මම අම්පිටිය කියපු තැනින් මගේ බෑග් එක තියල ඊට ටිකක් එහායින් තිබුණ පුටුවෙන් වාඩි වුණේ අම්පිටියත් එක්ක ම ගිහින් ඇඟපත හෝදගන්න වුවමනා නිසා. දැන් ආයෙත් පහළට යන
එකේ තේරුමකුත් නැති නිසා මම හිතාගෙන හිටියෙ කක්කුස්සියෙ තියෙන පයිප්පයෙන් බාල්දියට වතුර අරගෙන ඇඟ හෝද ගන්න.
''ආ... අලුත් මලයා... මොකෝ කල්පනාව...?"
ටිකක් සද්දෙට එහෙම අහගෙන සොල්දරයට ගොඩ වුණේ පේමයියා.
''ආ පේමයියෙ... නෑ අයියෙ... මං මේ බැලුවෙ කෝ අම්පිටියයිය කියල.''

මම පේමයියට උත්තර දෙනවත් එක්ක ම මෙච්චර වෙලා මාත් එක්ක කතා කරන්න තියා හිනා වුණේවත් නැති එවුන් කීප දෙනෙක් ම අපි දෙන්නා දිහා බලන්න ගත්තා. මම ඒක එච්චර ගනන් නොගෙන පුටුවෙන් නැගිටිද්දි ම පේමෙ අයියා ''ඇයි බං මල්ලි උඹ අම්පිටියව හොයන්නෙ...?'' කියල ඇහුවෙ මගේ වම් උරහිසට උඩින් එයාගෙ දකුණු අත දාල මාව ටිකක් එයාගෙ පැත්තට ඇදගන්න ගමන්.
ඒක එච්චරට ම හොඳ ලකුණක් නොවෙන නිසා මම හෙමින් සිරුවේ පේමෙ අයියගෙ අත පැත්තකට කරන ගමන් ''නෑ පේමයියෙ මං මේ බලං හිටියෙ අම්මිපිටිය අයියත් එක්ක ම ඇඟ හෝදගන්න කියල... ඇයි දන්නෑ තවම නැත්තෙ...?'' කියල කියන ගමන් ම හෙමින් සිරුවේ මගේ බෑග් එක තියෙන තැනට ගියා.
ඒ එක්ක ම පේමයියා මගේ අතින් අල්ලගෙන ''කොහෙද මේ යන්න හදන්නෙ... යං පල්ලෙහාට... ගිහිං ඇඟ හෝදගමු,'' කිව්වෙ මාව පහළට එක්කරගෙන යන බලාපොරොත්තුවෙන්.
''නෑ පේමයියෙ... කමක් නෑ... මං ටොයිලට් එකේ පයිප්පෙන් ඇඟ හොදගන්නං..,'' කිව්වෙ පේමෙ අයියාව මග හරින්න තිබුණු වුවමනාවට ම යි.

''ආ පෙමයියේ... මොකෝ බං අද මේ වෙලාවෙ මෙහේ... ඇයි නින්ද යන්නැද්ද...?''
එහෙම ඇහුවෙ මෙච්චර වෙලා පිටිපස්සෙ ජනේලෙන් මහ මුහුද දිහා බලාගෙන හිටපු දෙන්නගෙන් එක්කෙනෙක්.
පේමෙ අයියා ඒ කොල්ලට උත්තර දුන්නෙ ටිකක් සැරෙන්.
''ඇයි... අපිට උඩට එන්න තහනං ද...?''
ප්‍රශ්නය අහපු කොල්ලත් වැඩේ අතාරින පාටක් නෑ.
''නැ නෑ ඉතිං... අලුත් කොල්ලෙක් ආපු දවසට කොහොමටත් පේමයියට නින්ද යන්නෑ නේ..."
''අනෙහ් මේ... මගෙන් කුණුහබ්බ නාහ ඉන්නව ද ජස්ටියො... මට ඔ්න්නං උඩට එන්නත් පුළුහං නැහ්නං නැවිත් ඉන්නත් පුළුහං... ඒකෙං උඹට ඇති වැඩක් නෑනෙ...''
මම එතනින් එහාට ඒ දෙන්නගෙ කච බචය අහන්න උනන්දු වුණේ නෑ. දැන් මට හොඳට ම තේරෙනවා පේමෙ අයියා ගැන දවල් අම්පිටිය අයිය කියපු කතාව. මොකද ගහ දන්න මට දැන් ඉතිං කොළ කඩාපාන්න පේමයියට බැරි වෙනවා. ඒත් අම්පිටිය කියපු විදියට මිනිහ තරහකරගෙනත් බැහැ නෙ. ඒ නිසා මම තුවාය යි, සබන් කෑල්ල යි අරගෙන කක්කුස්සිය පැත්තට යන්න හදද්දි ම ලී පඩි පෙළ පැත්තෙන් දඩි බිඩි ගාල සද්දයක් ආවා; මම පඩිපෙළ පැත්තට කිට්ටු වෙනකොට ම දැක්කෙ අම්පිටිය අයියා පඩි පෙළ නගිනවා.

''ආ... රොහාන්... මොකද්ද මේ කචබචේ...?'' කියාගෙන උඩට නගිද්දි ම පේමෙ අයියා... ''මේහ්... අර ජස්ටියගෙ කට ටිකක් වැඩියි... ඌට කියහං කට ටිකක් පරිස්සං කරගන්න කියල...,'' කියාගෙන ඉක්මනට ම පඩි පෙළ බැස්සා.
අම්පිටිය ඇස් දෙකත් ලොකු කරගෙන තත්පරයෙන් තත්පරයට ජස්ටින් කියන කෙනාගෙ දිහා, මගේ දිහා වගේ ම පඩිල බැහැල ගියපු පේමෙ අයියගෙ දිහාත් බැලුවා. හැබැයි ඒ වෙද්දි පේමෙ අයියා පඩි පෙළ බැහැල ඉවරයි.
''මොකද්ද රොහාන් උණේ...?'' කියල අම්පිටිය මගෙන් ඇහුවෙ හරියට මම වරදක් කරල වගේ. මම උත්තරයක් දෙන්න සුදානම් වෙද්දි ම ජස්ටින් කියන කෙනා ඉස්සර වුණා.
''මොකවත් නෑ අම්පිටිය... අරූ ආව මේ කොල්ලව ලයින් කරන්න. ඌ පඩි පෙළ නගිද්දි ම මම දැක්කා. ඒ වෙලාවෙ ඉඳං මං ඇහැ දාගෙන හිටියෙ... ඉතිං මං පොඩි කෝචොක් එකක් කරා. එච්චරයි.''
ජස්ටින් කියන කෙනා ඒ වචන ටික කිව්වෙ කිසිම ගානක් නැතුව. ඒකෙන් මට දැනුණෙ එහෙම කචබච මෙයාලට අලුත් දේවල් නෙවෙයි කියල.
''ආ... ඒක ද මේ.... මං දවල් රොහාන්ට කිව්වෙ... ආස්සරේ කරලත් බැරි නොකරත් බැරි එකෙක් තමයි පේමයියා. විශේෂයෙන් ම පැන්ට්‍රියෙ වැඩ කරන කෙනෙකුට.''
''එහෙමයි කියල ඌට අල්ලන්නෝන් නෑ. උඹ උඹේ වැඩේ කරගෙන හිටහං... හැබැයි ඉතිං උඹ කැමැත්තෙං අල්ලනවනං අපිට කරන්න දෙයක් නෑ... මං කිව්වෙ උඹ ආපු ගමං නෙ... ඒ හිංද..."
එහෙම කිව්වෙ ජස්ටින්.
ඒ එක්ක ම තරමක උපහාස හිනාවක් මූණෙ මතු කරගත්තු අම්පිටිය ''දැං නං ඉතිං මිනිහ ආයෙ ටික දවසක් යනකන් උඩට එන්නෑ. ඒක මට ෂුවර්... මං හිතුවෙ නැ ඒ යකා උඩටත් එයි කියල...'' කිව්වෙ බලාපොරොත්තු නොවුණ යමක් සිද්ධ වුණා කියන පසුතැවිල්ලෙන්.

මේ වෙද්දි මම හිටියෙ තුවායයි සබන් කැල්ලයි අතේ තියාගෙන. ඒක දැකපු අම්පිටිය ''ආ... මට අමතකත් උනානෙ. මල්ලි තාම ඇඟ හේදුවෙත් නෑ නේද...? කන්න දෙයක් උඩට අරං ආව නේද... හරි... දැං ආයි පහළට යන්ඩෝන්නෑ... අර ටොයිලට් ඒකේ පයිප්පෙං ඇඟ හෝදගන්ඩ..." කිව්වෙ එතනින් ඒ තරමට ම ඇග හෝදන්නෙ හරි නාන්නෙ හරි නැහැ කියන ඉඟියත් එක්ක.
''ඒ කියන්නෙ අයියෙ එතනින් නාන්නෙ ඇඟ හෝදන්නැද්ද...?''
මම එහෙම ඇහුවෙ මට ඒක හරියට ම පැහැදිලි කරගන්න වුවමනා නිසා.
''ඔවු... ඒකනං එහෙම තමයි. හැබැයි ඉතිං උඹ ආවෙ අද නෙ... ඒ නිසා කමක් නෑ.''
* * *
සොල්දර තට්ටුවට එද්දි අරගෙන ආපු බත් එක කන්න අතට ගත්ත ගමන් මතක් වුණේ සුසන්තව.
'ඇත්තට ම සුසන්තට මොකක් වෙන්නැද්ද... ඌට මොකක් හරි වැඩක් හම්බුනා ද දන්නෑ... බඩගින්නෙ ඉන්නෙකක් නෑ නෙ... මං සල්ලි දුන්න නෙ...'
''මොකෝ... යාළුව මක් උණා නෙහ්...?"
මගේ කල්පනාව බින්දෙ අම්පිටිය.

''යාළුවට කරදරයක් නැතුව ඇති මල්ලි. උඹ ඌට සල්ලිත් දුන්න කිව්වනෙ... සල්ලි අතේ නොතිබුනා නං නෙ ප්‍රශ්නෙ... සල්ලි තියෙන හිංද ඔය මොනා හරි කාල පේමන්ට් එකක හරි බුදියගනියි නෙ... ඔන්න බලපං හෙට දවස ඇතුළත ඌ ෂුවර් එකට ම මෙහාට එනෝ.''
අම්පිටිය එහෙම කිව්වෙ මගේ හිත හදන්න වෙන්නත් පුළුවන්; සමහර විට ඔය කිව්ව වගේ ම හෙට සුසන්ත එන්නත් පුළුවන්. ඒක ඉතිං හෙට වෙන දෙයක් නෙ.
මෙහාට මම අලුත් වුනාට කවුර කවුරුවත් වැඩි විස්තර අහන්න ආවෙ නෑ. ජස්ටින් වුනත් ඒ වෙලාවෙ කතා කරාට ආයෙත් කතා කරන්න ආවෙ නෑ. කොහොමටත් මිනිහ ටිකක් ගුප්ත කෙනෙක්. හැබැයි අවශ්‍ය වෙලාවෙදි ඔ්න ම දේකට ඉදිරිපත් වෙන කෙනෙක් කියල දැනුණා.
''දැන් රෑ වෙලා. අපි නිදාගමු...'' කියපු අම්පිටිය පුටුව උඩ නැගලා රාක්කයේ උඩ ම තට්ටුවේ තිබුණ ලොකු කාඩ්බෝර්ඩ් එකක් බිමට දැම්මා.
පුටුවෙන් බැහැපු එයා ''රොහාන්... අදට මේකෙ බුදියගන්ඩ. හෙට පැදුරකුයි කොට්ටෙකුයි ගෙන්නා ගමු. මේකෙ කොහේ හරි අස්සක මුල්ලක පැදුරක් තියෙන්ඩත් පුළුවන්. මොක වුනත් කමක් නෑ අදට මෙහෙම බුදියගමුකො... මේක අර ජනේලයෙන් එළියට අල්ලලා ගසල ගන්න.'' කියල කාඩ්බෝඩ් එක මට දුන්නා.
මමත් හිටියෙ මුහුද බලන්න ආසාවෙන්. ඒ වුනාට සැරෙන් සැරේට ඒ ජනෙල් දෙක ළඟ කවුරු ම හරි ඉන්න නිසා මම ඒ ආසාව යටපත් කරගෙනයි හිටියෙ.

ඇත්තට ම ඒ ජනේලය ළඟට ගිහින් මුහුද දිහා බලාගෙන ඉද්දි කාලය ගෙවෙන්නෙත් නෑ. ඈත මුහුදෙ එහා මෙහා යන නැව්වල විතරක් නෙවෙයි මුහුදු ගියපු ඔරු, බෝට්ටුවල පවා පුංචි පුංචි එළි පේන්නෙ හරියට අහසෙ තරු පේනවා වගේ. මට ඒ ලස්සන විඳින්න ලැබුණෙ ''ඒ පාර එතනටත් වෙලා බාවනා කරනව ද බං...? ඔ්ක ගසා ගත්ත නං මෙහෙට වරෙං බං...'' කියල ටිකක් හයියෙන් කියන සද්දෙ එන තුරු විතරයි; ඒ කතා කරේ අම්පිටිය.
නිදාගන්න කලින් මට දැනගන්න දෙයක් තිබුණා.
''ඒක නෙවෙයි අයියෙ... දැං මෙහෙම අපිව උඩට දාල පල්ලෙහා ඔක්කොම වැහුවට පස්සෙ මොකක් හරි කරදරයක් වුනොත් එළියට යන්නෙ කොහොමෙයි..."
''මං හිතුව උඹ නිදාගන්ඩ කලිං ඔයි ගැන අහයි කියල. මෙහෙමයි... අර පිටිපස්සෙ තාප්පෙ තියෙනව නේද... ඒක කෙළවරේ ම පොඩි ගේට්ටුවක් තියෙනවා. ඒකෙ යතුර තියෙන්නෙ පේමයිය ගාව. එයා නැති දවසට ඒ වෙනුවට ඉන්න කෙනාට තමයි ඒක බාර දෙන්නෙ. මොකද කුස්සියෙ වැඩ කරන අය නිදාගන්නෙ පහළ. එයාල උදෙම්ම නැගිටින්න ඔ්නනෙ. ඉතිං උඹ කියන විදිහෙ මොකක් හරි වුනොත් පේමයිය හරි ඒතන ඉන්න වෙන කවුරු හරි ඒ ගේට්ටුව ඇරල දෙනවා.''
''එකොට අයියෙ උදෙන්ම කඩේට පාන් එහෙම ගේන්නෙ...?''
මගෙන් තව ප්‍රශ්නයක්.

''අනේ මංදා... උඹටත් තියෙන්නෙ මාර ප්‍රශ්න නෙ බං... පාං, රොස් පාං... ඒතකොට ඔය අනික් කෑම ඔක්කොම එන්නෙ උදේ පහ පහු උණ ගමන්. හැබැයි ඊට කලිං මුදලාලි එනවා. හදිසියෙවත් මුදලාලි එන්නෙ නැත්නං මැනේජර්කාරයා එනවා. ඒ දෙන්නගෙන් කවුරු හරි තමයි ඒ කෑම බාරගන්නෙ. පාන් රෝස්පාන් ටික කෑම පැන්ට්‍රියෙ ලෑල්ල උඩ තමයි තියන්නෙ. ඒ ටික පිළිවෙළක් කරගන්ඩෝනෙ උඹ තමයි ඉතිං... මං ඔය හෙටත් සපෝට් එකක් දෙන්නං... ඔය... ඉදිආප්ප එහෙම ගේන්නෙ හයට විතර නෙ... එතකොට කඩේ ඇරල.''
මට තවත් ප්‍රශ්න අහන්න ඉඩ නොතබා ම අම්පිටිය හැම දෙයක් ම පැහැදිලි කළා.
සතියකින් හමුවෙමු...
(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2025/ 06/ 07
ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්





