පෙරුමාල් කියන විදියට එක දවසක් යසේ මල්ලි තුෂාරි හම්බ වෙන්න යද්දි එයා ගෙදර ඉඳල නෑ. ජෙනට්ගෙන් ඇහුවම කියල තියෙන්නෙ මිරිස්සෙ
ඉන්න එයාගෙ නැන්දලගෙ ගෙදර ගියා කියල. එන්න සතියක් විතර යයි කියල. ගිය හේතුව මොකද්ද කියල ඇහුවම කියල තියෙන්නෙ තුෂාරිගෙ මිරිස්සෙ නැන්දගෙ දුව ලොකු ළමයෙක් වෙලා නිසා එහේ ගියා කියල. ඒ වුනාට දවස් දහයකට විතර පස්සෙ තමයි යසේට දැනගන්න ලැබෙන්නෙ තුෂාරිගෙ අම්ම පස්සෙ පස්සෙ කියල තියෙන්නෙ බොරු කියල. යසේ මල්ලි ඒ ගැන දැනගන්නෙ සතියකට පස්සෙ දවස් තුනක් පිට පිට ම තුෂාරි හම්බ වෙන්න ගියාට එයා ගෙදර හිටියෙ නැති නිසා. හතරවෙනි හරි පස්වෙනි හරි දවසෙ යසේ යද්දි තුෂාරිගෙ අම්ම ඉඳලත් නෑ. පස්සෙ යසේ පෙරුමාල්ගෙ කාමරේට ඇවිත්. ඊට පස්සෙ තමයි...
පෙරුමාල් හෙවත් කඩලකරුවා
එදා යසේ මල්ලි කාමරයට ආවෙ ටිකක් කේන්තියෙන් වගේ ම දුකෙන්. ඒ වෙද්දි ජෙනට් නැන්ද මට තුෂාරි නංගිගෙ ඇත්ත සිද්ධිය මොකක්ද කියල කියලයි තිබුණෙ. ඒත් මම කොහොමද ඒක යසේ මල්ලිට කියන්නෙ...? නමුත් ඉතිං කවදක ම හරි කියන්න ඕන නෙ. ඒක නිසා මම හිත හදාගත්තා.
මම හැමදාම ගෙදර එද්දි අනිවාර්යයෙන් රෑ දොළහ පහු වෙනවා. ඒ වෙද්දි අහල පහල ගෙවල්වල හැමෝ ම නිදි; ජෙනට් නැන්දලත් නිදි. නමුත් මම මේ කියන සිද්ධිය දවසෙ රෑ මම යද්දිත් ජෙනට් නැන්ද අවදියෙන්. එයා මම එන මග බලාගෙන ඉඳල, මම කාමරේට යන්නත් කලින් ම මගේ ඉස්සරහට ආවා.
‘‘අනේ පෙරුමාල් පුතේ... බලන්නකො පුතේ වෙලා තියෙන වින්නැහිය... මං දැං කොහොමෙයි පුතේ අර දරුවට මූණ දෙන්නෙ... ඔහේ කොහොමෙයි ඒ දරුවට මූණ දෙන්නෙ...? මේකි අපි දෙන්නගෙ ම මූණෙ දැලි ගෑව පුතේ...’’
කවදාවත් නැතුව ජෙනට් නැන්ද විලාප දීගෙන ඇවිත් මගේ උරහිස් දෙකෙන් අල්ලගෙන හොලවගෙන හොලවගෙන ගියා. මට කිසිම දෙයක් හිතාගන්න බැරුව ගියා.
‘‘එයි නෙන්දා...? මක්කද වෙලා තීනවා... අඬාන්නෙතුව කීන්න අප්පා...’’
මම, ජෙනට් නැන්දගෙ අත් දෙක ම අල්ලගෙන ඇහුවා. ජෙනට් නැන්දා හරියට පරල වෙච්ච ගෑනියෙක් වගේ කියවන්න පටන් ගත්තා.
ජෙනට්
මට ඒ වෙලාවෙ හිතට එන කේන්තියයි දුකයි දෙක ම කියන්න හිටියෙ පෙරුමාල් විතරයි. අඩුම ගානෙ අහල පහල කෙනෙකුටවත් මේ දේවල් කියන්න බෑ. රොහාන් කොලුව මගේ කෙල්ලට වඩා අවුරුදු එකහමාරක් දෙකක් විතර වැඩිමල් වුනත්, හෝටලේක වැඩ කරා වුනත් මම උන් දෙන්නට ආස්සරේ කරන්න ඉඩ දීල තිබුණෙ රොහාන් කොලුව අවංකයි කියල මට දැනුණ නිසා; ඌ මගේ කෙල්ලට ඇත්තට ම ආදරෙයි කියල දැනුණ නිසා; ඌ කවද හරි උගේ අනාගතේ හදාගනීවි කියල මම විශ්වාස කරපු නිසා. ඒත් දෙයියනේ අවසානෙදි මොකද්ද සිද්ධ වුණේ...?
මමත් කොටහලු මගුලට යන්න හිතාගෙන හිටපු දවසෙ ම තමයි නෑනගෙ මල්ලි ධර්මදාස අපේ ගෙදර ආවෙ. මම ඒත් කල්පනා කරා ඇයි මේ කියල.
‘‘ආ... මේ දර්මෙ මලය නෙව. මොකැ මේ හදිසියෙ. මං මේ හවස් කොරේ ඒ පැත්තෙ එන්න සූජානං වෙලයි හිටියෙ. ඒ අල්ලපනල්ලෙ උඹ මෙහ් ආවෙ.?’’
මලය එකපාරට ම මොනවත් කිව්වෙ නෑ. කිසිම කලබලයක් පෙන්නුවෙත් නෑ. ඒත් එයාගෙ මූණෙ මොකක් හරි වෙනසක් මම දැක්කා. වාඩි වුණ ගමන් වතුර වීදුරුවක් ඉල්ලගෙන බීපු දර්මෙ මලය දණිස් දෙකට අත් දෙක තියාගෙන, ඔළුව බිමට පාත් කරගෙන මොන මොනවාදෝ කියවගෙන ගියා. ඒ කිව්වෙ මොනවද කියල මට හරියට ම තේරුණේ ඇඳේ පතබෑවිල ඉන්න මගේ ළඟින්ම පුටුවකුත් තියාගෙන වාඩි වෙලා ඉන්න දර්මෙ මල්ලි දැක්කට පස්සෙ.
‘‘අක්ක මේක අහල කලබල වෙන්නෙපා. අක්ක එහේ එන්නත් කලියෙං මං මේ ගමන ආවෙ අපේ අක්කගෙ කීම අහක දැන්න බැරි හිංද. මොකෝ අක්ක එහේ ආවට පස්සෙං පහු මෙව්ව කනේ වැටුනොත් කෙල්ලගෙ මඟුලටත් හොඳ නැහැ නෙව.’’
‘‘වටේ යන්නැතුව කියහංකො මලයො... මක්කයි සිද්ධ වෙලා තියෙන්නෙ...?’’
මම ටිකක් සැරෙන් අහපු නිසාද කොහෙද ධර්මෙ මල්ලි ඇහෙන නෑහෙන ගානට වගේ මෙන්න මේ වචන ටික කියනව මට යාන්තමට වගේ මතකයි.
‘‘අක්කෙ මේ... මේ... තුෂාරි දුව... මේ තුෂාරි දුව කොල්ලෙක් එක්ක පැනල... පැනල ගිහිං.’’
මට පියවි සිහියට ආවට පස්සෙ ධර්මෙ මල්ලි එයා දන්න විස්තර ටික ඔක්කොම කිව්වා.
ධර්මදාස
ජයශාන්ත කියන්නෙ අපේ අක්කගෙ පුතාගෙ යාළුවෙක්. තවත් විදියකට කියනවා නම් කොටහලු වෙච්ච දෝණිගෙ අයියගෙ යාළුවෙක්. ඌ අක්කලගෙ ගෙදරට ඇවිත් තිබුණෙත් කොටහලු මඟුලට උදවු කරන්න. ඌ ආවෙ තුෂාරි නංගි ඇවිත් දවස් දෙක තුනකට පස්සෙ. තුෂාරි ඇහැට කනට පේන එකී. ඒත් අපි කිසිම කෙනෙක් හිතුවෙ නෑ ඒකි ජයශාන්ත වගේ එකෙක් එක්ක පැටලැවේවි කියල. මොකද ජයශාන්ත ඒ හැටි පෙනුම තියෙන එකෙකුත් නෙවෙයි. හරි හමන් රස්සාවකුත් නෑ. අඩුම ගානෙ මහ එවුන්ට කියල ඉන්න හිටින්න හරියකට ගෙයක් දොරක්වත් නෑ.
කොටහලු මගුළට දවස් දෙකයි. එදා උදේ අක්ක කලබලෙන් වගේ එහෙ මෙහ දුවද්දි ලොකු එකා අහල තියෙනව ‘‘ඇයි අම්මෙ මක්කයි කලබලේ...?’’ කියල. එතකොට තමයි අක්ක කියල තියෙන්නෙ ‘‘තුෂාරි කෙල්ල නෑ බං. මං මේ හැම තැනම හෙව්ව... ඔහෙ නෑ.’’ කියල. ලොකු කොලුව එකපාරට ම ඇහුවලු ‘‘ජයශාන්තය ඉන්නව දැක්කයි අම්මෙ...?’’ කියල. අක්කට ඒ ගැන එහෙමකට නිනව්වක් නැති නිසා ම ‘‘මට නිච්චියක් නෑ ලොක්කෙ... ඇයි උඹ එහෙම අහන්නෙ...?’’ කියල ඇහුවලු. ‘‘නෑ අම්මෙ... මට පහුගිය දොහේ දෙකේ හිච්චි සැකයක් තිඋණ. මං ඒ උණාට එව්ව හාරවුසන්න ගියේ නෑ. තුෂාරිය බඳින්නත් කොල්ලෙක් ඉන්නව කියල අම්මත් කිව්වනෙ.’’ කියල ලොක්ක කියල.
ඊට පස්සෙ තමයි අපි ජයශාන්තය ඉන්නවද කියල හෙව්වෙ. බැලින්නම් ඌත් නෑ. දැන් ඉතිං ඉංතේරුවෙන්ම සිද්ධිය පැහැදිලියි. ජයශාන්තයගෙ ගෙවල් තියෙන්නෙ පැනෑටියන.
‘‘අම්මෙ... දැන් කලබල නොකර ඉන්නකො. එහෙම උනොත් අපේ එකීගෙ වැඩකටයුතු ටික කරගන්න බැරි වෙනෝ. මං හෙමීට හොයල බලන්නංකො.’’
ලොක්ක එහෙම කියල තියෙන්නෙ කොටහලු මඟුල් ගෙදර මොනව හරි හුටපටයක් සිද්ධ වෙයි කියන බයට.
‘‘සීවරං දෙය්යනේ...! එහෙව් අකරතැබ්බයක් වෙලානං මං කොහොමෙයි ජෙනට් අක්කට මූණ දෙන්නෙ...? අක්ක ඇහැක් වගේ බලාගත්ත එකී. අනිප්පැත්තෙන් අර කොල්ල... ඌට මොනවයිං මොනව වෙයි ද... අනේ අම්මපා මෙහෙව් බැල්ලියෙක්. මදැයි... උදව්වට කියල එකියක් ගෙන්නා ගත්ත. උඹ ම කියහං ලොක්කෙ... දැං අපි මක්කයි කොරන්නෙ.’’
ලොකු එකා වෙනස් එකෙක්. ඌ හිතන පතන විදියයි වැඩ කරන විදියයි සාමාන්‍ය එවුන් වැඩ කරනවට වැඩිය වෙනස්.
‘‘අම්ම දඟලන්නැතුව ඉන්නකො...’’ කියපු ලොක්ක මාව දැකපු ගමන් ‘‘දර්මෙ මාමෙ... ඔහේ මේ දැන් ම පැනෑටියනට යන්න. ගිහිං කොහොම හරි ජයශාන්ත ගැන හොයන්න. ඒකල්ල හෙට උදෙම්ම ජෙනට් නැන්දලයි දිහා යන්න.’’
ඒ තමයි ලොක්කගෙ අදහස. අපි වැඩිමහල් මිනිස්සු වුණාට ලොක්කගෙ කීමට පිටින් වැඩ කරන්නෙ නෑ. මොකද එයා වැඩ කරන්නෙ දුර දිග හිතල. ඒ නිසා මම ඒ වෙලාවෙම ජයශාන්තගෙ ගෙදර යන්න පිටත් වුණා.
මම එක පාරට ම ජයශාන්තගෙ දිහා ගියේ නෑ. මොකද එයැයිගෙ ගෙවල් තිවුනෙ ටිකක් ගම ඇතුළට වෙන්න. එයැයිල කොහෙන් ආවත් ගල්වළ හන්දියෙන් තමයි යන්නෝනෙ. මං ගල්වළ හංදියට ගිහිං ටිකක් සෝදිසි කරල බැලුව. ලොක්කගෙ නිගමනේ හරියට ම හරි. මං එතනට යන්න පැය දෙක තුනකට කලිං ජයශාන්තය කෙල්ලෙක් එක්ක ගෙදෙට්ට ගිහිං තියෙනව. කියපු හැඩ රුව අනුව ඒ තුෂාරි දුව ම තමයි.
පස්සෙ මං ජයශාන්තලගෙ ගෙදරට ගියා. උගෙ අම්මයි තාත්තයි මට නොවඳිනා වැදුම් වදින්න ගත්තා. ඌට මොනවත් කරන්න එපා කියල. මං එයාලට පැහැදිලි කළා මං ආවෙ එහෙව් දේකට නෙවෙයිය වෙච්ච දේ සහසුද්දෙන්ම දැනගන්නය කියල. ජයශාන්තගෙ අම්ම කියපු විදියට ඌයි තුෂාරියි ආපු ගමන් ම උගේ ලොකු අක්කගෙ ගෙදර ගිහින්. උන් දෙන්න හෙට කසාද බඳින්න සුදානම් වෙනවලු. මම එතනින් එහාට විස්තර හොයන්න ගියේ නෑ. මොකද අපිට තව වැඩ තියෙනවා. අනික ලොක්ක කියපු විදියට ජෙනට් අක්ක එන්න කලින් අපි එයාට විස්තරේ කියන්න ඕනෙ.
පෙරුමාල් හෙවත් කඩලකරුවා
මට මේ විස්තර ඔක්කොම කිව්වෙ ජෙනට් නැන්දා. තුෂාරිට කියන්න පුළුවන් හැම විදියට ම දොස් කිය කිය ජෙනට් නැන්ද මට කිව්වෙ කොහොම හරි යසේව බලාගන්න කියල. මොකද එයා මොනව හරි කරගත්තොත් ඒකටත් වග කියන්න වෙන්නෙ මටයි ජෙනට් නැන්දටයි කියල. කොහොම හරි අන්තිමේදි හැම දේකට ම කර ගහන්න වුණේ මට. ඒත් කරන්න වෙන දෙයක් ඉතුරු වෙලා නෑ. යසේ මල්ලිට කලබල වෙන්න එපා කියල මං දන්න හැම දෙයක් ම එයාට කිව්වා. හැබැයි මම කවදාවත් හිතපු නැති විදියට යසේ මල්ලි කතා කරා.
‘‘මාස හත අටක් ආස්සරේ කරපු මට වඩා එයැයිට දවසක් දෙකක් ආස්සරේ කරපු කොල්ලෙක් හොඳවෙන්නැත්තෙ මොකක් හරි හේතුවක් හිංදනෙ... කමක් නෑ අයියෙ... මං එයැයි එක්ක තරහ නෑ. ජෙනට් නැන්දටත් කියන්න මං නැන්දත් එක්ක තරහ නෑ කියල. අයියයි කියල මක්ක කරන්නෙයි... මං යනෝ...’’
යසේ මල්ලි එහෙම කියල එළියට බැස්සට මට එයාව එහෙම යවන්න හිත දුන්නෙ නෑ.
‘‘යෙසේ මල්ලි... යෙන්නෙපා.... පොඩ්ඩක් ඉන්න. මගෙත් එක්ක යං. මං සයිකලෙන් එරලවන්නං.’’
මල්ලි ඒකටත් අකමැති උණේ නෑ. මාත් එක්කම හෝටලේ ළඟට ම ආවා.
‘‘ඒනං මල්ලි...මං ගීං එන්නං. අනේ යෙසේ මල්ලියෙ...’’
මට කියන්න පුළුවන් වුණේ එච්චරයි.
‘‘හරි අයියෙ... අයිය යන්න. මට අද ආයි ඕෆ් වෙන්න බෑනෙ. මං හෙට රැ හතට ඕෆ් වෙලා අයියව හම්බෙන්න එන්නං.’’
සුසන්ත
ආයෙත් ඕෆ් වෙන්න බෑ කිව්වට යසේ එදා ඇවිත් ආයෙත් වැඩට ගියේ නෑ. ඒක මම දන්නෙ පස්සෙ. එයා වැඩට ආපු නැති නිසා මොකෑ (ගුණපාල) ගිහින් බලද්දි යසේ නිදිලු. වැඩට එන්න කිව්වම සනීප නෑ කියල මැනේජර් මහත්තෙයට කියන්න කිව්වලු. මොකෑ මැනේජර් මහත්තයට කියන්න ගිහිං නෑ. හැබැයි මිනිහ බිල් මහත්තයට කියල.
පැයකට විතර පස්සෙ බිල් මහත්තෙය උඩට ගිහින් යසේට කතා කරල.
‘‘මට උණ ගන්න වගේ මහත්තයො... මැනේජර් මහත්තය ඇහුවොත් කියන්න. මං දැං මේ ඩිස්ප්‍රින් දෙකකුත් බිව්ව.’’
පහුවදත් යසේ වැඩට ගියේ නෑ. කළු මහත්තෙය එයා ළඟට යන්න කලින් ම මොකෑ කියල යසේට සනීප නෑ කියල. උදේ නමයට විතර නැගිටපු යසේ උදේට කාල ඇදගෙන එළියට බැස්සෙ මටවත් නොකිය. අපි හැමෝම හිතුවෙ ඉස්පිරිතාලෙ යන්න ඇති කියල. ඒත්...
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/05/10
අපලෝකන - පසුගිය කොටස්