(විශේෂ අධිකරණ වාර්තාකරුවෙකු විසිනි)
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි ගෙන්වා රුපියල් කෝටි 14කට අධික මහජන මුදලක් වංචා කළේ යැයි චෝදනා එල්ල වී ඇති හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනාට එරෙහි නඩුව, පසුගියදා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහා අධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනුණු අවස්ථාවේදී නඩු විභාගයේ දිශානතිය වෙනස් කළ හැකි තීරණාත්මක කරුණු රැසක් අනාවරණය විය.
විශේෂයෙන්ම, ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ සිදුවූ මෙම ගනුදෙනුවලදී ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම සහ දැනුවත්භාවය පිළිබඳව විත්තියේ නීතිඥවරුන් විසින් මතුකළ තර්ක විතර්ක හමුවේ, පැමිණිල්ලේ සාක්ෂිවල ඇති හිඩැස් විවර කර පෙන්වීමට විත්තිය සමත් විය.

නීතිපති දෙපාර්තමේන්තුව සහ විත්තිය අතර ගැටුම
නඩුව ආරම්භයේදීම උණුසුම් වාතාවරණයක් ඇති වූයේ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම සහ 11 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න අතර ඇතිවූ නීතිමය සංවාදයයි. සාක්ෂි ආඥා පනතේ ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් (සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක අධ්‍යක්ෂ - ප්‍රසම්පාදන) නැවත ප්‍රශ්න විමසීමේදී, එය විත්තිවාචකයට හානිදායක ලෙස 'උපකල්පනයන්' මත සිදුකරන්නක් බවට නීතිඥ ආරියරත්න දැඩි විරෝධයක් එල්ල කළේය.
නීතිඥ අමිත ආරියරත්න: "මෙතුමිය නැවත ප්‍රශ්න අසන ආකාරයෙන් මම මෙම සාක්ෂිකරුගෙන් නැවත ප්‍රශ්න ඇසුවේ නෑ. එතුමිය ඒ විදිහේ හරස් ප්‍රශ්න නැගීමෙන් වෙන්නේ නැති කාරණා උපකල්පනය වෙනවා... මගේ සේවා දායකයාගේ වෘත්තීය තත්ත්වය ගැන කියලා උපකල්පනය කර නැවත ප්‍රශ්න අහන්න බෑ."
මෙම තර්කය හුදු කාර්ය පටිපාටික විරෝධයකට එහා ගිය එකකි. ඉන් ගම්‍ය වන්නේ පැමිණිල්ල විසින් විත්තිකරුවන්ගේ වෘත්තීය වගකීම අර්ථකථනය කිරීමට යාමේදී, සාක්ෂිකරුවන් ලවා තහවුරු කරවා ගැනීමට උත්සාහ කරන කරුණු පදනම් විරහිත බවට විත්තිය විසින් ගොඩනගන තර්කයයි.

"ගිවිසුම දැක්කේ මාධ්‍යයෙන්" - මුදල් අමාත්‍යාංශයේ ඛේදවාචකය
මෙම නඩු වාරයේ වඩාත්ම ආන්දෝලනාත්මක සහ නඩුව නව මඟකට යොමු කළ සාක්ෂිය ලබා දුන්නේ මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් මංජුල කුලතුංග හෙට්ටිආරච්චි මහතාය. ඉන්දීය ණය යෝජනා ක්‍රමය සම්බන්ධීකරණය කළ කමිටුවේ සාමාජිකයෙකු වූ ඔහු, පළමු විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතාගේ හරස් ප්‍රශ්න හමුවේ අසරණ විය.
වසර 24ක සේවා කාලයක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වුවද, ඩොලර් මිලියන 1000ක ණය ගිවිසුම තමා කිසි දිනෙක දැක නොමැති බව ඔහු පිළිගැනීම අධිකරණය තුල විමතිය දනවන්නක් විය.

විත්තියේ නීතිඥ හරේන්ද්‍ර බානගල: "වසර 24ක් මුදල් අමාත්‍යාංශයේ සේවය කළ ඔබ එකී ණය යෝජනා ක්‍රමය සඳහා මාර්ගෝපදේශ සකස්කල කමිටුවේ සාමාජිකයෙක්. එහෙම අයෙක් වන ඔබ කියන්නේ එකී ගිවිසුමේ අඩංගු කොන්දේසි දන්නේ නැහැ කියලද?"
සාක්ෂිකරු: "නැහැ මම දැකලා නැහැ. මාධ්‍ය මගින් මම එම ගිවිසුමේ කොන්දේසි දැනගත්තේ... මට ඒ ගිවිසුම දැකගන්න ලැබුණේ නෑ."
මෙම අනාවරණය හරහා විත්තිය සියුම්ව ගොඩනගන තර්කය ප්‍රබලය. එනම්, මෙතරම් දැවැන්ත මූල්‍ය ගනුදෙනුවක් පාලනය කළ 'සම්බන්ධීකරණ කමිටුවේ' ප්‍රධානීන් පවා ඊට අදාළ මූලික ලියකියවිලි දැක නොමැති නම්, ධූරාවලියේ පහළ සිටින නිලධාරීන් හෝ දේශපාලන අධිකාරිය මත පමණක් වරද පැටවිය හැක්කේ කෙසේද යන්නයි. මෙය හුදු පුද්ගල වංචාවකට වඩා රාජ්‍ය යාන්ත්‍රණයේ බරපතල පරිපාලනමය බිඳවැටීමක් බව විත්තිය වක්‍රව හුවා දක්වයි.
වගකීම බෙදී යන ආකාරය සහ 'බයිපාස්' තියරිය
හයවන විත්තිකරු (හිටපු සෞඛ්‍ය ලේකම්) වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතාගේ හරස් ප්‍රශ්න කිරීම් තුළින් නඩුවේ තවත් වැදගත් පැතිකඩක් එළියට පැමිණියේය. එනම්, ඖෂධ ගෙන්වීමේ තීරණ ගනු ලැබුවේ ප්‍රධාන කමිටුවටත් වඩා පහළින් සිටි 'තාක්ෂණික ඇගයීම් කමිටු' සහ 'අනුකමිටු' මගින් බවයි.
විත්තියේ නීතිඥවරයා සාක්ෂිකරු ලවා තහවුරු කරගත්තේ, වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය ප්‍රධානත්වය දැරූ ඖෂධ අනුකමිටුව හරහා ඉල්ලීම් පැමිණෙන බවත්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අනුමැතියද ඊට අත්‍යවශ්‍ය වූ බවත්ය.
විත්තියේ නීතිඥවරයා: "එක් එක් අනුකමිටු බයිපාස් කරලා (Bypass) ප්‍රධාන කමිටුවට ඉල්ලුම් කරන්න අදාල අපනයනකරුවන්ට පුළුවන්ද?"
සාක්ෂිකරු: "මගේ දැනුමේ හැටියට බෑ. එකී අනුකමිටු තුන නිර්දේශ කරලා එවන ඉල්ලුම් තමයි අපි සම්බන්ධීකරණ කමිටුව ලෙස ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට යවන්නේ."
නඩුවේ නව දිශානතිය
මෙම සාක්ෂි විභාගය හරහා පැහැදිලි වන කරුණ නම්, මෙම වංචාව තනි පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමකගේ ක්‍රියාවක් ලෙස හුවා දැක්වීමට පැමිණිල්ල දරන උත්සාහයට විත්තිය විසින් දැඩි අභියෝගයක් එල්ල කරමින් සිටින බවයි. විත්තියේ උපායමාර්ගය වී ඇත්තේ:
1. පද්ධතියේ අන්ධභාවය පෙන්වා දීම: තීරණ ගන්නා ඉහළම කමිටු සාමාජිකයන් පවා ගිවිසුම් දැක නොමැති බව පෙන්වා දීමෙන්, ක්‍රියාවලියේ විනිවිදභාවයක් නොතිබූ බව තහවුරු කිරීම.
2. වගකීම විමධ්‍යගත කිරීම: මෙය ඇමතිවරයාගේ හෝ ලේකම්වරයාගේ තනි කැමැත්තට සිදුවූවක් නොව, විශේෂඥ අනුකමිටු සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවූවක් බව පෙන්වා දීම.
මෙමඟින් විත්තිය කරුණු දක්වන්නේ චේතනාන්විත වංචාවක් (Criminal Intent) යන කාරණය වෙනුවට, මෙය පරිපාලනමය දුර්වලතා සහ පද්ධතියේ දෝෂයක් (Systemic Failure) මත සිදුවූවක් බව පෙන්වාදීමටයි.
ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ ගිවිසුම "මාධ්‍යයෙන් දැනගත්" රාජ්‍ය නිලධාරීන් සිටින රටක, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ නිරවද්‍යතාවය ගැන තැබිය හැකි විශ්වාසය මෙම නඩුව හරහා මේ වන විට ප්‍රශ්න කිරීමට ලක්ව ඇත.
සටහන: නඩුවේ වැඩිදුර විභාගය පෙබරවාරි 05 වනදාට කල් තබා ඇත.
03/02/2026 නඩු වාර්තාව
2022 වසරේදී ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු රුපියල් මිලියන 1000 ණය මුදලින් රුපියල් මිලියන 200ක් ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන් කළ බව තමාට යම් අවබෝධයක් ඇතත් එයට අමතරව තවත් රුපියල් මිලියන 35ක මුදලක් ඒ සඳහා වෙන්කළ බවට තමා නොදන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක අධ්‍යක්ෂක ප්‍රසම්පාදන යුනූස් ලෙබ්බේ මොහම්මදු නවවි මහතා අටවන දිනටත් කොළඹ ස්ථීර ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී සාක්ෂි දෙමින් පැවසීය.
පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය නැගූ නැවත ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් වර්තමානයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ඒ මහතා එලෙස පැවසීය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයට අයත් රුපියල් කෝටි 14 කට අධික මුදලක් (රු 144,293,357,32) වංක ලෙස ව්‍යාසහරණය කිරීම ඇතුළු චෝදනා දහතුනක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි.
විත්තියේ නීතිඥවරුන් පෙර දිනවලදී එම සාක්ෂිකරුගෙන් අසන ලද හරස් ප්‍රශ්න සහ එකී හරස් ප්‍රශ්නවලට එම සාක්ෂිකරු ලබාදුන් පිළිතුරු සම්බන්ධයෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය දීර්ඝ ලෙස නැවත ප්‍රශ්න අසනු ලැබුවාය.
එම අවස්ථාවේදී 11 වන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය සාක්‍ෂිකරුගෙන් නැවත ප්‍රශ්න ඇසීම සිදු කරන ආකාරය පිළිබඳ විරෝධතාවයක් මතු කළේය.

ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා ; මෙතුමිය නැවත ප්‍රශ්න අසන ආකාරයෙන් මම මෙම සාක්ෂිකරුගෙන් නැවත ප්‍රශ්න ඇසුවේ නෑ. එතුමිය ඒ විදිහේ හරස් ප්‍රශ්න නැගීමෙන් වෙන්නේ නැති කාරණා උපකල්පනය වෙනවා.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ; මගේ උගත් මිත්‍රයාට උපදෙස් දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු වෛද්‍ය සැපයුම්, අංශයේ අධ්‍යක්ෂවරයෙක්නේ ?
නීතිඥ අමිත ආරියරත්න මහතා ; මගේ සේවා දායකයාගේ වෘත්තීය තත්ත්වය ගැන කියලා උපකල්පනය කර නැවත ප්‍රශ්න අහන්න බෑ.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ; අතිරේක ලේකම්වරයා ( සාක්ෂිකරු) ඔහුගේ රාජකාරියට නොවැටෙන කරුණක් ගැන උත්තර දුන්නාම මට ඒ ගැන අහන්න වෙනවා. මොන පර්යේෂණය යටතේද ඔවුහු විත්තියේ හරස් ප්‍රශ්නවලදී උත්තර දුන්නේ කියන එක අහන්න සාක්ෂි ආඥා පනත යටතේ මට පුළුවන්.
අධිකරණය ; තොග නොලැබීම පිළිබඳව මෙම සාක්ෂිකරු පිළිතුරු දුන්නේ කුමන පදනමක් මතද කියලයි පැමිණිල්ල අහන්නේ. මොහු කැඳවා ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය අමාත්‍යංශයේේ ප්‍රසම්පාදන ගැන සාක්ෂි දෙන්නයි. ප්‍රසම්පාදන ගණනය ගැන සාක්ෂි දී තිබීම අනුව එලෙස නැවත ප්‍රශ්න ඇසීම අනීතික නෑ.

එම සාක්ෂිකරුගෙන් නැවත ප්‍රශ්න කීපයක් ඇසූ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය පෙරවරු 11.15ට පමණ එම සාක්ෂිකරුගේ සාක්ෂි විමසීම අවසන් කළේය. අනතුරුව පැමිණිල්ලේ 199 වන සාක්ෂිකරු ලෙස නම් කර තිබූ මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් මංජුල කුලතුංග හෙට්ටිආරච්චි මහතා සත්‍ය ප්‍රකාශ කරන බවට අධිකරණය හමුවේ ප්‍රතිඥා දෙමින් සාක්ෂි ලබාදීම ආරම්භ කළේය. එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරියගේ මෙහෙයවීම යටතේ තමන්ගේ අධ්‍යාපනික සුදුසුකම්, එනම් ජයවර්ධන විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය කළමනාකරණය පිළිබඳව මූලික උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව ජපානයේ අන්තර්ජාතික විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබා ගැනීම හා වෘත්තීය සුදුසුකම් පිළිබඳව කෙටි සාක්ෂියක් හෙතෙම ලබා දුන්නේය.
මේ වනවිට තමා සේවය කරන මුදල් අමාත්‍යංශයේ සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලික කාර්ය භාරය වනුයේ රටපුරා විසිරී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැපයීම හා රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සහනාධාර ක්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන යාම වන්නේ යැයි ද සාක්ෂි ලබාදීම ආරම්භ කරමින් හෙතෙම පැවසීය.
ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් රුපියල් බිලියනයක ණය යෝජනා ක්‍රමය යටතේ එම රටේ නිෂ්පාදනය කරන ඖෂධ, ආහාර ද්‍රව්‍ය එරට අපනයනකරුවන් මගින් මිලදී ගැනීම එකී ණය යෝජනා ක්‍රමය යටතේ සිදුකළ බවත් ඒ සඳහා එරට අපනයනකරුවන්ට ඉන්දියානු මුදලින් ගෙවීම් සිදු කිරීම සිදුකළ බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් එම සාක්ෂිකරු තමන් එකී සම්බන්ධීකරණ කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ බවත් පැවසීය. එකල පැවති විවිධ ගැටලු නිසා ඇතිවී තිබූ විදේශ විනිමය ඉතිරි කර ගැනීම එමගින් සිදුවූ බව ද සාක්‍ෂිකරු කැබිනට් මණ්ඩලයට මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් වන ඉන්දියාව හා ලංකා රජය අතර එකී ගිවිසුම අත්සන් කර ඇතැයිද පෙන්වා දුන්නේය.

දේශීය ආනයනකරුවන් තෝරා ගැනීමෙන් අනතුරුව ඉන්දියානු අපනයනකරුවන් සපයන ඖෂධ ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලංකා බැංකුව මගින් ණයවර නිකුත් කිරීමක් සිදු කරනා බවත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් අනුමත කරනා ආනයනකරුවන්ට ඒ සඳහා අවස්ථාව හිමිවන බවත් සාක්‍ෂිකරු පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.
ඖෂධ මිලදී ගැනීම සඳහා එකී ඇමරිකානු ඩොලර් මිලියන 1000 මුදලින් මිලියන 200ක් ප්‍රථමයෙන් වෙන්කර තිබුනත් පසුව ස්ථිර කාර්යයක් සඳහා නොයෙදූ ඇමෙරිකානු ඩොලර් 35ක මුදලද ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන්කළ බවද හෙතෙම පැවසීය.
පෙරවරු 2.28 ට පමණ පැමිණිල්ලේ මූලික හරස් ප්‍රශ්න ඇසීම අවසන් කිරීමෙන් පසුව පළමු වන විත්තිකාර හේවගේ සුදත් ජානක ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
විත්තියේ නීතිඥවරයා ; මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හා ඉන්දියානු රාජ්‍ය බැංකුව සමඟ අත්සන් කළ එකී ණය ගිවිසුම ඔබ දැක තිබෙනවාද ?
සාක්ෂිකරු ; නැහැ මම දැකලා නැහැ. මාධ්‍ය මගින් මම එම ගිවිසුමේ කොන්දේසි දැනගත්තේ. එම ගිවිසුම මට ලැබුණේ නැහැ. ඒ නිසා එම කොන්දේසි මොනවාද කියලා මට සම්පූර්ණයෙන්ම කියන්න බැහැ.
විත්තියේ නීතිඥ ; ඔබ එකී ණය යෝජනා ක්‍රමය ගැන සම්බන්ධීකරණය කළ කමිටුවේ සාමාජිකයෙක්. එම කමිටුව පත් කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා. වසර 24ක් මුදල් අමාත්‍යාංශයේ සේවය කළ ඔබ එකී ණය යෝජනා ක්‍රමය සඳහා මාර්ගෝපදේශ සකස්කල කමිටුවේ සාමාජිකයෙක්. එහෙම අයෙක් වන ඔබ කියන්නේ එකී ගිවිසුමේ අඩංගු කොන්දේසි දන්නේ නැහැ කියලද ?
සාක්ෂිකරු ; ඉන්දියාව හා ලංකා රජය ඇති කරගත් ණය ගිවිසුම මට අධ්‍යයනය කරන්න ලැබුණේ නැහැ. ඒවා පිළිබඳ යම් දැනුවත් කමක් තිබුණා.
විත්තියේ නීතිඥ ; මුදල් අමාත්‍යාංශය හා මහා භාණ්ඩාගාරය කියන්නේ මෙරට මූල්‍ය ප්‍රතිපත්ති හා රටේ ආර්ථිකය ගැන වග කිව යුතු ආයතනයනේ. එහෙම ආයතනයක වසර 24ක් සේවය කළ ඔබ කියන්නේ මාධ්‍ය මගින් තමයි ඒ ගැන දැනගත්තේ කියලද ?
සාක්ෂිකරු ; මට ඒ ගිවිසුම දැකගන්න ලැබුණේ නෑ.
විත්තියේ නීතිඥ ; එම ගිවිසුම ගැන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගන්න පුළුවන්.
සාක්ෂිකරු ; එම ගිවිසුම ගැන නෛතික ක්‍රියාමාර්ග ගන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ එකී ණය යෝජනා ක්‍රමය ගැන මාර්ගෝපදේශ සකස් කිරීමට පෙර මට එම ගිවිසුම ලැබුණේ නැහැ.
හයවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
විත්තියේ නීතිඥ ; ඔබ අද මෙම අධිකරණය හමුවේ සාක්ෂි දෙන්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ සම්බන්ධීකරණ කමිටු සාමාජිකයෙකු ලෙසටයි. ඔබ ඇතුළු 12 දෙනෙක් එම සම්බන්ධීකරණ කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරිය එම කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කළා.
සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී
විත්තියේ නීතිඥ ; එම සම්බන්ධීකරණ කමිටුවට අමතරව එයට සහය වීම සඳහා තවත් අනුකමිටු තුනක් ස්ථාපිත කර තිබුණා. ඖෂධ සැපයීමට අදාළ කමිටුවේ ප්‍රධානියා ලෙස වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය කටයුතු කළා නේද ?
සාක්ෂිකරු ; ඒක වෙනම අංශයක්. ඒ නිසා මට ඒ ගැන වැඩිය අවබෝධයක් නෑ. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමග සම්බන්ධීකරණ කටයුතුයි අපේ කමිටුව සිදු කළේ.
විත්තියේ නීතිඥ ; යම් ඖෂධයක් ආනයනය කිරීමට අදාල ඉල්ලීමක් එන්නේ ඖෂධ අනුකමිටුව හරහා නේද?
සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනි.
විත්තියේ නීතිඥ ; එම ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග, ආහාර වර්ග හා අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අපනයනය කරන්න ඇතිනේ. ඊට අදාළ ගොනු ඒවා කුමක්ද කොපමණ ප්‍රමාණයක්ද කියන එක පැහැදිලි කර ගන්න අදාල ලේඛනත් අරගෙනනේ ඔබතුමා අද සාක්ෂි දෙන්න ඇවිත් ඇත්තේ.
සාක්ෂිකරු ; කීපයක් අරගෙන ආවා. මට ඒ ගැන අවබෝධයක් තියෙනවා.
විත්තියේ නීතිඥ ; ඔබට අධිකරණයෙන් සිතාසි ලැබුණේ පෙර කී සම්බන්ධීකරණ කමිටුව ගැන සාක්ෂි දෙන්න එන්න කියලනේ. එහෙම නම් ඔබ තීරණය කරලද ආවේ මම මේ ලිපි ගොනුවල තියෙන කරුණු ගැන විතරයි සාක්ෂි දෙන්නේ කියලා. ඔබ එහෙම තීරණය කරලද ලිපිගොනු කීපයක් විතරක් අරගෙන ආවේ.
සාක්ෂිකරු ; මට ඒ ගැන අවබෝධයක් තියෙනවා.
විත්තියේ නීතිඥ ; ඔබට කියන්න පුළුවන්ද අහවල් ඖෂධය මෙච්චරක් ගෙනාවා කියලා.
සාක්ෂිකරු ; එකී තොරතුරු සියල්ල අපේ දත්ත පද්ධතියේ තියෙනවා. ඒකෙන් බලාගන්න පුළුවන්.
විත්තියේ නීතිඥ ; පැ 63 ලේඛනය කියන්නේ මුදල් අමාත්‍යාංශ ලිපි ශීර්ෂයක් යටතේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයක්නේ. 2022.10.10 වැනිදා වන විට එක් එක් මිලදී ගැනීම් සඳහා වෙන් කරන ලද මුදලින් කොපමණ ප්‍රතිශතයක් වියදම් කර ඇතිද කියලා ඔබට කියන්න පුළුවන්ද? එක් එක් අනුකමිටු බයිපාස් කරලා ප්‍රධාන කමිටුවට ඉල්ලුම් කරන්න අදාල අපනයනකරුවන් පුළුවන්ද?
සාක්ෂිකරු ; මගේ දැනුමේ හැටියට බෑ. එකී අනුකමිටු තුන නිර්දේශ කරලා එවන ඉල්ලුම් තමයි අපි සම්බන්ධීකරණ කමිටුව ලෙස ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට යවන්නේ. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය අනුමත කලාට පසුව තමයි ඉතිරි කටයුතු කරන්න පුළුවන්.
වැඩිදුර සාක්ෂි විභාගය ලබන 5 වැනිදා පෙරවරු 10.00 දක්වා කල් තැබිණි.
සබැඳි ලිපි :
ඉමියුනොග්ලොබියුලින් ත්‍රී පුද්ගල නඩු විභාගය : ඇත්ත එළියට එන විට බොරුව නිරුවත් වෙයි !
විශේෂඥ ලේබලය පිටුපස සැඟවුණු ප්‍රසම්පාදන මාෆියාවේ නිරුවත: ඉමියුනොග්ලොබියුලින් නඩුවෙන් 'වෙස් මුහුණු' ගැලවෙයි

