සමහර පුවත් ලැව්ගින්නක් සේ පැමිණ අළු ඉතිරි නොකරම නිවී යයි. "හියුමන් ඉමියුනොග්ලොබිලීන්" එන්නත් වංචාව ද එවැනිම මාධ්‍ය රැල්ලකට හසුව අමතකව ගිය මාතෘකාවක් බවට පත්ව තිබේ.
නමුත්, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ දිගහැරෙන සාක්ෂි මගින් පෙන්නුම් කරන්නේ මෙය හුදෙක් මුදල් වංචාවකට වඩා එහා ගිය, මෙරට රාජ්‍ය යාන්ත්‍රණයේ බිඳවැටීම පිළිබඳ බියකරු චිත්‍රයකි.
"මතක නැතිවීම" කලාවක් වූ රාජ්‍ය සේවය

2026 ජනවාරි 27 වන දින අධිකරණයේදී ලබාදුන් සාක්ෂි දෙස බලන විට වඩාත්ම කැපී පෙනෙන කරුණ වන්නේ වගකිවයුතු ඉහළ නිලධාරීන් තම වගකීම්වලින් ගැලවීමට දක්වන සූක්ෂම උපායමාර්ගයි. වසර 9ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අංශය මෙහෙයවූ සාක්ෂිකරු, තම සමීපතම නිලධාරීන් අත්අඩංගුවට පත්වන තෙක්ම ඒ පිළිබඳව කිසිවක් නොදැන සිටි බව පැවසීම හාස්‍යයට කරුණකි.
"මම ඒ ගැන දැනගත්තේ සමාජ මාධ්‍යයෙන්..." - මෙය හුදු ප්‍රකාශයක් නොව, වගවීමෙන් මිදීම සඳහා මෙරට නිලධාරි තන්ත්‍රය භාවිතා කරන පොදු සන්නාහයක් බවට පත්ව ඇත. රුපියල් කෝටි 14ක ගනුදෙනුවක් සිදුවන විට, ඒ පිළිබඳව සොයා බැලීමට තමාට වගකීමක් නොතිබූ බව ඇඟවීම මගින් පද්ධතියේ පවතින "සංවිධානාත්මක අන්ධභාවය" (Organized Blindness) මනාව පැහැදිලි වේ.
තාක්ෂණික කමිටු: වගකීම විමධ්‍යගත කිරීමේ උපායද?

සාක්ෂිකරුගේ ප්‍රකාශයට අනුව විශේෂඥ වෛද්‍යවරුන් 18 දෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික කමිටු හයක් මෙම ඖෂධ ප්‍රසම්පාදනය සඳහා සම්බන්ධ වී ඇත.
මෙහිදී පැන නගින ප්‍රබලම තර්කය වන්නේ මෙයයි: විශේෂඥයින් 18 දෙනෙකුගේ පරීක්ෂාවට ලක්වූ එන්නතක්, අවසානයේ ප්‍රමිතියෙන් තොර සහ ව්‍යාජ ලේඛන මත පදනම් වූවක් බවට පත්වූයේ කෙසේද?
විත්තියේ නීතිඥවරයා ඉදිරිපත් කරන ලේඛන මගින් සාක්ෂිකරු මෙම ක්‍රියාවලියට සක්‍රීයව සහභාගී වූ බව තහවුරු කිරීමට උත්සාහ කරයි. මෙහිදී නිරීක්ෂණය වන්නේ තීරණ ගැනීමේදී "සමූහ වගකීමක්" (Collective Responsibility) පෙන්වා, අවසානයේ කිසිවෙකුටත් තනිව වගකීම පැවරිය නොහැකි අළු කලාපයක් (Grey Area) නිර්මාණය කර ඇති බවයි.
ලේඛන සටන සහ පාරදෘශ්‍යභාවයේ අර්බුදය
අධිකරණයේදී ඇතිවූ තවත් තීරණාත්මක සිදුවීමක් වූයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවක් සතු රහස්‍ය ලේඛන විත්තියේ පාර්ශ්වය සතුව තිබීමයි. මෙය බරපතල ප්‍රශ්න කිහිපයක් ඉතිරි කරයි:
* විමර්ශනයට අදාළ ලේඛන විත්තිකරුවන් අතට පත්වූයේ කෙසේද?
* රාජ්‍ය පද්ධතිය තුළ තවමත් මෙම වංචාවට සහය දෙන අදෘශ්‍යමාන හස්තයන් ක්‍රියාත්මකද?
අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මතු කළ විරෝධය හුදෙක් ලේඛනයකට එරෙහි විරෝධයක් නොව, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට එල්ල විය හැකි බලපෑම පිළිබඳ අනතුරු ඇඟවීමකි.
මාධ්‍ය නිහඬතාවය සහ සමාජ වගකීම
මුල් කාලයේදී මෙම නඩුව "සජීවී දර්ශනයක්" සේ වාර්තා කළ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, දැන් මෙම නඩුව පිළිබඳව දක්වන උදාසීනත්වය කණගාටුදායකය. මාධ්‍ය කලාව හුදෙක් "රැල්ල" පසුපස යාමක් පමණක් වන විට, මෙවැනි මහා පරිමාණ වංචාකරුවන්ට නීතියෙන් රිංගා යාමට අවශ්‍ය පසුබිම ඉබේම නිර්මාණය වේ. මහජන මුදල් අවභාවිතයට වඩා, ජීවිතාරක්ෂක එන්නත් සම්බන්ධයෙන් සිදුකළ මෙම වංචාව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් ලෙස සැලකීමට සමාජය පෙළඹවිය යුතුව තිබුණි.
මෙම නඩු විභාගය හුදෙක් විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහි නඩුවක් පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය, රාජ්‍ය ප්‍රසම්පාදන නීති සහ නිලධාරි තන්ත්‍රයේ විශ්වසනීයත්වය පිළිබඳව කෙරෙන මරණ පරීක්ෂණයකි. සාක්ෂිකරුවන්ගේ "මතක නැතිවීම්" සහ තාක්ෂණික කමිටුවල "නිහඬතාවය" මැද යුක්තිය පසිඳලීම අසීරු වුවද, සත්‍යය යටපත් කළ නොහැකි බව අප විශ්වාස කළ යුතුය.
(මෙම ලිපිය අධිකරණ වාර්තා සහ සාක්ෂි විමසීම් විශ්ලේෂණය කරමින් සකස් කරන ලද විචාරාත්මක ලිපියකි. අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කිරීම මෙහි අරමුණ නොවන අතර අවසන් තීන්දුව ගරු අධිකරණය සතු වේ.)
27/01/2026
නඩු වාර්තාව
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබිලීන් එන්නත් කුප්පි 6195 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සැපයීමෙන් රජයට රුපියල් කෝටි 14කට අධික මුදලක් ( රු. 144,293,357.32) වංචා කිරීම ඇතුළු චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ඊයේ (27) කොළඹ ස්ථිර ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි.
40ක HC OTB 2/1/2025 යටතේ පවරා ඇති එම නඩුවේ පැමිණිල්ලේ 13 වන සාක්ෂිකරු ලෙස නම්කර තිබූ පෙර දින දෙකක් පුරා පැමිණිල්ල මෙහෙයවන අතිරේක සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිබාගම ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රසම්පාදන ලෙස රාජකාරී කළ යුනූස් ලෙබ්බේ මොහොම්මදු නමමි ගෙන් එම නඩුවේ පළමු වන විත්තිකාර ප්‍රශ්නගත එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයූ සමාගමේ හිමිකරු වන හේවගේ සුදත් ජානක ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර භාණගල මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ස්ථිර ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී සත්‍ය ප්‍රකාශ කරන බවට දිවුරා ප්‍රතිඥා දෙමින් එහිදී සාක්‍ෂිකරු පවසා සිටියේ තමා 2015 වසරේ සිට 2024/11/03 වැනිදා එකී තනතුරෙන් ඉවත් කරන තුරුම තමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රසම්පාදන තනතුරේ රාජකාරි කළ බවයි.

විත්තියේ නීතිඥ හරේන්ද්‍ර භාණගල ;
ඔබතුමා පෙර දින දෙකේදී අධිකරණය හමුවේදී සාක්ෂි දෙමින් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉදිරිපත් කල ගැසට් පත්‍ර ඇතුළු ලේඛන සම්බන්ධයෙන් සාක්ෂි දුන්නා. ඔබතුමා කීවා අවුරුදු නමයක් විතර එම තනතුරේ හිටියා කියලා. එම වසර නමයෙන් දෙවසරක පමණ කාලයක් හැර සෙසු වසර හතම ඔබතුමා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය ඖෂධ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් වගකීම දැරුවේ.
සාක්ෂිකරු ;
එහෙමයි ස්වාමීනී.
විත්තියේ නීතිඥ ;
එකී ඖෂධ මිලදී ගැනීමට අමතරව ඔබ බාරයේ සිදුකළ වෙනත් කාර්යයන් මොනවාද? එම තනතුරට අදාළව.
සාක්ෂිකරු ;
සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීම, රෝහල්වල ආහාර සැපයීමට අදාළ කටයුතු හා ආරක්ෂක අංශවලට අදාළ කටයුතුත් මා යටතේ සිදුවුණා.
විත්තියේ නීතිඥ ;
මෙම කාලය තුළදී ඖෂධ ප්‍රසම්පාදනයට අදාළව ඔබගෙන් CID ය ප්‍රශ්න කර තිබෙනවාද? ඊට අදාළ නඩුකරයකදී ඔබ සාක්ෂි ලබාදීලා තිබෙනවාද?
සාක්ෂිකරු ;
නෑ ඊට අදාළ ප්‍රශ්නවලදී මම අල්ලස් කොමිෂන් සභාවට අවස්ථා දෙක තුනකදී ප්‍රකාශ ලබා දී තිබෙනවා. නමුත් මේ තමා ඊට අදාළව අධිකරණය හමුවේ සාක්ෂි දුන් ප්‍රථම අවස්ථාව. CID ය මගෙන් ප්‍රශ්න කළ පළමු අවස්ථාව මේ නඩුකරයට අදාළවයි. මෙම නඩුවට අදාළ විමර්ශනයේදී CID නිලධාරීන් මගේ කාර්යාලයට කීප විටක්ම ඇවිත් ප්‍රකාශ සටහන් කළා. ගොනු පරීක්ෂා කළා.
විත්තියේ නීතිඥ ;
ඔබගෙන් ප්‍රකාශ සටහන් කරන්න අවශ්‍ය හේතුව මොකක්ද කියලා CID නිලධාරීන් කීවාද ?යම් යම් සොයා බැලීමක් කළාද ප්‍රශ්න ගත එන්නත් ප්‍රසම්පාදන කටයුතු පිළිබඳව ?
සාක්ෂිකරු ;
නැහැ මම ඒ ගැන සොයා බැලීමක් කලේ නැහැ.
විත්තියේ නීතිඥ ;
ඔබ සමග සේවය කළ සමීපතම ජේෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගෙන තිබියදීත් ඔබ ඒ ගැන සොයා බැලීමක් කලේ නැහැ කියලද කියන්නේ?
සාක්ෂිකරු ;
ඔව් මම එවැනි තොරතුරු දැනගත්තේ සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය මගින්. පසුව කාර්යාල තුළදී එවැනි කතාබහක් ඇති වුණා. ඒ අවස්ථාවලදී දැනගත්තා.
විත්තියේ නීතිඥ ;
ඖෂධ ප්‍රසම්පාදනය ගැන චෝදනාවක් එල්ල වුනාම ඒක මුළු සෞඛ්‍ය අමාත්‍යංශයටම බලපාන ප්‍රශ්නයක් නේ. මම ඔබට යෝජනා කරනවා එම ඔබ සතුව තිබූ රාජකාරී වගකීමකින් තොරව ඉටු කළ බවට.
සාක්ෂිකරු ;
මම ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා.
විත්තියේ නීතිඥ ;
හැම දෙයක්ම මාධ්‍යයෙන් දැනගත්තා කියන ඔබට මතකද එකී එන්නත රජයේ රෝහල්වලදී ලබා දුන් කීපදෙනෙකුට අත් කැසීම්, අධික ලෙස දහඩිය දැමීම් ගැන වාර්තා වූ බව?
සාක්ෂිකරු ;
ඔව්
විත්තියේ නීතිඥ ;
ඔබට අමාත්‍යාංශය තුළ බොහෝ සබඳතා තිබුණානේ එම සබඳතා වලදී ඔබට දැනගන්නට ලැබුණේ නැති එවැනි සංකූලතා ගැන පරීක්ෂණ ආරම්භ කළ බවට
සාක්ෂිකරු ;
පස් දෙනෙකුට ඇතිවුණු එවැනි සංකූලතා ගැන පරීක්ෂණ කටයුතු පසුව දැනගත්තා.
විත්තියේ නීතිඥ ;
එම එන්නත් භාවිතයෙන් කිසිවෙකු හෝ මියගිය බවක් ඔබ දැන ගත්තාද ?
සාක්ෂිකරු ;
කිසිවකු එම එන්නත් භාවිතයෙන් මියගොස් තිබුනේ නැහැ. සංකූලතා පහක් ගැන විතරයි වාර්තා වුනේ. මට මතක හැටියට එම එන්නත් භාවිතයෙන් කිසිවෙකු මිය ගිය බව වාර්තා වුණේ නැහැ.
විත්තියේ නීතිඥ ;
ඔබව මේ නඩුවට සාක්ෂි දෙන්න කැඳවන්නේ ඇයි කියලා ඔබ දැනුවත් කරලා තිබුණාද?
සාක්ෂිකරු ;
නඩු අංකය හා උසාවිය සඳහන් කරලා උසාවි යන්න සාක්ෂි දෙන්න කියලා විතරයි මට දැනුම් දීී තිබුණේ. අනික මේක ප්‍රසිද්ධ නඩුවක්නේ ඒ නිසා කවුරුත් දන්නවා මේ ගැන. මට පෙර මෙම නඩුවට දවස් කීපයක්ම සාක්ෂි දුන් මුදල් අමාත්‍යංශයේ නිලධාරිනිය හමුවෙලා මම ඇහැව්වා මොනවා ගැනද මට සාක්ෂි දෙන්න කැඳවන්නේ කියලා.
විත්තියේ නීතිඥ ;
පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඉදිරිපත්
පැ 46 සිට 57 දක්වා ලේඛන ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඔබගෙන් කරුණු විමසුවා. හදිසි ප්‍රසම්පාදන යටතේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ 66 ක් මිලදී ගැනීම ගැන ඔබගෙන් ඇසුවා. පැමිණිල්ල ඔබට ඉදිරිපත් කළ පැ. 52 ලේඛනයේ තිබෙන්නේ අදාළ හදිසි ඖෂධ මිලදී ගැනීමකදී බලපාන ලන්සු ඉදිරිපත් කරන අයට ඉදිරිපත් කරන කොන්දේසි නේද ?
සාක්ෂිකරු ;
එම කොන්දේසි ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත අධිකරණය හමුවේ පවසයි. එකී කොන්දේසි හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ ඇතුළත් බව සාක්ෂිකරු පවසයි.
මේ මාර්ගෝපදේශ හැදුවේ මගේ මග පෙන්වීම යටතේ . මේවා තමයි ලංසු ඉදිරිපත් කිරීමේදී ලබාදෙන කොන්දේසි.
විත්තියේ නීතිඥ ;
ඖෂධ මිලදී ගැනීමේදී තාක්ෂණික කමිටු පත්කළ බව ඔබ කීවා.
සාක්‍ෂිකරු ;
ඔව් තාක්ෂණික කමිටු හයක් පත්කර තිබෙනවා. එම කමිටුවලට ඖෂධ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍යවරු ඇතුළු විශේෂඥයින් පත්කර තිබුණා. මට මතක හැටියට මෙම එන්නත් ඇතුළු ඖෂධ වල නියැදි ලබා ගත්තේ 18 දෙනෙකුගෙන් සමන්විත එම තාක්ෂණික කමිටු තමා.
විත්තියේ නීතිඥ ;
එකී ඖෂධ 66ට අදාල ලේඛන ඔබ ළඟ තිබෙනවාද? ඒවා මොනාද කියලා සනාථ කරන්න පැමිණිල්ලක්වත් අදාල ලේඛණය ඉදිරිපත් කරලා නෑනේ. එකී තාක්ෂණික කමිටුවල අයගේ නම් ඔබ දන්නවාද?
සාක්ෂිකරු;
එම ... අමාත්‍යංශයෙන් ගෙන්වාගන්න පුළුවන්. එකී ඖෂධ 66 ට අදාළ ප්‍රසම්පාදන කටයුතු කළේ මමයි.
විත්තියේ නීතිඥ ;
ඔබ කීවා පෙර කී හදිසි ප්‍රසම්පාදන කටයුතු සිදුකළ රැස්වීම්වලට ඔබ ගියත් ඒවාට සක්‍රීයව දායක වුණේ නෑ වරක් දෙවරක් විතරයි රැස්වීම්වලට ගියේ කියලා. ඔබ වරක් දෙවරක් විතරක් නෙවෙයි අවස්ථා කිහිපයකදීම එම රැස්වීම් වලට ගොස් ඇති බව අදාළ රැස්වීම් වාර්තා හා පැමිණීමේ නාම ලේඛන අනුව පෙනෙනවා.
(මෙම අවස්ථාවේදී විත්තියේ නීතිඥවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ රැස්වීමකට අදාළව එම සාක්ෂිකරු සහභාගි වූ බව සනාථ කිරීම සඳහා ලේඛනයක් ඉදිරිපත් කර ඒ පිළිබඳ සාක්ෂිකරුගෙන් විමසීමට උත්සාහ කරයි.)
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ;
මේ ලේඛණය ස්කෑන් කරන ලද ලේඛනයක මුද්‍රිත පිටපතක් මෙය චූදිත පාර්ශ්වයට ගියේ කොහොමද කියා සැක සහිතයි. මේක රාජ්‍ය දෙපාර්තමේන්තුවක් සතු ලේඛනයක්. මේක ඉදිරිපත් කර සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට ඉඩ දෙනවාට මම විරුද්ධයි. මේකේ මූලාශ්‍රය සැක සහිතයි. මේක සහතික පිටපතක් බවට තහවුරු කර තිබීමත් ගැටළුවක්. තහවුරු කිරීමේ කොන්දේසියට යටත්ව මේක ලකුණු කිරීමට විත්තියට අවසර දෙන්න.
විත්තියේ නීතිඥ ;
සාක්ෂිකරු කීවානේ එයා එදා රැස්වීමට සහභාගි වූ බවට ලේඛනයක් තියෙනවා නම් ගිය බව පිළිගන්නවා කියලා.
සභාපති විනිසුරු ; මුල් පිටපත තිබෙන්නේ අමාත්‍යාංශයේ විත්තියේ නීතිඥතුමා නියෝග කරනවා නම් මම ඒ ගැන ගෙන්වලා සනාථ කරන්නම්. විත්තිකරු කීවානේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඔහු සහභාගි වුණේ නෑ කියලා. ඒ ඖෂධ 66 මිලදී ගන්න ඔහු සහභාගි වුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ ගානට බය තිබුනම හොඳටම ඇති.
විත්තියේ නීතිඥ ;
හදිසි ප්‍රසම්පාදනයක් කියන්නේ සුවිශේෂී අවස්ථාවක් කියලා ඔබතුමා පිළිගන්නවාද ?
සාක්ෂිකරු ;
මේ සටහනේ මගේ නම තියෙන නිසා මම ඒකට ගියා කියලා මට පිළිගන්න වෙනවා. මගේ නම තිබුණට එම ඖෂධ මිලදී ගැනීමේ තාක්ෂණික කටයුතුවලට මම සහභාගි වුණේ නෑ.
විත්තියේ නීතිඥ ;
එහෙට එම රැස්වීම් වලට සහභාගි වුණාම ඔබලාගෙන් ඒ පිළිබඳ මතය අහනවා යෝජනා ඉදිරිපත් කරන්න කියනවා.
සාක්ෂිකරු ;
නමුත් නම තිබුනට මම සක්‍රීයව දායක වුණේ නෑ එම ක්‍රියාවට. ඖෂධ ප්‍රසම්පාදන කටයුතුවල වගකීම මගෙන් ඉවත් කරලා වෙනත් අයකුට පැවරුවාම මගේ සක්‍රීය දායකත්වයක් නෑ.
හයවන විත්තිකාර ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන හා එකොළොස්වන විත්තිකරු තුසිත සුදර්ශන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න ද එහිදී එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න නැගූ අතර වැඩිදුර විභාගය (28) වැනිදාට කල් තැබිණි.

