"....මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ 

මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් වෙඩිවැදි මරණයට පත්ව තිබේ.

ඔහු එම ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනි.

අද (20) අළුයම එම වැටලීම සිදුකර තිබේ.

එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇත.

ඉන් අනතුරුව ඇති වූ වෙඩි හුවමාරුවෙන් මාකඳුරේ මධූෂ්ට සහ CCD නිලධාරින් දෙදෙනෙකුට තුවාල සිදුවී තිබේ.

ඉන් මාකඳුරේ මධූෂ් මරණයට පත්වී තිබේ.

අනතුරුව එම ස්ථානයේ සිදුකළ සෝදිසියෙන් කෝටි 22ක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝ 22ක්, පිස්තෝල දෙකක් සහ යතුරුපැදියක් සොයාගෙන තිබේ.

වසර 1 1/2කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි මාකඳුරේ මධුෂ් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 16)  වැඩිදුර පරික්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දුනි.

ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මාකඳුරේ මධුෂ් ලබාදුන් තොරතුරකට අනුව කොටිකාවත්ත ප්‍රදේශයේ සඟවා තිබූ හෙරොයින් කිලෝ 10ක් සොයා ගැණුනි.

වසර ගණනාවක් ඩුබායිහි රැඳී සිටි මාකඳුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි මෙහෙයුමකින් අනතුරුව පසුගිය වසරේ දී මෙරටට රැගෙන එන ලදි...."

මේ මාකඳුරේ මධුෂ් ගේ චිත්‍රපටි කතාව අවසන් වූ ආකාරය යි.

මේකත් හරියටම වෙනින් කවුරුවත් නෙවෙයි ලෙනින් මොරායස් ගේ චිත්‍රපටියක එන කතාවක් මෙනි.

හැමදාම එකම වට්ටෝරුව ය.

ලෙනින් මොරායස් පමණක් නොව යසපාලිත නානායක්කාර හැදුවත්, සුනිල්සෝම පීරිස් හැදුවත් තත්ත්වය ඕකය.

අද ඔවුන්ගේ වට්ටෝරු සිනමාව නැත.

අද ඒ කාර්යය ඉටු කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. 

කතා සාරාංශය මෙසේය.

ඔන්න අපරාධකරුවකු අල්ලා ගනී.

ඔහු විසින් සඟවා ඇති ආයුධ පෙන්වන්න පොලීසියත් රැගෙන යයි.

මොකද අපේ පොලීසියට ඇඩ්‍රස් එක්ක දුන්නත් හරියටම තැන හොයාගන්න නොහැකිය.

පොලීසියේ සේවයට ඉන්නේ ගොඩක් තුම්පනේ අය ය.

පොලීසිය මෝඩ වී සැකකරුවන් ගේ බහට රැවටී එම ස්ථානය වෙත යයි.

එවිට සඟවා ඇති ආයුධයක් අතට ගන්නා සැකකරු පොලීසියට වෙඩි තබයි.

පොලීසියට කිසිදු අනතුරක් සිදු නොවේ.

සැකකරු වෙඩි වැදී මිය යයි.

ඉන් පසු සාක්කි නැත.

වැඩිදුර පරීක්ෂණ නැත.

රහස් වැළලී යයි.

ෆයිල් එක වැසේ.

චිත්‍රපටිය නිමාවට පත් වෙයි.

මේ වට්ටෝරු කතාවල කවදාවත් හොරකම් කළ සල්ලි පෙන්වන්න ‍යන දේශපාලකයන් වෙඩි කා මිය යන්නේ නැත.

කෝටි ප්‍රකෝටි ගණනින් රටේ ධනය කොල්ලකෑ ජාවාරම්කරුවන්, ව්‍යාපාරික ප්‍රබලයන් වෙඩි කන්නේ නැත.

මෙසේ පොලීසියෙන් වෙඩි කා මියයන්නේ ඇත්තටම ආයුධ හෝ කුඩු හෝ සඟවාගෙන සිටින අපරාධකරුවන් ද ?

මෙලෙස මියයන්නේ හෙළි කරන්නට රහස් සඟවා ගෙන සිටින මිනිසුන්  ය.

මාකඳුරේ ධනුෂ් කතා පිටපතේ දුර්වල තැන් කිහිපයක් තිබේ.

කොටිකාවත්තේ කුඩු තියෙන තැන මධුෂ් මීට කලින් හරියටම කිව්වා නම් මාළිගාවත්තට ඔහු රැගෙන ගියේ ඇයි?

පොලීසියේ බබාලාට කුඩු හඳුනාගත නොහැකි ද?

මධුෂ් ට වෙඩි තැබූ සැකකරුවන් හීරීමක්වත් නැතුව පළා ගියේ කෙසේද ?

එම සැකකරුවන් හරියට ඉලක්කයටම මධුෂ්ටම වෙඩි තැබුවේ කෙසේද ?

මේවා ප්‍රේක්ෂකයන් වන අප සිතේ පැන නඟින ගැටළු ය.

අද රාත්‍රියේ මාධ්‍ය හමුවට පැමිණෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මාකඳුරේ ධනුෂ්ගේ චිත්‍රපටිය ගැන  විචාරය කරද්දී මේ කාරණා ගැනත් සිතා බැලීම වටී.

ඒ කෙසේ වෙතත් මෙහි ඇති බරපතලම ප්‍රශ්නය එය නොවේ.

මේ රටේ පොලීසියත්, දේශපාලකයනුත් ඔවුන් බත් කද්දී රටේ ජනතාව තණකොළ කන ගොන්නුන් යැයි තවමත් සිතාගෙන සිටීම ය.

(ඇටමැස්සා)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්