කොට්ටව කියන කෙනා ‘‘මේ මල්ලි සුමනෙ අයියගෙ කවුරු හරිද කියන ගමං ඇලුමිනියම් ජොග්ගුවක තිබුණ තේ එක පිරිසි කෝප්පෙට වක්කරේ හරියට රබර් පටියක් උඩට අදිනව

වගේ උඩට ඇදල. මං හිතුවෙ තේ එක ඉහිරෙයි කියල. මොනහ්... පිරිසි කෝප්පෙ පෙණවලින් පිරුණ... තේ බිංදුවක්කත් බිම වැටුණෙ නෑ. මං කල්පනා කරේ මෙච්චර උඩට ඇදල තේ එක පිරිසි කෝප්පෙට දැම්මෙ කොහොම ද කියල.

*          *          *

සති දෙකක් විතර මේ විදියට කාලය ගෙවිල ගියා. ඒ අතර මට පුදුම ආසාවක් තිබුණ පිචර් බලන්න. මම එදා පිචර් දෙක බලපු හෝල් දෙකට අමතරව මේ හෝටලය කිට්ටුව ම තව හෝල් එකක් තිබුණ. ඒක තිබුණෙ හෝටලය දකුණු පැත්තෙ තියෙන ඇළ දිගේ ම ටික දුරක් ගියාම පාරෙ දකුණු පැත්තෙ. ඒ පාරෙ නමත් හැව්ලොක් පෙදෙස. හෝල් එකේ නම PRINCE.

පිචර් එකක් බලන්න ආසාව තිබුණට කඩෙන් යන්න විදියක් නෑ. දවල්ට ඕෆ් එක හම්බ වෙන්නෙ පැය දෙකයි. ඒ පැය දෙක හැරෙන්නත් මදි. මම දවසක් මේ ගැන සුමනසිරි අයියට කිව්ව.

සුමනසිරි

loving vincent vangogh animated oil painting movie breakthru trademark films 60
පිචර් එකක් බලන්න ආසයි කියල යසසිරි මට කිව්වෙ ඇවිත් දවස් දහයක් විතර ගියාට පස්සෙ. මං ඉතිං කිව්ව චාන්ස් එකක් අරන් දෙන්නං කියල. මිනිහ මෙහේට ආපු දවසට කලින් දවසෙ පිචර් දෙකක් ම බැලුව කියල මට කිව්වෙත් හරි ආඩම්බරෙන්. ඒ නිසා ම තමයි මම කිව්වෙ ප්‍රින්ස් එකට යන්න කියල. යසසිරිට චාන්ස් එකක් දෙන්න වුවමනා නිසා මම දවසක් මිනිහව හයට ඕෆ් කෙරෙව්ව. හයයි තිහ බලල පැය දෙකෙන් එන්න බෑ. ඒත් මං කිව්ව රෑට නාගන්න හරි ඇඟ හෝදගන්න හරි පුළුවන්. මුණ කට හෝදගෙන යන්න කියල. ඒත් පාලිත ප්‍රශ්නයක් වෙයි නේද කියලත් යසසිරි ඇහුව. ඒ වෙද්දි ප්‍රින්ස් එකේ තිබුණෙ අමල් බිසෝ. කොහොමටත් ඒක බලල නමයට කලින් යසසිරිට එන්න පුළුවන්. ඒ නිසා මං පාලිතව හතට ඕෆ් කරා. එතකොට ඒ දවසෙ පාලිත ආය එන්න වුවමනා නෑ. මට ඔය පැය දෙක ඇදගන්න ඒ තරම් අමාරු නෑ. අනික එදා සඳුද දවසක්. සඳුදට කොහොමටත් හතෙන් පස්සෙ සෙනඟ අඩුයි.

මම විශ්වාස කරා වගේ ම යසසිරි හරියට ම අටයි හතළිස් පහ වෙද්දි කඩේට ආව. කැෂියර් එකේ ඉන්න ජෙගන් නම් කීප සැරයක් ම ඇහුව යසසිරි කෝ කියල. මිනිහ ඕෆ් කියල කිව්වට ඕෆ් වුණේ කීයට ද කියල මම කිව්වෙ නෑ. ඒ නිසා යසසිරි ආපු වෙලාව ගැන ජෙගන්ටත් එහෙම විශේෂ මතකයක් තිබුණෙ නෑ. ඉතිරි දවස් තුන හතරත් කරදරයක් නැතුව වැඩ කරා. ඒත්...

*          *          *

සුමනෙ අයිය නිවාඩුවක් දාල ගමේ ගියා. එයා මාස දෙක තුනකට සැරයක් ගමේ ගියාම එන්නෙ දවස් තුනහතරකින් කියල මට කියලම යි ගියේ. එයා ආපහු එනකන් කල්පනාවෙන් වැඩ කරන්න කියල, පාලිතටත් මාත් එක්ක ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුව වැඩ ටික කරන්න කියල මං ඉස්සරහ ම කිව්ව. මම හිතුවෙ සුමනසිරි අයිය කියපු විදියට පාලිත වැඩ කරයි කියල. හැබැයි එදා රැ මං කවදාවත් නොසිතපු දෙයක් වුණා.

waiter sh23

රංජිත් නමැති වේටර්වරයා

වෙනද වගේ ම නාල, කාල, ඕපදුපත් කතා කරල කට්ටිය ම නිදාගන් කියල ලයිට් ඕෆ් කරා. ලයිට් ඕකෙරපු පලියට ම කවුරුවත් නිදාගන්නෙ නෑ. මටත් නින්ද ගියේ නෑ. වෙනද වගේ ම රෑට වෙන සෙල්ලම් ඒ විදියට ම සිද්ධ වෙමින් තිබුණා. එක පාරට ම ‘‘අම්මෝහ්... එපෝ... එපෝ..’’ කියල කැගැහිල්ලක් ඇහුණා. ඒ එක්ක ම කවුරු හරි කොතනකට හරි දුවනව වගෙත් සද්දෙ ඇහුණා. සද්දෙ ආවෙ යසසිරි නිදාගෙන හිටපු, පාර පැත්තට වෙන්න තිබුණ ජනෙල් පේළිය පැත්තෙන්. කවුරු හරි දිව්වෙත් එතන ඉඳල කියල මම දැක්කා. මම ‘‘යසේ... යසේ... ඇයි මක්කයි උණේ...?’’ කියල ඇහුවෙ නැගිටලා පැදුරෙ වාඩි වෙන ගමන්ම යි. ඒ එක්කම තව කිප දෙනෙකුත් එවුන් කර කර හිටපු වැඩෙත් නවත්තල ‘‘ඇයි... ඇයි... මොකද?’’ කියල අහගෙන කට්ටියම නැගිට්ට. කට්ටිය කලබල වෙලා හිටියට යසසිරි කිසිම කලබලයක් නැතුව ‘‘නෑ නෑ... මට නං කිසිම කරදරයක් නෑ...’’ කිව්වෙ නිදාගෙන උන්න ගමන්මයි කියල දැනගත්ත නිසා එක එකා එක එක කතා කියන්න පටන් ගත්ත. ඒ අතරෙ වැඩි පුර ම කතා උණේ කවුරු හරි හීනෙන් බය වෙන්න ඇති කියල. ඒත් එහෙම දෙයක් වෙලා නෑ කියල වගේ ම උණේ මොකද්ද කියල දැනගන්න පුළුවන් උණේ සුමනසිරි ආපු දවසෙ. ඒ වෙද්දි තවත් මරු වැඩක් වෙලා තිබුණ.

*          *          *

ඇත්තට ම එදා වෙච්ච දේ දැනගෙන හිටියෙ මමයි පාලිතයි විතරයි. පාලිත පවු නිසා මං ඒ ගැන කාටවත් මෙකුත් කියන්න ගියේ නෑ. ඒ වුනාට පාලිතගෙ හිතේ තරහ තිබුණ. එදා සුමනසිරි අයියත් ගමේ ඉඳල ඇවිත් තිබුණ. හවස අපි දෙන්නත් එක්කත් කතා කරල ගියාට ගිෆ්ට් කොටසට ආවෙ නෑ. වෙනද වගේ ම කඩේ වහන්න කිට්ටුව අස් කර කර ඉද්දි කැෂියර් එකේ ජෙගන් ඇවිත් අපි ඉන්න පැත්තෙ යකඩ දොර ඇදල එළියෙන් ලොක් කරා. ඊට පස්සෙ අනිත් පැත්තෙ දොරත් බාගෙකටත් වැඩිය ඇදල ‘‘එහෙනං පාලිත එන ගමං දොර ලොක් කරගෙන එන්න’’ කියල ඇතුළට ගියා. ඒක හැමදාම වෙන දෙයක්. අපි තුන් දෙනාගෙන් කවුරු හරි තමයි අන්තිමට දොර වහන්නෙ. ඒ පැත්ටයි මේ පැත්තටයි මාරු වෙන තැන බාධකයක් විදියට දාල තියෙන්නෙ ලොකු හිස් අලිය බිම පෙට්ටියක්. කඩේ අරින්න කලින් අපි මේ පැත්තට පනින්නෙ ඒ පෙට්ටිය අයින් කරල. ඊට පස්සෙ ඒක සුදු ඉටි රෙද්දකින් වහනව, වහල දොදොල් තැටියයයි මස්කට් තැටියයි තියන්නෙ ඒක උඩින්. කඩේ වහද්දි ඒ තැටි දෙක ඉතනින් අයින් කරල තමයි පෙට්ටිය පැත්තකින් තියල අපි අනිත් පැත්තට පනින්නෙ.

Peasants Fighting
මං දොදොල් තැටියයි මස්කට් තැටියයි අයින් කරල පෙට්ටිය පැත්තකින් තිබ්බට පස්සෙ එක පාරටම දොදොල් කපන පිහිය අතට ගත්තු පාලිත ‘‘අඩෝ ***... උඹ එදා රැ වෙච්ච දේ සුමනෙ අයියට එහෙම කිව්වොත් මං තොට මේකෙන් අනිනව කියාගෙන මගේ ළගට ආව. ඇත්තට ම මං හිතුවෙ මිනිහ ඒ වෙලාවෙම මට අනියි කියල. මං පැත්තකට පැනල මිනිහ පිහිය තියාගෙන හිටපු අත අඹරවල ඒ එක්ක ම මිට මොළවල මූණට හොඳ පාරක් දුන්න. ඒත් මම හිතපු නැති විදියට මිනිහ බාගෙට වැහිල තිබුණ දොරෙන් එළියට විසි වෙලා වැටුණා. ඒ වෙද්දි පිහියත් බිම වැටිලයි තිබුණෙ. මම ටක් ගාල පිහිය අහුලල ඒක දොදොල් තැටිය උඩට විසි කරල ඇතුළට ගියේ එළියට ගියොත් ආයෙත් මිනිහට ගහන්න හිතෙන නිසා.

*          *          *

‘‘හදිසියෙවත් තමුසෙ ගහපු පාරට මේ මිනිහ මළා නං...?’’

එදා උදේ නඩුව අහන වෙලාවෙ ලොකු සර් ඇහුවෙ එහෙම.

‘‘සර්... එතකොට මූ මට පිහියෙන් ඇන්නනං...’’

මම ඒ ප්‍රශ්නෙ ම වෙන විදියකට ලොකු සර්ගෙන් ඇහුව.

waitgh
‘‘හරි ඉතිං... තමුසෙට මොකුත් උණේ නැහැ නෙ... අනික කලින් දවසක රෑත් තමුසෙ මේ මිනිහගෙ නරක තැනකට ම නෙ ගහලද මිරිකල ද තියෙන්නෙ...’’

‘‘සර්...’’

‘‘හරි හරි... මං දන්නව තමුසෙ මොකද්ද කියන්න හදන්නෙ කියල. ඕක උඩ රැට වෙන දේවල්වලට මටවත් මැනේජර් මහත්තයටවත් වග කියන්න බෑ. ඒ නිසා ඒක පැත්තකිං තියමුකො. ඒ උනාට තමුසෙට පුළුවන් ද එහෙම මිනිස්සුන්ට ගහන්න. බලනව... මේ මිනිහ නහයෙන් කටිං ලේ දාගෙන වාඩි වෙලා ඉද්දි අර සයිවර් කඩේ කොල්ල තමයි කෑගහල කියල තියෙන්නෙ...’’

‘‘සර්... මං හිතුවෙ නෑ සර්...’’

‘‘කට වහගන්නව අයිසෙ... ඇවිත් තාම මාසයක්කත් නෑ... මේ විදියට කොහොමද අයිසෙ රස්සාවක් කරන්නෙ...’’

මම කියන්න හදපු දේ කියන්න ඉඩ නොදීම ලොකු සර් ආයෙත් මගේ ඇගට කඩාගෙන පැන්න. බලාගෙන යද්දි මං විතරයි වගේ වැරැදි කරල තියෙන්නෙ.  මං සද්ද නැතුව බිම බලාගෙන ඉද්දි මට ඇහුණ ‘‘පාලිත... තමුසෙ දැං යනව ඉස්සරහට. තමුසෙලටත් මේව හොඳ පාඩං... හම්ම්ම්... යනව යනව ඉතිං...’’ කියල කියනව. මං ඔළුව ඉස්සුවෙ ම නෑ

‘‘මැනේජර් මහත්තෙය... දැං මොකද කරන්නෙ...? මුං දෙන්න දැං කොහොමටත් එක තැන තියන්න බැහැ නෙ.’’

මං ඔළුව ඉස්සුවෙ ඒ වෙලාවෙ.

‘‘ඔවු සර්... ඒකනං ඇත්ත.’’ මැනේජර් මහත්තය එහෙම කිව්වෙ කෙස් දෙක තුනකට වඩා නැති එයාගෙ තට්ට ඔළුවෙ දකුණු අතේ අල්ල එහෙට මෙහෙට යවන ගමන්.

‘‘මට තමුසෙව යවන්නත් බෑ. අරූව යවන්නත් බැ. මොකද තමුසෙලට දඬුවම් දෙනව නං දෙන්නට ම දෙන්න ඕන. නැහ්නං එහෙකුටවත් නොදි ඉන්නෝන. එහෙම නේද මැනේජර් මහත්තෙයො...?’’

shop 098
මැනේජර් මහත්තයත් එකත්පස්ව හිටගෙන ‘‘ඔවු සර්... දෙන්න ම වැරැදි නෙ... ඒත්...’’

‘‘හරි හරි... ඔහේ කල්පනා කරල බලනවකො... මට දැං බැංකු යන්නත් ලේට් වෙලා. බලනවකො අයිසෙ... තමුසෙල දාගන්න ලෙඩ නිසා අද මගේ දවස ම ඉවරයි...’’

එහෙම කියපු ලොකු සර් පඩි පෙළ ගාවට ගිහින් ‘‘යොහාන්... පොඩ්ඩක් එනවකො...’’ කියල මට කතා කරා.

‘‘ඇයි සර්...?’’ කියාගෙන මමත් සර් ගාවට ගියේ කන හරහ පාරක් දෙයි කියල හිතාගෙන. එයා හිටපු ගමන් එහෙම ගහනවලු. ඒත් සිද්ධ වුණේ වෙන දෙයක්.

‘‘අයිසෙ... අරු ඉස්සරහ මං තමුසෙට බැන්නට ගනං ගන්නෙපා. ඉඳල හිටල හරි උනුත් කාගෙන් හරි පාඩමක් ඉගෙන ගන්නෝන. හැබැයි මං තමුසෙට බුරුලක් පෙන්නපු බව කාටවත් දැනගන්න තියන්නෙපා. මැනේජර් මහත්තෙයට මං කියල තියෙන්නෙ කරන්නෝන මොනවද කියල. ඒ නිසා මැනේජර් මහත්තෙය කියන විදියට වැඩ කරනව හරිය.’’

එහෙම කියපු ලොකු සර් කට කොනකින් හිනා වෙලා ‘‘මැනේජර් මහත්තෙය... එහෙනං මං කියපු විදියට ඒ වැඩ ටික කරන්න...’’ කියල පඩිපෙළ බැස්සා.

මුරුගයියා හෙවත් මුරුගේසු

මගේ රස්සාවට අයිති එළවළු මාකට් එකෙන් එළවළු, මාළු මාකට් එකෙන් මාළු, මස් කඩෙන මස්, හාල් කඩෙන් හාල් වගේ ම කුස්සියට වුමනා කරන ආන පාන ටික සප්ලයි කරන එක. අද මැනේජර් මහත්තෙය මට වෙන වැඩකුත් පැවරුවා.

යසසිරිට කොච්චර කිව්වත් සරම අඳින්න මිනිහ කැමති වුණේ ම නැහැයිලු. ඒත් කොට කලිසම ඇඳගෙන වේටර් වැඩේ කරන්නත් බැරි නිසා තමයි පස්සෙ මැනේජර් මහත්තෙය ලොකු සර්ට කතා කරල තියෙන්නෙ. ලොකු සර් කිව්වලු එහෙමනං ඌට දිග කලිසමක් දෙකක් මහගන්න සල්ලි දෙන්න පස්සෙ පඩියෙන් කපාගන්න කියල. අන්න ඒ විදියට තමයි මං මාර්කට් යන වෙලාවෙම යසසිරිත් එක්ක සමනොළ ටේලර්ස් එකට ගිහින් යසසිරිට කලිසං දෙකක් මස්සල දුන්නෙ. සමනොළ ටේලර්ස් කියන්නෙ අපේ ලොකු සර්ගෙයි එයාගෙ පුතාල දෙන්නගෙත් ඇඳුම් මහන ටේලර් සාප්පුව.

යසසිරි මාත් එක්ක ටේලර් සාප්පුවට ගියෙත් කොට කලිසමක් ඇඳගෙන. ඒත් මැෂිමන්ට් එක ගද්දි ටේලර් ඇහුව ‘‘පුතා ඔහේ මීට කලිං දිග කලිසං ඇඳල ම නැද්ද’’ කියල. යසසිරි ලැජ්ජාවෙන් වගේ උත්තර දුන්නෙ ඔළුව දෙපැත්තට වනල.

*          *          *

ඔන්න ඔය විදියට තමයි මම ඉස් ඉස්සෙල්ලා ම වේටර් රස්සාවට ආවෙ. ඒ විතරක් නෙවෙයි දිග කලිසම ඇන්දෙත්. ඒ වෙද්දි මං වේටර් රස්සාවෙ අයනු ආයනුවත් දැනගෙන හිටියෙ නැති වුනත් ඒක තවත් ඉතිහාස ගතවෙන සිද්ධියක්. ඒ, මම දිග කලිසම ඇඳපු එකට වඩා විශේෂ දෙයක්. ඒ තමයි ඒ හෝටලේ දිග කලිසම ඇඳගෙන වැඩ කරපු පළමු වේටර් මම වුණ එක. මං හිතන්නෙ ඔය කොටුවෙ සුද්දො එන හෝටල්වල වේටර්ලත් ඒ දවස්වල ඇන්දෙ සුදු සරමයි ෂර්ට් එකයි. ටවුමෙ කිසිම හෝටලේක වේටර්ල දිග කලිසම ඇන්දෙ නෑ. හැබැයි ඒ වෙද්දි හොලෙයි බේකරියෙයි වැඩ කරපු කොල්ලො නං ඕෆ් වෙලා යද්දි කලිසම ඇඳගෙන නළුවො වගේ ගියා. ඒවුනාට වැඩ කරේ සරමයි ෂර්ට් එකයි ඇඳල. බිල් ලියපු මහත්තෙය විතරයි කලිසම ඇන්දෙ. මැනේජර් මහත්තෙය ඇන්දෙත් සරමයි ෂර්ට් එකයි. මම ඒ අතින් නම් හරිම වාසනාවන්තයි.

 

ත්‍රෛලෝකා'' තුළින් ජාතිවාදියෝ හඳුනාගනිමු - ජයසිරි අලවත්ත(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2023/11/03 

අපලෝකන - පසුගිය ලිපි 

අපලෝකන 06 : මං සරං ඇඳල ම නැහැ නෙ... - ජයසිරිගේ අලුත්ම නවකතාව

අපලෝකන (05) : මගේ ගම කොහෙද කියල මං දන්නෑ...- ජයසිරිගේ අලුත්ම නවකතාව

අපලෝකන 04 : මං ඕයි නෙවෙයි ඕයි... මගෙ නම යසසිරි...- (ජයසිරිගේ අලුත්ම නවකතාව)

අපලෝකන 03 : අද නං ජස්ටිං අයිය කාමරේට ම බට්ටෙක් අරගෙන ඇවිත් - (ජයසිරිගේ අලුත්ම නවකතාව)

අපලෝකන (02) : මං මක්කෙටයි කලිසම බුරුල් කරන්නෙ...?- ජයසිරිගේ අලුත්ම නවකතාව

අපලෝකන (01): මුවන් පැලැස්සේ හිඟන කොල්ලා - ජයසිරිගේ අලුත්ම නවකතාව

වජ්ජා’වජ්ජ අවසන් වුව ද..'අපලෝකන' එළඹෙන සිකුරාදා සිට - (ජයසිරි අලවත්ත)


 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්