‘‘මෙතන තුන්දෙනෙක් වැඩ කරනව ද... දෙන්නෙක් වැඩ කරනව ද... හතර දෙනෙක් වැඩ කරනවද කියල තීරණේ කරන්නෙ ඔහෙයි මායි නෙවෙයි නෙ.
ලොකු සර්... ලොකු සර් මැනේජර් මහත්තෙයට කියනව... මැනේජර් මහත්තෙය අපිට කියනව... අපි කරනව. එයාල අපිට පඩි ගෙවනව... එච්චරයිනෙ... හරි... දැං මෙහෙම හිතනවකො... මට නිවාඩුවක් ගන්න ඕනෙ උණා... ඔහේට ඇහැකිය මෙතන තනියම වැඩ කරන්න... ඔහේට නිවාඩුවක් ගන්න ඕනෙ උණා... අන්න එදාට මටත් බෑ තනියම වැඩ කරන්න... ඉතිං තව කවුරුහරි පුරුදු කරල තියෙන එක කොච්චර දෙයද්ද... නැද්ද මං අහන්නෙ...?’’
සුමනෙ අයිය එහෙම ඇහුව ම ‘‘ඒකනං එහෙම තමයි... ඒත් ඉතිං...’’ කියල පාලිත මූණ ඇඹුල් කරගත්ත.
‘‘ඒකනං එහෙම තමයි නං ඉතිං ආයි මක්කයි... මෙන්න මූට වැඩ ටික උගන්නව... ආ... මල්ලි... ඔහේ උදේට කෑවයි...?’’
පාලිතට දොස් පවරන අතරෙ ම සුමනසිරි අයිය මගෙන් ඇහුව.
‘‘නෑ අයියෙ...’’
මං කෙටියෙන් ම උත්තර දුන්න.
‘‘හරි... අපි දෙන්න ගිහිං කාල එමු. එහෙනං පාලිත... අපි කාල එන්නං...’’
‘‘හම්ම්ම්...’’
පාලිත අනුමැතිය දුන්නෙත් නිකං ඕනවට එපාවට වගේ.
කෑම පැන්ට්‍රිය බාරකරු හෙවත් වඳුරඹ
මෙහෙට්ට එක එක ජාතියෙ එවුන් වැඩට එනව. සමහර එවුන් ඇවිල්ල දවසෙන් දෙකෙන් යනව. සමහර එවුන් ඉන්නව... දැං අවුරුදු පහළොවකටත් වැඩි. සමහර එවුන් සිංහල අවුරුද්දට ගියාම ආයි එන් නෑ. ටික දවසකින් මෙන්න ඒ එකෙක් දෙන්නෙක් මේ කඩ පේළියෙ ම තියෙන තව හෝටලේක වැඩ කරනව හම්බ වෙනව. ඒක තමයි හෝටල් රස්සාවෙ හැටි. මේ කියන මං ඇවිල්ලත් දැං අවුරුදු අටක්. මට දැන් අවුරුදු හතළිස් දෙකක්. මට දරුවොත් දෙන්නෙක් ඉන්නව. හෝටලේට එන අලුත් වගේ ම පොඩි කොල්ලො ඩැහැගන්න මෙතන ඉන්න අවුරුදු විස්සෙ කොල්ලගෙ ඉඳල අවුරුදු හැට පැනපු එවුන් අතර පවා තියෙන්නෙ මාර ෆයිට් එකක්. හරියට හිර ගෙදර වගේ. ඒ සමහර එවුන් කසාදත් බැඳල. මට වගේ ම එවුන්ටත් දරුවො ඉන්නව. හැබැයි ඉතිං ගෙදර යන්නෙ මාස දෙක තුනකට සැරයක්. ඉතිං ඒ අතරතුර තමයි ඔය කොල්ලෙකුගෙ පිහිට පතන්නෙ. මේ කියන මමත් එහෙමයි.
සුමනසිරිත් එක්ක පැන්ට්‍රිය ඇතුළට ආපු අලුත් කොල්ල දැකපු ගමන් තමයි මට මේ ටික මතක් වුණේ. කොල්ල කළුයි. හැබැයි හිනාව මූණෙ පිරිල. මං වශී වුනෙත් ඒ හිනාවට. ඇත්තට ම ඊටත් වඩා වශී වුණේ ඌ ඇඳල හිටියෙ කොට කලිසමක් නිසා. මේකෙ වැඩ කරන එකෙක්කත් කොට කලිසං අඳින්නෙ නෑ. කුස්සියෙයි බේකරියෙයි වැඩ කරන එවුන්ට ඇරුනම වෙන කාටවත් වැඩ කරද්දි කොට කලිසං අඳින්න දෙන්නෙත් නෑ. අඳින්නෙ ම සරම. ඉතිං මං කල්පනා කරේ මේ පොඩි එකා කොහොමද කොට කලිසම ඇඳං වැඩ කරන්නෙ කියල.
‘‘ආ... සුමනෙ මල්ලී... බට්ටෙක් හම්බෙලා වගේ... කොහෙන්ද බං හොයාගත්තෙ...?’’
මං සුමනසිරිගෙන් එහෙම ඇහුවෙ ඌට දැන් අවුරුදු තිහක් විතර වුනත් ඌටත් මේ කොලු අමාරුව තියෙන නිසා. හැබැයි ඌ නම් තවම කසාද බැඳලත් නෑ. මං එහෙම අහපු ගමන් සුමනෙ මගේ දිහා බැලුවෙ හිනාව අතරෙම පොඩි කේන්තියකුත් එකතු කරගෙන.
‘‘බට්ටෙක්... අනෙ මේ ප්පලයං යන්න. මං හොයාගත්ත බට්ටෙක් නෑ... මැනේජර් මහත්තෙය තමයි කිව්වෙ මෙයාට ගිෆ්ට් අයිටම් කෑල්ලෙ වැඩ පුරුදු කරන්න කියල. ඔන්නොය පාන් කෑල්ලක් ගනිං මටයි මේ මල්ලිටයි කන්න.’’
‘‘ආ හා... මල්ලිට ආදරෙයි වගේ ආ... පරිස්සමෙන් මල්ලි...’’
‘‘අනෙහ් මේ වඳුරඹයො... මගෙං කුනුහබ්බ නාහ අපිට කන්න දියං... ඉස්සරහ පාලිතය විතරයි.’’
‘‘හරි හරී... කන්න දෙන්නං... මං ඉන්නෙම ඉතිං ඒකට නෙහ්... මෙහ්... උඹේ නම මොකද්ද මල්ලියෙ...?’’
කොයික කරන්නත් ඉස්සරවෙලා කොල්ලගෙ නම දැනගෙන ඉන්න ඕනෙ නිසා පුරුදු විදියට ම මං නම ඇහුව. මෙතනට එන සමහර එවුන් නම් නම ඇහුවම ඇඹරෙනව. හැබැයි මූ එහෙම නෑ...
‘‘මගෙ නම යොහාන්... යොහාන් යසසිරි... මාමයි නම කොහොමෙයි...?’’
අහපු ගමන් ම නම කියපු එකට නං මං කැමති වුණා. හැබැයි මේකා මට මාම කියපු එක තමයි ඇල්ලුවෙ නැත්තෙ...
‘‘මාමෙ...? මං කොහොමෙයි බං උඹේ මාම උණේ...? මට අයිය කියහං... මෙහෙ එවුං මට කියන්නෙ වඳුරඹ කියල. හැබැයි කොල්ලො ඒ මගේ නම නෙවෙයි... ඒ මගේ ගම... මගේ නම ගුණදාස... ගුණදාස කෝට්ටගේ... උඹ එක්කො මට ගුණදාස අයියෙ කියහං... එහෙම නැහ්නං වඳුරඹයියෙ කියහං... හැබැයි කොල්ලො මාමා කියන්න නං එපා හරිය...’’
කොල්ල මොනවත් නොකිය පොඩි හිනාවකුත් දාන ගමන් ඔළුව දෙපැත්තට වැනුවෙ ‘හා’ කියන අදහසින්.
‘‘මෙහ්... යසසිරි... මේකා කියන එව්ව ඒ හැටි මායි කොරන්නෙපා... කියහං... උඹ මොනව එක්කෙයි පාං කන්නෙ... මෙහේ ඉතිං මාළු එහෙම නං කන්න තහනං. මාළු කන්නෙ බත්තෙක්ක විතරයි. පාං කන්න: පරිප්පු, අල හොදි, හාල්මැස්සො හොදි ගන්න පුළුවං...’’
ඒ කරුණු පැහැදිලි කරේ සුමනසිරි.
‘‘ඔවු ඔවු... ඒක තමයි මෙහේ හැටි. හැබැයි මල්ලි උඹට මාළු එහෙම ඕන්නං කියහං... නැද්ද සුමනෙ... ඒව දෙන විදිහ මං දන්නව... සුමනෙ... උඹ මේ කොල්ලට කියල දීහංකො...’’
මට ඕනකම තිබුණෙ කොල්ල මගේ දිහාට නම්ම ගන්න. ඒත් සුමනසිරිගෙන් ඒකට උදවුවක් ලැබුණෙ නෑ.
‘‘මෙහ්... යසසිරි... මූ කියන ඒව අහල අමාරුවෙ වැටෙන්නෙපා. ඔහේ අලුත් නෙ. කන්න බොන්න තහනං කරපුව කන ක්‍රම අපි දන්නව. හැබැයි ඒකට ඔහේට තව කල් තියෙනව. ඒව අපි කියල දෙන්න ඕන වෙන එහෙකුත් නෑ. ඔහේට ඒව දැනගන්න හම්බෙයි. අපි දෙන්නට ම ඔන්නොහෙ කලවං හොදි ටිකක් දිය බං’’
‘කලවං හොදි’ කියන්නෙ: පරිප්පුයි, අල කෑල්ලක් එක්ක හොදියි, හාල්මැස්සොයි ඔය... මස් හරි මාළු හරි හොදියි කලවමේ ගන්න එකට.
‘‘මේ... යසසිරි... මං දැං මේ ඔහේව ඇතුළට එක්කරගෙන ආවෙ ඔහේ අලුත් කෙනෙක් නිසා. සාමාන්‍යයෙන් වැඩ කරන අය ඇතුළට ගන්නෑ. මේක ඇතුළට එන්න පුළුවං: ලොකු සර්ටයි, මැනේජර් මහත්තෙයටයි, බිල් මහත්තෙයටයි, කුස්සියෙ තුන්දෙනාටයි, බේකරියෙ එවුන්ටයි විතරයි. මීට පස්සෙ කන්න ආපු වෙලාවට අර ඉස්සරහ තියෙන කවුන්ටරේ ගාවට ඇවිත් කන දෙයක් වඳුරඹයිගෙන් ඉල්ල ගන්න හරිය. ඊට පස්සෙ අන්න අර කෙළවරේ ම මේසෙ තියෙනව නේද... එතනට ගිහින් සාමාන්‍යයෙන් කඩෙං කන්න ආපු කෙනෙක් වගේම කන එකයි තියෙන්නෙ... නැද්ද වඳුරඹයියෙ...’’
සුමනසිරි කොල්ලට කරුණු කාරණා පැහැදිලි කරල දුන්නෙ පානුයි හොදියි අරගෙන මේසෙට යන ගමන්මයි. දවල්ට නං ඉතිං අවුලක් නෑ... රෑට තමයි කොල්ලට...
- * *
ඒක නම් ඇත්ත. කඩේ වහල ඇඟපත හෝදන්න ගියපු වෙලාවෙ ඉඳං ම හැම එකාගෙම කටේ තියෙන්නෙ ම මං ගැන. මට සබන් දෙන්න, දත් බෙහෙත් දෙන්න, මට පැදුරු දෙන්න, කොට්ට දෙන්න, මගේ බෑග් එක පරිස්සං කරල දෙන්න මගෙ වයසෙ ඉඳං කොණ්ඩෙ සුදු වෙච්ච එවුන් දක්වා හිටපු හැම එකෙක් ම ඉදිරිපත් වෙනව. හැබැයි ටික වෙලාවක් ගියාම සුමනෙ අයිය කතා කරපු හැටියෙ හැම එකාගෙ ම කටවල් වැහුණ.
‘‘මේ... උඹල කවුරුවත් එයැයිට කොට්ට පැදුරු දෙන්න ඕනෙ නෑ... කොට්ට පැදුරු නැහ්නං ඔය කාඩ්බෝඩ් තියෙන්නෙ. මං ඒ මොකක් හරි හදල දෙන්නං. අනික ඔය කොට්ටවල තොපේ කුණු කෙළ පිරිල. ඒ හිංද උඹල ඒ ගැන කලබල වෙන්නෝන් නෑ. අනික මැනේජර් මහත්තෙය මේ මලයව බාර දුන්නෙ මටනෙ හරිය...’’
ඊට පස්සෙ ඉතිං රෑට කාල නිදාගන්න යනකං හැම එකා ම වග විස්තර අහන එකේ ඉවරයක් නෑ. ගම කොහෙද, ඇයි ගෙදරින් ආවෙ, ඉස්කෝලෙ කීයට ගියාද, මෙහේ අඳුරන කවුරුත්ම නැද්ද, මීට කලිං හෝටල්වල වැඩ කරල තියෙනව ද, පඩිය කීයක් දෙනව ද කියල මැනේජර් මහත්තෙය කිව්ව ද, ලොකු සර් මොනවයි ඇහැව්වෙ... වගේ එක එක ප්‍රශ්න... ඒ වෙලාවෙත් ඉදිරිපත් වුණේ සුමනෙ අයිය.
‘‘යකෝ... ඔය කොල්ලට ඉන්න දීහල්ල... ආ... හරි... මං කියන්නෙයි...’’ කියල ඔක්කෝට ම ඉස්සරහට එන්න කියල මට කිව්ව ‘‘ඔන්න දැං කියහං මලයො උඹේ වග විස්තර ටික. ආයෙ මේකෙ ඉන්න එවුන් එක එකාට කිය කිය ඉන්න ගියොත් එහෙම අද විතරක් නෙවෙයි තව සුමානයක් යනකං අපිට නිදාගන්න හම්බෙන්නෑ.’’
‘‘ඔක්කොම කියන්නෙයි අයියෙ...?’’
මං ඇහුවෙ ඉස්ඉස්ලෙම දවසෙ ඉස්කෝලෙ රැස්විමෙ දි කතාවක් කරන්න කියපු දවසෙ වගේ.
‘‘ඔවු ඔවු... නැහ්නං ඉතිං ඔහේටම තමයි මළ කරදරේ...’’
මේ වෙලාවෙ මගේ පැත්තට ඉන්නෙ සුමනෙ අයිය විතරයි. ඒ නිසා එයැයි කියන දෙයක් කරන එක තමයි හොඳ ම වැඩේ.
* * *
‘‘මගේ ගම කොහේද කියල කියන්න නං මං දන්නෑ. හැබැයි තාත්තයි, පුංචම්මයි, කතා කරන්නයි ඇවිදින්නයි බැරි අයියයි එක්ක කොළඹ පැත්තෙ කොහේ හරි ඉඳල ආව කියල මතකයි. අම්ම කවුද කියල මං දන්නෑ. හැදුණෙ පුංචම්ම කියල මට කියපු නිමලම්ම ගාව. ඉස්සෙල්ල ම ආවෙ කොස්නිල්ගොඩට. තාත්තයි ඒ ගෙවල් අයිතිකාරයයි රංඩු වෙච්ච නිසා අපි ටික කාලයක් මොරවක බාප්පලයි දිහා හිටිය. මොරවක ටවුමෙ ම... පොළ ඉස්සරහ... එතන ටික කාලයක් ඉඳල දංගල පදිංචියට ගියා.
කාලයක් දංගල ඉද්දි තාත්තට ආංඩුවෙ රස්සාවක් හම්බුණා. ඒ තාත්ත හැත්තෑවෙ ඉලක්ෂන් එකට වැඩ කරපු නිසා. රස්සාව හම්බුණාට පස්සෙ කාලයක් ගියාම තාත්ත ගෙදර නෑවිත් ඇරිය. පුංචම්ම මාව බලා කියාගත්තෙ හරිම අමාරුවෙන්. හරියකට කන්න බොන්න තිබුණෙත් නෑ. පස්සෙ හිටිගමං දවසක් ඇවිත් පුංචම්ම අඬද්දිම මාව කොහේද මංද එක්කරගෙන ගියා. ඒ තාත්තගෙ අලුත්ම ගෑනි ගාවට. ඒ පැනෑටියන කියන ගමේ. ඒ ගැනි මට වෙනස්කං කරා. හරියට වෙනස්කං කරා. කන්න නොදුන්නු දවස් අනන්තයි. පොඩ්ඩ එහා මෙහා වෙද්දි ගහනව. ඒ මදිවට තාත්තට කේලං කියල තාත්ත ලව්වත් ගස්සවනව. ඔය අතරතුර අපි කාලයක් තාත්තගෙ ගම වෙච්ච වැලිගමත් පදිංචි වෙලා හිටිය. වැලිගම ස්කෝල දෙකකට ගියා. ටික කාලයක් යද්දි ඒ කියන්නෙ මං සාමාන්‍ය පෙළ ලියන්න ඉද්දි 1977 මැතිවරණෙන් පස්සෙ ඒ විභාගෙ කැන්සල් කරා. එතකොට මං ගියේ නිමලව කනිස්ඨෙට. තාත්ත කොමියුනිස්කාරයෙක් නිසා මැතිවරණෙන් පස්සෙ එයා රටේ හැම තැනට ම මාරු කරා. අ... කියන්න බැරි උනාණෙ... තාත්තට හම්බුණේ සතොසෙ සිකියුරිටි ජොබ් එකක්.
තාත්ත හැම තැනට ම මාරු කරපු නිසා ගෙදර ආවෙ මාසෙකට සැරයයි. ඔය කාලෙ මං අලුත් විභාගෙ ලිව්ව. ඒක පාස් වුණා. ඒ වෙද්දි අපි හිටියෙ කනංකෙ කුඩකෙ කියන ගමේ. එතකොට කුඩම්මට ළමයි දෙන්නෙක් හිටිය. වැඩිමලා මල්ලි. දෙවෙනිය නංගි. උංගෙ වැඩ කරන්න උනෙත් මට. මං විභාගෙ පාස් වෙච්ච නිසා පස්සෙ තාත්ත ගෙදර ඇවිත් මාව කනංකෙ සිරි පැරකුම්බා ඉස්කෝලෙට දැම්ම. ඒ වුනාට අවුරුද්දක්කත් ඉස්කෝලෙ යන්න හම්බුණේ නෑ. මට කුඩම්ම සල්ලි නොදී ඇරිය. පොත් අරං දුන්නෑ. ඔන්නොහාම ඉන්න අතරෙ මං දවසක් කුඩම්ම නැති වෙලාවක එයැයිගෙ අල්මාරිය ඇරල බලද්දි ඒකෙ තාත්ත එවපු ලියුමක් තිබුණ. ඒකෙ තාත්ත කියල තිබණෙ මට වියදමට සල්ලි දෙන්න, පොත් පත් අරගෙන දෙන්න කියල. හැබැයි මේ ගෑනි මට ඒ කිසිම දෙයක් මේ වෙනකං අරගෙන දීල තිබුන් නෑ. මං ඒ හැම දෙයක් ම ගන්න තාත්ත එනකම්ම බලාගෙන ඉඳල තමයි ඉල්ලගත්තෙ. ඒ හිංද මට හිතුණ මෙහෙම ඉඳල වැඩක් නෑ කියල. අල්මාරියෙ ලාච්චුවෙ රුපියල් තුනක් තිබුණ. අල්මරියෙ රෙදි ගොඩ අවුස්සද්දි පිත්තල තරාදි කඳක් හම්බුණා. මට මතකයි ඒක අපේ මද්දු තාත්තගෙ කියල. ඊට පස්සෙ මං: කොට කලිසම් දෙකුයි, ෂර්ට් දෙකකුයි, තරාදි කඳයි බෑග් එකක දාගෙන තව මං ආස ම කරන කොට කලිසමයි ෂර්ට් එකයි ඇඳගෙන, ලාච්චුවෙ තිබුණ රුපියල් තුනත් අරගෙන ගාල්ලට එන බස්සෙකක නැග්ග.
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2023/10/20
අපලෝකන - පසුගිය කොටස්
අපලෝකන 04 : මං ඕයි නෙවෙයි ඕයි... මගෙ නම යසසිරි...- (ජයසිරිගේ අලුත්ම නවකතාව)
අපලෝකන 03 : අද නං ජස්ටිං අයිය කාමරේට ම බට්ටෙක් අරගෙන ඇවිත් - (ජයසිරිගේ අලුත්ම නවකතාව)
අපලෝකන (02) : මං මක්කෙටයි කලිසම බුරුල් කරන්නෙ...?- ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන (01): මුවන් පැලැස්සේ හිඟන කොල්ලා - ජයසිරිගේ අලුත්ම නවකතාව
වජ්ජා’වජ්ජ අවසන් වුව ද..'අපලෝකන' එළඹෙන සිකුරාදා සිට - (ජයසිරි අලවත්ත)