මැනේජර් මහත්තයා එහෙම කිව්වට පස්සෙ ඉතිං මම ආයෙ වතාවක් මොනව කරන්න ද...? මම ''එහෙනං මං යන්නං මහත්තයො,'' කියාගෙන ආපහු ආවා.
'දැන් කතාව තියෙන්නෙ අම්පිටිය අයියත් එක්ක...'
* * *
මම ආයෙත් පැන්ට්‍රියට එන්න පිටත් වුණේ අම්පිටිය අයියත් එක්ක කේන්තියෙන්. ඒ වුනත් මැනේජර් මහත්තයගෙ කාමරේ ඉඳල පැන්ට්‍රිය ළඟට එද්දි මට කල්පනා වුණේ මෙහෙම.
'මගේ දවසක පඩිය අඩු කරල තියෙන එක මැනේජර් එක්ක කතා කරන්න එපා කියල මම අම්පිටිය අයියට කිව්වට පස්සෙත් මිනිහ ඒක මැනේජර්ගෙන් අහන්න ඇත්තෙ මගේ ම හොඳට නෙ...'

එන ගමන් පැන්ට්‍රියට නොගිහින් කෙළින් ම උඩට ගිහින් ඇඳුම් අරගෙන ඇවිත් නාගන්නව කියල හිතුණත් මම දන්නෙම නැතුව මම පැන්ට්‍රියට ගියා.
මම පැන්ට්‍රියට ඇතුළු වෙද්දි අම්පිටිය අයියා ඉටි කොළ කප කප ඉන්නවා. කිසිම කතාවක් නෑ; මටත් එයත් එක්ක කතා කරන්න හිතුණෙ නෑ. ඒ නිසා මමත් සද්ද නැතුව කෑම එකක් බෙදල වහල තියල උඩට ගියා. මම හිතුවෙ මං එන්න හදද්දි අම්පිටිය අයිය මට කතා කරයි කියල. නමුත් එයා කතා කරේ නෑ.
පැය බාගයක් විතර වෙද්දි මම නාල රෙදිත් හෝදගෙන ඉවර වෙලා, රෙදි ටික වනලා ආයෙ පැන්ට්‍රියට ගියේ බඩගිනි නිසා. මොකද දවල්ට කෑම උඩට ගෙනිහින් කන්න තහනම්. රැට විතරයි වුවමනා නම් උඩ තට්ටුවට කෑම අරගෙන යන්න පුළුවන්. ඒ සමහර විට මොනවා හරි හොරෙන් කාවි කියන අදහස ඇතුව වෙන්න ඇති. කොහොමටත් ඒ වෙලාවට ඔ්ෆ් වෙන කෙනෙක් හැර වැඩ කරන කෙනෙකුට කෑම එක උඩට අරගෙන ගිහින් කන්න තරම් නිදහසක් නෑ.
වතුර බෝතලයකුත් අරගෙන ම පැන්ට්‍රියට ගියපු මම කිසිම කතාවක් බහක් නැතුව බත් කෑවා; ඒත් මාත් අම්පිටිය අයියත් අතර කිසිම කතාවක් බහක් නෑ. එයා පාඩුවෙ එයාගෙ වැඩ කරනවා; මම පාඩුවෙ බත් කනවා.

මගෙත් හිතුවක්කාරකමට බත් කාලා පිඟාන හෝදගෙන ඇවිත් රාක්කයෙන් තියලා යන්න හදද්දි ම අම්පිටිය අයියා එයාගෙ දකුණතින් මගේ වම් අතේ වැළමිටට ටිකක් පහළට වෙන්න තදින් අල්ලා ගත්තා; අල්ලාගෙන ''ඔහොම හිටහං... උඹ මගෙත් එක්ක තරහද?" කියල ඇහුවෙ එයා මට වරදක් කරල වගේ.
ඇත්තට ම මගේ හිත දන්නවා අම්පිටිය අයිය කරේ වරදක් නෙවෙයි කියල. ඒත් මගෙත් තියෙන මොකක්දෝ උද්ධච්චකමකට මට ඒක කියන්න හිතෙන්නෙ නෑ. ඒ නිසා මම මොනවත් ම නොකියා බිම බලාගෙන හිටියා.
අම්පිටිය අයියා මගේ අත අල්ලාගෙන ඉන්න ගමන් ම ටිකක් තදින් ඒ අත හෙලෙව්වා. හොලවන අතර ම ''උඹ හිතනව ද මං උඹට වරදක් කරා කියලා...? ආ... කියපං... උඹ හිතන්නෙ මං උඹට වරදක් කරා කියල ද...?"
එයා දෙවෙනි වතාවට ඒ වචන ටික ඇහුවෙ කලින් වතාවට වඩා ටිකක් සැරෙන්.
ඒත් මට කතාකරගන්න බැරි මොකක්දෝ අපහසුතාවයක් දැනුණා; මම 'නැහැ' කියල හඟවන්න මගේ ඔළුව දෙපැත්තට වැනුවා.
''හරි... ඒනං විනාඩි දායක් පාළොවක් වෙලසනින් වරෙංකො... දැං ගිහින් ටිකක් නිදාගනිං..."

ඒ වචන ටික කියල ඉවරවෙද්දි අම්පිටිය අයිය එච්චර වෙලා තදින් අල්ලගෙන හිටපු මගේ අත බුරුල් කලා; බුරුල් කළා ද ඉබේට ම බුරුල් වුණා ද කියන්නත් මට හරියට නිච්චියක් නෑ. ඒත් මම නෙවෙයි වචනයක් හරි කතා කළේ; කලින් වගේ 'නෑ' කියන අදහස නෙවෙයි 'හා' කියන අදහස හැඟෙන විදියට ඔළුව වනල පැන්ට්‍රියෙන් එළියට ආවා.
පහයි හතළිස් පහ වෙද්දි මම ආයෙ පැන්ට්‍රියෙ.
කොහොමටත් ටිකක් නිදාගන්න කියල හාන්සි වුනත් නින්ද අහලකටවත් ආවෙ නෑ. හිත මොකක්දෝ වරදකාරී හැඟීමකින් පිරිලා. ඒ ඇයි කියල කියන්න විතරක් නෙවෙයි හිතන්නවත් මට බෑ. උඩට ගියපු වෙලාවෙ ඉඳන් මම බලාගෙන හිටියෙ ආයෙ පැන්ට්‍රියට යන්නෙ කොයි වෙලාවෙද කියල; ඒ තරමට ම ඔළුව අවුල්. මට මොනවද වෙලා තියෙන්නෙ කියල මට ම තේරුම් ගන්න බැරි තරමට ම මම අවුල්.
මම පැන්ට්‍රිට එද්දි මට කරන්න කිසිම වැඩක් ඉතිරි කරල තිබුණෙ නෑ. අම්පිටිය අයිය හැම දෙයක් ම පිළිවෙළට කරල තිබුණා.
''ආහ්... උඹ ආව ද...? එහෙනං ඔන්නොහෙං වාඩි වෙයංකො," කියපු අම්පිටිය අයියා මම වාඩි වුණ පුටුව ගාවට ම අනිත් පුටුව ඇදල අරගෙන මගේ ළඟින් ම වාඩි වුණා.
''උඹ මාත්තෙක්ක තරාද...?''
අම්පිටිය අයියා පළමුවෙන් ම ඇහුවෙ එහෙම.
''නෑ අයියෙ නෑ..."
කොහෙන් ආපු ශක්තියකින් ද මන්දා මම කෙළින් ම අම්පිටිය අයිගෙ ප්‍රශ්නයට පිළිතුරු දුන්නා.

''හරි... එහෙනං මේ ටික අහගනිංකො... උඹේ දවසක පඩිය කපපු එක ගැන මැනේජර්කාරයගෙන් අහන්ඩ එපා කියල උඹ කිව්ව තමයි. ඒ, මගේ ජොබ් එකට කෙලවෙයි කියල තියෙන බය නිසා බවත් ඇත්ත. ඒත් ඒ විදියෙ දෙයක් ආයෙත් වෙන්න බෑ. ඒක උඹට ද, මට ද, වෙන එකෙකුට ද කියල වෙනසක් නෑ. අඩුම තරමින් මුදලාලි එහෙම කිව්වනං ඒත් කමක් නෑ. මේ කොහෙදෙ යන එකෙකුට පුළුවං ද අපේ පඩි කපන්න. එයා මුදලාලිගෙ මස්සිනා තමයි; ඒ වුනාට අපිකරන වැඩේට පඩි ගෙවන්නෙ ඌ නෙවෙයි නෙ... අනික එදා උඹ හිටියෙ නෑ කියල ඒ විනාඩි පහළවට කඩේට අලාබයක් වුණා ද...? නෑ නෙ... එහෙව් එකේ ඌට පුළුවං ද අපේ පඩි කපන්ඩ. මං ඒත් මැනේජර්කාරයට කිව්වා මං මේක මුදලාලිට කියනව කියල; ඒත් මැනේජර්කාරයා කිව්වා 'එහෙම කියන්ඩ එපා, උං උං තම තමංගෙ එවුං' කියල. එතනදි මට තේරුණා මැනේජර්කාරය කියපු කතාව ඇත්ත කියල. ඒ හිංදයි මං නිකා උන්නෙ... තේරුණා ද...?"
අම්පිටිය අයියා අන්තිම වචනය කියන තුරු ම මම හිටියෙ ඔළුව බිමට නමාගෙන. අම්පිටිය අයිය අන්තිම වචනය ඒ කියන්නෙ ''තේරුණා ද...?" කියන වචනය ඇහුවේ මගේ නිකටෙන් අල්ලලා මගේ ඔළුව ඉහළට ඔසවන ගමන්.
අම්පිටිය අයියට මම එපා කියපු දේ වුනත් එයා කරල තියෙන්නෙ මගේ වගේ ම මෙතන වැඩ කරන අනිත් හැමෝගෙම හොඳට නේද කියල දැනුණහම මට හිතට දැනුණෙ පුදුම සතුටක්; ඒ සතුට කොච්චර ද කියනවා නම් මට අම්පිටිය අයියව බදාගන්න හිතුණා. ඒත් මේ පැන්ට්‍රිය ඇතුළ ඒකට සුදුසු තැනක් නෙවෙයි. ඒ නිසා මම අම්පිටිය අයියගෙ මූණ දිහා කෙළින් ම බලාගෙන එයත් එක්ක හිනාවෙන්න හදද්දි ම මමත් නොදැනුවත්ව මගේ ඇස් දෙකෙන් කඳුළු ගලන්න පටන් ගත්තා. අම්පිටිය අයියත් ඒක දැක්කා.
එක පාරට ම පුටුවෙන් නැගිටපු අම්පිටිය අයියා මගේ උරහිස් දෙකෙන් අල්ලලා මාව නැගිට්ටෙව්වා.
''මං දන්නව... උඹේ ඔය කඳුළු දුකට ගලන කඳුළු නෙවෙයි කියල. සමහර විට උඹට පුංචි දුකකුත් ඇති. ඒත් ඔය ගලන්නෙ සතුටු කඳුළු. උඹ හොඳ එකා; ඒ නිසාම තමයි මං එහෙම කරේ... ඉස්සරහටත් එහෙම තමයි."

එදා ඉඳල අපේ බැඳීම තව තවත් ශක්තිමත් වුණා. මේ වෙද්දි ඒ බැඳීමට මාස තුනක්. සුසන්ත මුණ ගැහුණ වෙලාවක මම එදා සිද්ධිය සුසන්තට කිව්ව ම සුසන්ත කිව්වෙ එයාටත් අම්පිටිය අයියව දකින්න ආසයි කියල. හැබැයි තවමත් ඒ අවස්ථාව උදාවුණේ නෑ. උදාවුණේ නෑ කියන්නෙ අපි තුන්දෙනාට එක දවසක, එක වෙලාවක, එකට මුණගැහෙන්න නම් කොහොමටත් බැරි වෙනවා. සුසන්තට නම් අපිට වඩා නිදහස තියෙනවා. එයාට වැඩ තියෙන දවසක වුනත් නිවාඩුවක් ගන්න පුළුවන්. ඒත් අපි දෙන්නට ම එහෙම බෑ. මොකද අම්පිටිය අයිය කියන්නෙ හැම කෙනෙකුගෙ ම අඩුපාඩු පුරවන කෙනා. මේ මාස දෙක තුනට අම්පිටිය අයියා එක දවසක්වත් නිවාඩු ගත්ත බවක් මට මතක නෑ. ඒ වුනාට මම දවස් දෙකක් නිවාඩු ගත්තා. ඒ දවස් දෙකේ ම පැන්ට්‍රියෙ හිටියෙ අම්පිටිය අයියා.
'ඇත්තට ම ඇයි අම්පිටිය අයියා නිවාඩුවක්වත් ගන්නෙ නැත්තෙ...?'
මම අම්පිටිය අයියාගෙන් කවදාවත් එහෙම ඇහුවෙ නෑ. හැබැයි මට එහෙම හිතුණා. ඒ වගේ ම ඒ විදියට නිවාඩුවක්කත් නොගෙන වැඩ කරන්නත් මොකක් හරි හේතුවක් ඇති කියල මට හිතුණා. අන්න ඒ නිසා තමයි මම ඊයෙ රෑ මේ ගැන අම්පිටිය අයියාගෙන් ඇහුවෙ.
''ඔවු බං... ඒකට විශේෂ හේතුවක් තියෙනවා. හැබැයි ඒක ටිකක් දිග කතාවක්. දිගයි කිව්වට ඉතිං දිගමත් නෑ. හැබැයි කොටත් නෑ. උඹට අහගෙන ඉන්න පුළුවන් නං මං කියන්නං."
''එළි වෙනකං හරි අහගෙන ඉන්නං අයියෙ... ඔහේ කියන්නකො."
* * *

අපි දෙන්නට නින්ද ගියේ කීයට විතර ද කියල අපි දෙන්නට ම මතක නෑ. මට උදේ ඇහැරුණෙත් අමිපිටිය අයිය කතා කරාට පස්සෙ. මට එක පාරට ම මතක් වුණේ ඊයෙ අම්පිටිය අයිය කියපු එයාගෙ කතාව නෙවෙයි; උදේ පාන්දර අවදි වුණ ගමන් ම එයා මට කියපු දේ.
''මෙහ්... මං උඹට කියපු කිසිම දෙයක් මෙහේ ඉන්නෙකෙක්වත් දන්නෑ හොඳේ."
අම්පිටිය අයිය කියපු ඒ වාක්‍ය ඇතුළෙ නොකියපු හුඟාක් දේවල් හැංගිලා තියෙනවා. ඇත්ත... අපි හැමෝගෙ ම ජීවිත ඇතුළෙ එහෙම කතා තියෙනවා. මගේ කතාව වුනත් එහෙම නෙ... මං වුනත් මගේ කතාව ඔක්කොම අම්පිටිය අයියට කියල නැහැ නෙ; එයා මගෙන් කවදාවත් ඒ ගැන අහලත් නැහැ නෙ... අහපු දේවල්වලට උත්තර දුන්න මිසක මටත් මගේ කතාව ඔක්කොම අම්පිටිය අයියට කියන්න වුවමනාවක් තිබුණෙත් නැහැ නෙ.

සුසන්ත ගැන වුනත් අම්පිටිය අයිය හාර හාර ඇහුවෙ නැහැ නෙ... එයා ගැන වුනත් අහපු දේවල්වලට ඇරුණහම ඊට වැඩි යමක් කියන්න මට වුවමනාවක් තිබුණෙත් නැහැ නෙ... අනේ මංදා... මට වෙලාවකට හිතෙනවා ඇයි අපි එහෙම වෙන්නෙ කියල...? නෑ... එහෙම වෙන එක හොඳයි... වක්කඩ කැඩුව වගේ හැම දෙයක් ම කිව්ව ම ආයෙත් කියන්න කිසිම දෙයක් ඉතුරු වෙන්නෙ නෑ. ඒත් කවදක හරි ආයෙත් මොනව හරි ඇහුවොත් අන්න එදාට කියන්න මොන මොනව හරි දේවල් ටිකක් ඉතුරු කරගෙන හිටිය ම ලේසියි. සමහර විට ඒ දේවල් කවදාවත් ම නොකියවෙන්නත් පුළුවං. ඒත් ඒ ගැන පසුතැවෙන්න ඔ්නකමකුත් නැහැ කියලයි මට නං හිතෙන්නෙ.
කොහොම වුනත් අම්පිටිය අයියගෙ කතාව මං හිතුවට වඩා හුඟක් වෙනස් වගේ ම දුක හිතෙන කතාවක්. මගේ කතාව වගේ ම අම්පිටිය අයියගෙ කතාවත් ඔයාල දැනගෙන ඉන්න එක හොඳයි කියලයි මට හිතෙන්නෙ.
සතියකින් හමුවෙමු...
(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2025/ 08/ 23
ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්






