ “ඛේමාගේ කොලුවා” වන මංගල සමරවීර ඒ වනවිට මුදල් ඇමති ලෙස යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකි. 
 
ඔහුගේ මෙම සැමරුම් උත්සවයට ආරාධිත දේශකයා ලෙස පැමිණියේ ඇමෙරිකානු යුධ වාර්තාකාරිනියක්වූ, ඇමෙරිකානු විශ්ව විද්‍යාල මහාචාර්යවරියකවූ, බරාක් ඔබාමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක්වූ, ජනාධිපති ඔබාමාගේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියකවූ, ජාතික ආරක්ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරියක්වූ සහ පසුව එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිතවරියවූ යම් පමණක ආන්දෝලනාත්මක චරිතයක් වන සමන්තා පවර් ය. 
 

 ඇය කතාව ආරම්භ කෙරුවේ මංගලගේ ආරාධනය මොනම ආකාරයකින්වත් ප්‍රතික්ෂේප කළ නොහැකි හෙයින් මේ හදිසි ගමන පැමිණීමට ඇයට සිදුවූ බව කීමෙනි. 
 
යහපාලන ආණ්ඩුවේ ආරම්භක විදේශ කටයුතු ඇමතිවරයා වශයෙන් මංගල වගා කරගත් ප්‍රතිරූපය සතු වූ ආකර්ශනය එවැනි විය. 
 
මේ රටේ විදේශ කටයුතු අමාත්‍යවරුන් අතුරෙන් ලක්ෂමන් කදිර්ගාමර් සහ මංගල සමරවීර විශේෂ යැයි බොහෝ දෙන කියති. ඔවුන් බහුතරය වැඩි බරක් තබන්නේත් කැමැත්තක් දක්වන්නේත් එනමුත් කදිර්ගාමර් ඇමතිවරයාට ය. 
 
ඒ දෙපළ සැසඳීමේදී දැකිය හැක්කේ විදේශ කටයුතු ඇමති ලෙස අසීරු කාර්යන්ට උර දෙන්නට සිදුවූයේ මංගලට බවය. 
 
චන්ද්‍රිකා කුමාරතුංග අගමැති වූ පසු 1994 අවසන් කාර්තුවේ සිට (2001 දෙසැම්බරයේ සිට 2004 අප්‍රේල් දක්වා කාලය හැර) කදිර්ගාමර් ඇමතිවරයා 2005 අගෝස්තුවේදී ඝාතනය කරනු ලබන විටද මෙරට සිවිල් යුද්ධය බටහිර බලවතුන්ට සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කණ්ඩායමට මානූෂීය අර්බූදයක් නොවුනි. 
 
එබැවින් කදිර්ගාමර් ඇමතිවරයාට තිබූයේ එල්.ටී.ටී.ඊය ලොව රටවල් වැඩි සංඛ්‍යාවක තහනම් කරවා ගැනීමේ වගකීම පමණය. ඒ වෙනුවෙන් මෙරට සිංහල-බෞද්ධ දේශපාලනයෙහි ඔහුව වීරයෙකු ලෙස වැළඳගනු ලැබූයේ ඔහු දෙමළ ජාතිකයෙකුද වූයෙනි. 
 
එහෙත් දෙමළ සමාජයෙහි ඔහුට දෙමළ ජාතිකයෙකු යැයි එතරම් පිළිගැනුමක් නොවුනි.
 
සිංහල-බෞද්ධ සමාජයේ දෙමළ විරෝධී මුහුණතක් දෙනු ලැබූ එල්.ටී.ටී.ඊට එරෙහි යුද්ධය 2009 මැයි මාසයේ ජයග්‍රාහීව අවසන් කෙරුණු පසු එය අවසන් කෙරුණු ආකාරය ජාත්‍යන්තර මානව හිමිකම් හා ගැටුම් නිරාකරණය කිරීමේ ආයතන හා සංවිධාන විසින් දැඩි ලෙස ප්‍රශ්න කිරීමකට ලක් කෙරිණ. 
 
බටහිර බලවත් රටවල්ද එළෙසින්ම ලංකාණ්ඩුවට එරෙහිව යුධ අපරාධ, ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝණය, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, වග නොවීම් වැනි චෝදනා එල්ල කළහ. 
 
 
එවැනි අපරාධ සඳහා ආණ්ඩුවේ නායකයින්ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් උපරිම දඩුවම් ලබා දිය යුතු යැයි දෙමළ ඩයස්පෝරාව ලොකු ගෝසාවක් නැගූහ. ශ්‍රී ලංකාණ්ඩුවට එරෙහිව 2009 සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙහි හැම සැසි වාරයකම යෝජනා සම්මත කෙරෙන්නට විය. විදේශ කටයුතු ඇමති වශයෙන් මංගල මුහුණ දෙන්නේ මේ අභියෝගයන්ට ය. 
 
 
ඔහුගේ හැකියාව ගැන එකල කොළඹ ප්‍රභූ සම්බන්ධකම් පමණක් නොව, වෘත්තිකයකු ලෙසද ඉහළ පිළිගැනුමක් තිබූ අයෙකු මා සමග කියූවේ, “මංගලට පින් සිද්ධ වෙන්න දැන් ඕනැම එයාපෝට් එහෙක අපේ පාස්පෝට් එක දිගු කරන්න පුළුවන් ලැජ්ජා නැතුව” යැයි කියා ය. 
 
ඔහු කියුවේ ඊට පෙර කාලයේ පිටරටකදී ශ්‍රී ලාංකිකයෙකු යැයි කියූ විට අනෙකා බලන බැල්මෙහිද බාල්දු අපහාසාත්මක පෙනුමක් තිබුණු බවය.    
 
 
471908402.jpg 
නිදහසින් පසු අපගේ දෙවන පරම්පරාවේ කසි කබල් දේශපාලනඥයින් අතරින් මංගල අනෙක් හැමට වඩා වෙනස් වන්නේ ඇත්තටම ප්‍රතිපත්ති ගරුක ලිබරල් දේශපාලනයක් නිසාම නොවේ. 
 
මහ බැංකුව දක්වාම යෝධ දූෂණ දිගු ඇදෙන ඉහ වහා ගිය අතිශය දූෂිත දේශපාලන සංස්කෘතියක “මිස්ට ක්ලීන්” පවා මහපරිමාන දූෂණ සඳහා වගකිව යුතු වූ රටක, මංගල සමරවීර ආණ්ඩු පාලන යුග දෙකක කිසිදු දූෂණ වංචා චෝදනාවක් නොමැති ඇමතිවරයෙකුව සිටීමම ඉතාම ගෞරවනීය පැවැත්මකි.
 
 
 
“සංස්කෘතික සත්වයා”
එළෙසින් මා 1988 සිට ඉතා සමීපව හඳුනාගෙන සිටි, නිතර මා සමග ඉතාම සුහද නමුත් බරපතල වාද විවාද වල පටලැවූනු මංගලගේ ගති ලක්ෂණ අතර වූයේ දූෂණයෙන් තොර පෞද්ගලිකව අවංකයෙකු වීම පමණක්ම නොවේ. වර්තමානයේ ප්‍රධාන දේශපාලන ධාරාවේ අති බහුතරයක් දේශපාලනඥයින් නොකරන වැදගත් පොත පත කියවීම, ඉහළ සෞන්දර්යාත්මක අගයක් ඇති සිංහල හා ඉංග්‍රීසි සාහිත්‍ය කලාව ඇසුරු කිරීම ඔහුගේ ඉතාම වැදගත් ලක්ෂණයක් විය. 
 
ඒ දියුණු “සංස්කෘතික සත්වයා” කාටත් හඳුනාගත හැකිවන ලෙස එක් සිදුවීමක් මංගලට කෙරෙන ගෞරවයක් ලෙස මෙහි සටහන්කර තැබිය යුතු යැයි සිතමි. 
 
ඇමෙරිකාවේ ඩිමොක්‍රැටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තේරීමේ ප්‍රාථමික තරග වටයේ අවසානය පැමිණ තිබුණි. එදින රාත්‍රියෙහි මංගලගේ නිවසෙහි අල්ලාප සල්ලාපයේ යෙදී සිටි අප අතර වාදය වූයේ ඩිමොක්‍රැටික් ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න ය. මගේ තේරීම බරාක් ඔබාමා වූ අතර මංගල තර්ක කෙරුවේ හිලරි ක්ලින්ටන් වෙනුවෙනි. 
 
ඉන් සති කිහිපයකට පසු මංගල ලන්ඩන් බලා පිටත්ව ගියේය. ඔහු පෙරළා පැමිණියේ (2008) මැයි මාසයේ 23 වන දිනය. ඒ වනවිට ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔබාමා තේරී සිටියේය. පුරුද්දක් ලෙස ගුවන් යානයේදී කුමක් හෝ පොතක් කියවන මංගල ඒ සඳහා පොතක් ගැනීමට හීත්රෝ ගුවන් තොටුපලේ පොත් සාප්පුවකට ගොඩ වන්නේය. 
 
එහිදී බරාක් ඔබාමා ලියූ සිය පියා සම්බන්ධ මතක සටහන් සහිත පොත (Dreams from My Father) දුටු විගස ඔහු එය තෝරා ගන්නේය. මෙහි පැමිණි වහා ඔහු එය මට තෑගි කළේය. එහි ඔහුගේ අත්සන සමග “හිතවත් කුසල්, විනාශවන අපේ රටට යහපත් අනාගතයක් ලබාදීමට නොබියව සිහින මවන ඔබට මෙය තිළිණයකි” යැයි ඉංග්‍රීසියෙන් සටහනක් තබා තිබිණ. 
 
පාර්ලිමේන්තුවේ 225 අතර මංගල හැර වෙනත් එවැනි කෙනෙකු තෝරා ගැනීමට සිටීදැයි මට වහා ප්‍රශ්නයක් ඇති විය. එවැනි පොත් කියවන? තවත් පොත් කියවන්නෙකුට පොතක් තෑගි කළ යුතු යැයි හිතන? ඔහු දියුණු “සංස්කෘතික සත්වයකු” යැයි කීවේ එනිසාවෙනි. එහෙත් මේ වැනි දියුණු සංස්කෘතියක් සමගින්වන මංගල හැම කාරණාවකදීම එසේ නොවන බවත් මෙහි සටහන් කළ යුත්තේ මෙය මිය ගිය හිතවතෙකු පිළිබඳව කෙරෙන සම්ප්‍රදායික ස්ත්‍රෝත්තයක් නොවන හෙයිනි.
 
මංගල සමරවීර පැතිකඩ කිහිපයක් සහිත දේශපාලනඥයෙකි. එකක් ඔහුට බාර කෙරෙන ඕනෑම වැඩක් කැපවීමෙන් හා අවංක මහන්සියකින් කිරීමය. අනෙක ඔහු හැම විටම දේශපාලන බලය සඳහා දැක්වූ අධි තෘෂ්ණාවය. ඊළඟට ඔහුගේ වෘත්තීය සුදුසුකම් අනුවම ඔහු අලුත් නිර්මාණ සමගින් ඔහුගේ වටපිටාව සැරසීමට උනන්දු වීමය. 
 
ඔහු ගොඩවන හැම අමාත්‍යාංශයක්ම ලස්සණ සුවපහසු තැනක් ලෙස සකසා ගැනීමට ඔහු පසුබට නොවීය. 
 
ඔහු 2007 රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයේ අසුන්ගත් පසු සිංහලවාදී පෞද්ගලික රූපවාහිනියක කෙරුණු සාකච්ඡාවකදී එය මෙහෙයවන්නිය ඔහු දූෂිත යැයි කීමට දිගින් දිගටම ප්‍රශ්න කරන්නට වූයේ ඔහු අමාත්‍යාංශය අලුත්වැඩියා කිරීමට දැරූ වියදම ගැන කීමෙනි. එයට පිළිතුරු දෙමින් මංගල කියුවේ, “මට වැඩ කරන තැන ලස්සණට පිළිවෙලට තියෙන්න ඕනේ. මට වෙන අය වගේ ගුබ්බෑයම්වල වැඩ කරන්න බැහැ. රජයේ කාර්යාල වලට යන්න. ඒවායේ කොහොමද වැඩ කරන්නේ? ඒවට උදේට ආවම වැඩක් කරන්න හිතෙනවද?” යනුවෙනි. ඔහු කියූ අයුරු ගුබ්බෑයම් ලෙස පැවති තැපැල් කාර්යාලද අලුත් කෙරුණේ මංගල විෂය භාර ඇමති වූ පසුවය.
 Mangala samaeaweera 3
 
 
දේශපාලන බලය සඳහාවූ ඔහුගේ අධි තෘෂ්ණාව අන් සියල්ලට ඉහළින් තිබුණකි. එනිසා බලය තහවුරුකර ගැනීමේදී අද බොහෝ දෙනා ඔහුගේ ගුණ ගයන්නට කියන “ප්‍රතිපත්ති ගරුක ලිබරල් මංගල” හිටියේ නැත. 
 
ඔහු සාම සාකච්ඡා වෙනුවෙන් පෙනී සිටි වික්‍රමසිංහට විරුද්ධව දකුණේ සියලු ජාතිවාදී කණ්ඩායම් ගොනු කරනු ලැබූ 2005 ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයේ කලමනාකරුවකු වූයේ ලිබරල්වාදය වෙනුවෙන් නොව, මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය සමග ආණ්ඩු බලය සඳහාය.
 
එයට ඉතාම හොඳ නිදසුන ඔහු ලබා දුන්නේ 2001 දෙසැම්බර මැතිවරණ පරාජය සමගය. ඒ මැතිවරණයෙන් බලයට පැමිණි වික්‍රමසිංහගේ එ.ජා.ප ආණ්ඩුව කටයුතු කළ යුතුව තිබුණේ විපක්ෂය නියෝජනය කළ විධායක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සමගිනි. 
 
වික්‍රමසිංහ අගමැතිගේ ආණ්ඩුවේ බරපතලම හා දැවැන්තම දේශපාලන කටයුත්ත වූයේ නෝර්වේජියානු මැදිහත්කරුවන් සමග එල්.ටී.ටී.ඊය හා ආරම්භ කළ සාම සාකච්ඡාවන්ය. ඒ වෙනුවෙන් අන් කවරදාකවත් නොවුනු ආකාරයේ සටන් විරාමයක්ද පවත්වා ගත යුතුව තිබිණ.
 
ජනාධිපති කුමාරතුංග ගේ 1995 ජනවාරියේ ආරම්භ කෙරුණු අළස සාම සාකච්ඡා බිඳ වැටුණු පසු ආරම්භ වූ “සාමය සඳහා යුද්ධය” යැයි නම් කෙරුණු යුද්ධය අතරතුර දකුණේ සමාජය බලය බෙදීමකට සූදානම් කිරීමේ මතවාදය වෙනුවෙන් චන්ද්‍රිකා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු ලෙස “සුදු නෙළුම්” සමගින් “තවලම්” ගිය මංගල, 2002 පෙබරවාරියේ වික්‍රමසිංහ ආණ්ඩුව ආරම්භ කළ සටන් විරාමයට හා සාම සාකච්ඡා වලට විපක්ෂය් මන්ත්‍රීවරයෙකු ලෙස විරුද්ධ වන විට, ඔහුට ලිබරල්වාදයක් අවශ්‍ය නොවුනි. 
 
ආණ්ඩු බලය නැවත ලබා ගැනීම වෙනුවෙන් වික්‍රමසිංහ ආණ්ඩුව අස්ථාවර කිරීමට එදා අන්ත ජාතිවාදී කණ්ඩායම් මංගල හවුල් කර ගත්තේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය ඉතාම නිර්ලජ්ජි ලෙස යොදා ගෙන වික්‍රමසිංහ ආණ්ඩුවේ අමාත්‍ය ධූර පවරා ගනිමින් ඒ ආණ්ඩුව විසුරුවා හැරී චන්ද්‍රිකාගේ සැළසුමෙහි චන්ද්‍රිකාගේ විශ්වාසවන්තම සගයා වූයේද මංගල ය.
 
එවගේම බලය වෙනුවෙන් ඔහු ප්‍රතිපත්ති පැත්තකින් තැබීමේ අනෙක් අවස්ථාව දැකිය හැක්කේ 2010 ජනාධිපතිවරණයට යුද සෙන්පතියකු ලෙස වර්ණ ගැන්වූ ජෙනරාල් සරත් ෆොන්සේකා විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස තොරම්බල් කිරීමෙහිදීය. 
 
ජනාධිපති කරවීමට වඩාත්ම සුදුසු අපේක්ෂකයා ජෙනරාල් ෆොන්සේකා යැයි කියමින් රට පුරා යන විට, සමාජයම හමුදාකරණය කිරීමේ මතවාදයකට ඉන් යටත් කෙරෙන බව ඔහුට ඒ මොහොතේ අදාල නොවුනකි.
 
මංගල නැවත සැබෑ ලිබරල්වාදියකු වන්නේ 2020 දී සම්මත පාර්ලිමේන්තුවාදී දේශපාලනයෙන් ඉවත් වන්නට සිදුවූ පසුවය. 
 
ඔහු හා වැඩි දේශපාලන එකඟත්වයක් තිබූ අගමැති වික්‍රමසිංහ වෙනුවට ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස පෙරට ගැනීමට අවශ්‍ය එ.ජා.පයේ පිරිස් ගොනු කරන්නට මංගල අත ගසන්නේ වික්‍රමසිංහට වඩා සජිත් ආකර්ශනීය ජනාධිපති අපේක්ෂකයෙකු වන්නේ යැයි විශ්වාස කළ හෙයිනි. 
 
නැවත ආණ්ඩු බලය ගැන ගණන් හැදීමේදී ජයග්‍රහණය සඳහා ඔහුට ඔහුගේ ලිබරල්වාදයට වඩා එනිසා සජිත්ගේ සිංහල-බෞද්ධ ආටෝපය වැදගත් විය. එහෙත් 2019 නොවැම්බර ජනාධිපතිවරණයේදී ඡන්දදායකයාට රාජපක්ෂලාගේ සිංහල-බෞද්ධ දේශප්‍රේමය තරම් වෙන කිසිවක් වැදගත් නොවුනි.
 
ජනාධිපතිවරණයේ සජිත්ගේ පරාජයෙන් පසු මංගලගේ උපාය වූයේ රාජපක්ෂ දේශපාලනයේ සිංහල - බෞද්ධ ජාතිවාදය අභියෝග කිරීමෙන් පාර්ලිමේන්තු මැතිවරණය දිනා ගැනීමය. ඔහුගේ ගණන් හැදීමට අනුව රට පුරා දෙමළ හා මුස්ලිම් ඡන්ද සාම්ප්‍රදායික එ.ජා.ප ඡන්ද වලට එකතු කිරීමෙන් බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීමට ඉඩ තිබිණ.
 
 ඔහුගේ දේශපාලන සූත්‍රය දිරවන පිරිසක් එනමුත් සජිත්ගේ සමගි ජන බලවේගයේ නොවූනි. නාමයෝජනා බාර දීමෙන් පසුව මංගලට සජිත්ගේ දේශපාලන හවුලෙන් ඉවත් වන්නට සිදු විය. 
 
 

 
 
ඔහු මැතිවරණ දේශපාලනයෙන් ඉවත් වන්නේ නැවත රාජපක්ෂලා සමග සම්මුති ගැසීමට සූදානම් නොවූයෙනි. දේශපාලන ස්වාධීනයෙකු ලෙස ඔහුට ඒ අනුව ඉතිරිවූයේ ඔහුගේ ලිබරල් දේශපාලනය විකල්පයක් ලෙස කතා කිරීම සඳහා වේදිකාවක් ගොනුකර ගැනීම පමණය.
 
බලය වෙනුවෙන් දේශපාලන ප්‍රතිපත්ති නොතැකූ මංගල මට අනෙක් සියලු දෙනා හා ගත් කල සාපේක්ෂව වැදගත් වූයේ ඔහුගේ බල ව්‍යාපෘති නොතැකූ නිදහස් හා නොවෙනස්වන දේශපාලනයක්ද ඔහු සතුව තිබූයෙනි. 
 
බල දේශපාලනයේ සම්මතයන් නොතකා ඒ වෙනුවෙන් ඔහු පෙනී සිටි හෙයිනි. ඒවා එනමුත් පරිධියේ දේශපාලන ස්ථාවර විය. ඒවායේ වැදගත් කමක් තිබූයේ නාගරික මැදපංතික අලුත් පරම්පරාවන්ට පමණි. 
 
ඔහුගේ “රැඩිකල් මැද මාවත දේශප්‍රේමය” විසින් ආමන්ත්‍රණය කෙරුණේද ඒ සමාජ ස්ථරයන්ය. ඉන් එහා දේශපාලන ක්‍රියාකාරිත්වයක් ඔහු බලාපොරොත්තු වූයේ නැතැයි මට විටෙක සිතුනි. 
 
ඔහු ඔහුගේ සීමා තේරුම් ගැනීමේ අවදියකට ඒ වනවිට පැමිණ සිටියේය. ඔහු අපගෙන් සමුගෙන යන්නේ ඒ අවබෝධය ඇතිව ඔහුගේ අලුත් අත්හදා බැලීමට අවශ්‍ය කාලය ලබා නොගෙනය. 
 
ඔහු වෙනුවෙන් මා කණගාටු වන්නේ එනිසාවට වඩා, වාද විවාද කළ හැකි දියුණු සංස්කෘතික සත්වයෙකු අපට අහිමිවුනු නිසාවෙන් ය.
 
එහෙත් මම මංගලට නිවන් සුව නොපතමි. මංගල ඒ ගැන උනන්දු නොවුනු නිසාම නොවේ. මට එවැනි විශ්වාසයක් නොමැති හෙයිනි. “ඛේමාගේ කොලුවත් ගියා” යැයි කියමින් එනිසා නවතිමි. 
 
 
 
Kusal 28කුසල් පෙරේරා
සමාජ - දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී 
2021 අගෝස්තු 24 වන දින
 
 
 
 
 

 
THE LEADER TV 
 
 
ආණ්ඩුවත් නොදන්නා ආණ්ඩුවේ තීන්දු ගන්නේ කවුද? 
 
 
 
මංගල අපි හැමෝගෙමයි ‍ | ක්‍රිෂාන්ත කුරේ 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්