leader s

මේ දැන් මොහොතකට කලිං සිද්ධ වුණ දේත් එක්ක අද හවස සිද්ධි හැම දෙයක් ම අමතක වුණා. මට අමතක වුණ ඒ සිද්ධි මතක් කරේ අම්පිටිය අයියා. සිද්ධ වෙච්ච හැම දෙයක් ම වගේ ම ලබපු හැම සතුටක් ම අම්පිටිය අයියට කියන්න බැරි වුනත් එයාට කියන්න පුළුවන් දේවල් ටික හරි කියන්න මම හිත හදාගත්තා.


මොකද මමයි සුසන්තයි අතර තියෙන බැඳීම කොච්චර දුර දිග ගියපු එකක් ද කියල අම්පිටිය අයිය වුනත් දැනගන්න වුවමනා නෑ.

''ඔවු අයියෙ ගියා... එයැයි මාව කඩේ ළගට ම ඇරලලයි ගියේ.''

''ඒක නෙ... අඹ යාළුවො උනාම එහෙම තමයි... දැන් උඹට යාළුවා ඉන්න තැනට තනියම යන්ඩ පුළුවන් ඇති නෙහ්...''

අම්පිටිය අයියා එහෙම ඇහුවා ම තමයි මට මතක් වුණේ ඇත්තට ම මට සුසන්තගෙ වැඩපළට තනියම යන්න පුළුවන් ද බැරිද කියල.

''මෙහෙමයි අයියෙ... පයින් නං ගියෑකි... හැබැයි බස්සෙකේ යන්න නං මතක නෑ...''

walking 111

අම්පිටිය අයියට බොරු කියන එකේ තේරුමක් නැති නිසා මම ඇත්ත ම කිව්වා.

''ආ... ඒකට මෙකෝ... මොකෝ මෙතන ඉඳල මහ දුරක් නැහැනෙ. පයිං යන්ඩ පුළුවං වෙන්ඩෝන... ඒක හොඳයි. හරි හරි... එහෙනං මං දැං යන්නං... මං දැං ඉතිං නිදහස්... රෑට හම්බ වෙමු...''

අම්පිටිය අයියා නොකියා කිව්වෙ එයා අද දවස ඇතුළත ආයෙ වැඩ කරන්නෙ නෑ කියල. ඒ එක්ක ම සුසන්ත ගැන වගේ ම අද දවස ගැන රෑට කතා කරමු කියන එක.

*          *          *

සාගරසිරියෙත් පඩි ගෙවන්නෙ හැම මාසෙ ම දහවෙනිදා. එහෙම වෙද්දි හැම කෙනකුගෙ ම දවස් දහයක, ඒ කියන්නෙ පඩියෙන් තුනෙන් එකක් හැම වෙලාවෙ ම කඩේ අයිතිකාරයො ගාව ඉතුරු වෙනවා. ඒක එයාලට ලොකුවාසියක්. මොකද දහවෙදායාන් පස්සෙ ඒ මාසය ඇතුළත කවුරු හරි අස්වෙලා ගියොත් ඒ ඉතුරු පඩිය ආයෙ කවදාවත් ඒ මනුස්සයට ගන්න හම්බ වෙන්නෙ නෑ.

මම ආවෙ ගිය මාසෙ දහඅට වෙනිදා. ඒ කියන්නෙ මගේ පඩිය තියෙනවා නම් තියෙන්නෙ තුනෙන් එකයි. අද දහවෙනිදා... ඒ නිසා සමහර විට අද මට ඒ සල්ලි දෙන්නත් පුළුවන්, සමහර විට ලබන මාසෙ දහවෙනිදා ම දෙන්නත් පුළුවන්. මම එහෙම හිතුවට අම්පිටිය අයිය නම් කිව්වෙ වෙන කතාවක්.

 

money 20

''මලයො... මැනේජර්කාරයා උඹට පඩිය කීයක් දෙනව කිව්ව ද...?''

''ගාණක් කිව්වෙ නෑ අයියෙ... පඩිය අහන්නෙපයි කිව්ව; පඩිය තීරණේ කරන්නෙ වැඩ කරන විදිහ බලලයි කිව්ව...''

''ආ... එහෙම ද... ඔ්කා මහා ලෝක අණ්ඩයා... මේ ඉන්න හැම එකෙකුට ම පඩි නොදී වැඩ ගන්ඩ පුළුහන්නං ඔ්ක එහෙමත් වැඩ ගනීවි.''

අම්පිටිය අයිය එහෙම කියද්දි මම ආයෙත් ගාල්ලෙ හැව්ලොක් හෝටලයට ගියා. ඒ අතින් ඒ හෝටලය කොච්චර හොඳයි ද...? එහෙත් පඩි දෙන්නෙ දහවෙනිද ම තමයි. හැබැයි අතර මැදද දි කවුරු හරි අස්වෙලා යව නං දවස් දෙකකට තුනකට කලිං කියන් ඔ්න. එහෙම කියල තිබ්බා ම යන දවසට ඉතුරු පඩි සල්ලි දෙනවා. වේටර්ලට තියෙන ප්‍රශ්නය තමයි එයාල අතිං පිඟානක්, පීරිසි කෝප්පයක් එහෙමත් නැතිනම් වීදුරුවක් එහෙම බිඳුනොත් පඩියෙන් ඒ සල්ලි කපා ගන්න එක; අනික කන්න තහනම් කරල තියෙන කෑමක් හොරෙන් කාල අහු වුනොත් ඒ කැමවල මිල වගේ දෙගුණයක් පඩියෙන් කපන එක. කියල, ගණන් දාල කෑවොත් නියම ගාණ විතරයි කපන්නෙ. හැබැයි ඉතිං කොල්ලො හොරෙන් කනවා... ඒක නවත්තන්න අමාරුයි. ඒ ඇරුනහම පඩි සල්ලි ගන්න කිසිම අමාරුවක් නෑ.

''ඒ කියන්නෙ අයියෙ මට පහුණ මාසෙ දවස් දොළහෙ පඩි දෙන එකක් නෑ කියල ද...?''

''නෑ... එහෙම වෙන එකක් නෑ... මොකද... වේටර්ලට වගේ නෙවෙයි නෙ උඹලට... උඹලට ඉතිං වෙන සල්ලියක් හම්බෙන්නෙ නැහැ නෙ... ඒ හිංද දෙයි. කොයිකටත් අද දවල්ට උඹ ඔ්ෆ් වෙන්ඩ කලිං මං මැනේජර්කාරය ළඟට යන්නං. මගේ පඩි ගත්තට පස්සෙ මං අහන්නං උඹ පඩි ගන්න එවන්න ද කියල. ඊට පස්සෙ බලමු...''

අම්පිටිය අයියයි මායි මේ දේවල් කතා කරේ එයා උදේට කන්න ආපු වෙලාවෙ. කෑම කන්න පැන්ට්‍රිය ඇතුළට එන්න පුළුවන් අම්පිටිය අයියට විතරයි. අනිත් අය කෑම කන්න එන අයට ඔ්ඩර් කරනව වගේ ම එළියෙ ඉඳං ඔ්නෙ කරන කෑම මගෙන් ඉල්ල ගන්න ඔ්න. මේ වෙද්දි මමත් ඔය කොල්ලො දෙතුන් දෙනකුට මාළු කැල්ලක් මස් කැල්ලක් එහෙම දෙනවා. බිත්තර නං දෙන්නෙ නෑ. මොකද ඒවා හරියට ම ගැණල නෙ ගේන්නෙ.  

 

speaking man 250802

'ඇත්තට ම මට මෙහේ පඩිය කීයක් විතර දෙයි ද...? නිකමට වගේ අම්පිටිය අයියගෙන් ඇහුව නම් හොඳයි.'

''අයියෙ... ඔයැයි හිතන්නෙ මට පඩි කීයක් විතර දෙයි ද...?"

''මෙහෙමයි... මෙහේ වේටර්ලට නං දෙන්නෙ රුපියල් දෙසීයයි දෙසිය පනහයි... හැබැයි ඩේවිට් අයියට නං දැන් පන්සියක් ද කොහෙද ගෙවනවා. උඹට සමහර විට රුපියල් තුන්හාර සීයක් දෙයි.''

'තුන්හාර සීයක්...! හම්මෝ... එහෙනං මරු නෙහ්...'

මම එහෙම කිව්වෙ නෑ; මට එහෙම හිතුණා විතරයි.

''මෙහ්... ඒක නෙවෙයි... අයියට කියක් විතර හම්බවෙනවයි...?"

ඒ ප්‍රශ්නය අහන්න හොඳ නැති ප්‍රශ්නයක් නේද කියල මතක් වුණේ ප්‍රශ්නය ඇහුවට පස්සෙ. දැන් ඉතිං කරන් දෙයක් නැහැ නෙ... හැබැයි අම්පිටිය අයිය ඒකට උත්තර දුන්නෙ කිසිම බරක් පතළක් නැතුව.

''මට ද...? මං ඉතිං කාර්යබාරයක් නැති එකානෙ මල්ලි. ඒ හිංද වෙන්නැති මට නං තුන්සිය පනහක් ගෙවනවා. වේටර් වැඩ කරන දවසටත් ඔය රුපියල් පහළොවක් විස්සක් හොයාගන්නවා. එච්චර තමයි. හැබැයි අනික් ඒවුන් දන්නෑ මට තුන්සිය පනහක් දෙනව කියල. උඹ නිකමටවත් කියන්නෙහෙම නෑ හරිද..."

d7537c0ad4463487ca34e8601d170646

අම්පිටිය අයියා අන්තිම වචන ටික කිව්වෙ හිනා වෙවි වුනත් ඒ වචනවල පොඩි තර්ජනයකුත් තිබුණා. කොහොමටත් මම අම්පිටිය අයියට විරුද්ධව හරි එයාට නරකක් වෙන දෙයක් හරි කියන්නෙ නෑ. මොකද මේ දවස් විස්සක වගේ කාලෙදි මේ හෝටලයේ මට හම්බවුණ එක ම මනුස්සය මෙයා විතරයි. අනික් එවුන් වුනත් නරක නෑ; හැබැයි එවුන් ආත්මාර්ථකාමියි; මහා ගුප්තයි. උන් තවමත් මාත් එක්ක හරි හරියට කතා කරන්නෙවත් නෑ. ඇඟැලුම්කම් පාන්න එන්නෙත් නෑ. අම්පිටිය අයිය වුනත් මට කියල තියෙන්නෙ එවුන් හැම කෙනෙක් ම අතේ දුරින් තියාගන්න කියල. මොකද වැඩිය ළං කර ගත්තොත් ''මචං බිත්තරයක් දියං, මචං මස් කෑල්ලක් දියං, මචං ඔය කිරි මාළු කෑල්ලක් දියං, මචං ෂේප් එකේ බැදපු මාළු කෑල්ලක් දෙන්න බැරිද?'' වගේ වචන දාල මාව ෂේප් කරගෙන උන්ගෙ වැඩේ කරගනියි කිව්ව. අන්තිමේදි මට තමයි කෙළවෙන්නෙ කිව්ව. ඒකත් ඇත්ත තමයි බලාගෙන ගියාම. තවත් පැත්තකින් බැලුව ම උන් පවු කියලත් හිතෙනවා. හැබැයි අම්පිටිය අයිය කියන විදියට හදිසියෙ හරි මට දෝෂාරෝපණයක් ආවොත් එවුන් එක්කෙනෙක්වත් මම වෙනුවෙන් කතා කරන්නෙ හරි, මගේ පඩියෙන් කපාගන්න සල්ලි හරි මට දෙන්නෙ නැහැ නෙ.

''පිස්සුද අයියෙ... මං ඔයැයිට එහෙම කරනවයි...?''

මට වුවමනා වුණේ අම්පිටිය අයියගෙ හිත හදන්න. ඒ නිසා මම එහෙම කිව්වෙ.

''උඹටත් පිස්සු ද බං... මං එහෙම කිව්වෙ විහිළුවට. මං දන්නව... උඹ මේකෙ ඉන්නවුන්ට වඩා හොඳ එකෙක් කියල."

මගේ හිතට සැහැල්ලුවක් දැනුණෙ අම්පිටිය අයියා අන්න ඒ වචන ටික කිව්වට පස්සෙ.

*          *          *

''ඒයි... රොහානයො... අන්න උඹට මැනේජර්කාරය එන්ඩෙයි කිව්ව... මං හිතන්නෙ උඹේ පහුගිය දවස් ටිකට පඩිය හදලැති. පලයං... ගිහිං වරෙං..."

හවස තුනට පහක් විතර තියෙද්දි පැන්ට්‍රියට ඇතුළු වෙන ගමන් ම අම්පිටිය අයියා එහෙම කිව්වම මට හෙණ ජොලියක් ගියා.

''ආ... ඇත්තෙයි අයියෙ... මරු නෙ... එහෙනං මං කාල ම යන්නං... නැහ්නං හිතයි ඔයැයි කියපු ගමං ම මං ආවයි කියල.''

 

c50f642a665a65204fa2886b635e92e1

සාගරසිරියෙ පළවෙනි පඩිය ගන්න මොන තරම් හදිස්සියක් තිබුණත් මට හිතුණ එහෙම කරන එක හොඳයි කියල; අපරාදෙ කියන්න බෑ අම්පිටිය අයියත් මගේ අදහස අනුමත කරා. ඒ නිසා බත් කාල ම යන්න මං තීරණය කළා.

''ඔවු ඔවු... ඒක හොඳයි. නාල කාල දෙක ම ඉවර කරල ගියත් කමක් නෑ... මොකෝ මැනේජර්කාරයා අද කොහොමත් හත පහුවෙනකම්ම ඉන්නවා.''

අම්පිටිය අයිය කියපු ඒ කතාව මට අදහා ගන්න බැරි වුණා. හදිසියෙවත් මුදලාලි නැති දවසක් එහෙම වුනොත් හැර මැනේජර් හවස පහට යනව කියල තමයි මට අම්පිටිය අයිය කලින් කියල තිබුණෙ.

''හානේ... ඇත්තෙයි...! අර මොකෝ අද එයැයි හතත් පහුවෙනකන් ඉන්නෙ...?''

''හනේ හනේ...! උඹ මහා මොළකාරය උණාට ඒක තේරුන්නෑ නෙහ්... ඇයි බං සමහර වේටර්ල ඉන්නවනෙ රැ හතට ඔ්ෆ් වෙන. ඇයි විල්මටි අයිය... එයැයි සමහර දවස්වලට ඔ්ෆ් වෙන්නෙත් හතට නෙ... ඒ හිංද තමයි මැනේජර්කාරයා පඩි දවසට රැ හතත් පහුවෙනකං ඉන්නෙ..."

19593417267dbe424ca7c37262ccdad5
'ඇත්ත නේන්නං... ඒ අතිං නං මැනේජර් හොඳයි නැහ්නං රැ හතට ඔ්‌ෆ් වෙන අයට පඩි ගන්න වෙන්නෙ පහුවෙනිද නෙ.'

''හම්ම්ම් ඒකත් එහෙමෙයි...? හරි... එහෙනං මමත් බත් ඩිංගක් කාල යන්නං.''

මැනේජර්ගෙ කාමරයට ගිහින් ආපහු පැන්ට්‍රියට ආපු මාව දැකපු ගමන් ම අම්පිටිය අයිය ''මොකෝ බං... මැනේජේර්කාරය උඹේ පඩිය හදල නැද්ද... එහෙනං මොන බම්බුවකට ද ඌ උඹට එන්ඩ කිව්වෙ...?''

''නෑ නෑ අයියෙ... එහෙම දෙයක් නෑ...''

මම ඒ වචන ටික කිව්වෙ වුවමනාවට එපාවට වගේ...

''එහෙනං මොකෝ මේ මිනිහ මැරිච්ච ගෑනි වගේ විරවපට්ටං ගහගෙන...?''

අම්පිටිය අයිය ඇහුවෙ තරමක කේන්තියෙන්.


සතියකින් හමුවෙමු...

Jayasiri Alawattha(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2025/ 08/ 09

ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්   

 

whatsapp 202507155

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්