(විශේෂ අධිකරණ වාර්තාකරුවෙකු විසිනි)
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් (Immunoglobulin) මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළින් රජයට රුපියල් කෝටි 14කට අධික අලාභයක් සිදු කිරීමේ චෝදනාව මත, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති මහාධිකරණ නඩුව (Trial-at-Bar), හුදු අපරාධ නඩු විභාගයක සීමාව ඉක්මවා යමින් ශ්‍රී ලංකාවේ යුක්ති පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳ බරපතල නෛතික ප්‍රශ්න මතු කරමින් සිටී.
විශේෂයෙන් ඊයේ (05) දින කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ලබා දුන් නියෝගයක් අනුව, ලබන 09 වැනිදා සිට මෙම නඩු විභාගය කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිට කොළඹ 07, විජේරාම මාවතේ අංක 21 දරන ස්ථානයට රැගෙන යාමට තීරණය කිරීම, නීතියේ ආධිපත්‍යය (Rule of Law) සහ සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය (Right to a Fair Trial) යන කාරණා සම්බන්ධයෙන් විවෘත සංවාදයක් නිර්මාණය කර ඇත.
ව්‍යවස්ථාපිත අයිතිය සහ ප්‍රායෝගික බාධාවන් (Article 13(3))
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) වගන්තිය මගින් සෑම චෝදනා ලැබූවකුටම තමන් කැමති නීතිඥවරයෙකුගේ සහාය ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු කර ඇත. එහෙත්, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සහ ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන යන මහත්වරුන් පෙන්වා දෙන පරිදි, අධිකරණයේ මෙම ස්ථාන මාරුව එම මූලික අයිතිවාසිකම භුක්ති විඳීමට ප්‍රායෝගික බාධාවක් එල්ල කරයි.
කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ සිට යෝජිත විජේරාම මාවතේ පිහිටි නව අධිකරණ ස්ථානයට ළඟා වීමට පවතින දැඩි මාර්ග තදබදය හමුවේ අවම වශයෙන් මිනිත්තු 45ක කාලයක් ගත වේ. එකම දිනකදී අධිකරණ කිහිපයක පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ට මෙම භෞතික දුරස්ථභාවය හේතුවෙන් මෙම නඩුවෙන් ඉවත් වීමට සිදුවුවහොත්, එය විත්තිකරුවන්ගේ නෛතික නියෝජනය අඩපණ කිරීමක් (Denial of effective representation) ලෙස අර්ථකථනය කිරීමට ඉඩ ඇත.

'යුක්තිය ඉටු වන බව පෙනී යාම' සහ නිල නිවසේ ගැටලුව
මෙම සිදුවීමේ වඩාත්ම සංවේදී සහ විවාදාපන්න කරුණ වන්නේ, නව අධිකරණය ස්ථාපිත කර ඇත්තේ 8 වන විත්තිකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ධුර කාලය තුළ භාවිතා කළ නිල නිවසේ වීමයි.
නීතියේ මූලික සිද්ධාන්තයක් වන "යුක්තිය ඉටු වීම පමණක් ප්‍රමාණවත් නොවේ; එය ඉටු වන බව පෙනී යාමද අත්‍යවශ්‍ය වේ" (Justice must not only be done, but must also be seen to be done - R v Sussex Justices) යන න්‍යාය මෙහිදී අභියෝගයට ලක්වේ. විත්තිකරුවෙකු තමා පෙර විසූ නිවසටම විත්තිකරුවෙකු ලෙස කැඳවීම තුළින්, ඔහු වරදකරුවෙකු වීමටත් පෙරම යම් මානසික පීඩනයකට හෝ වක්‍ර දඬුවමකට ලක් කිරීමක් (Pre-judgment) සිදුවන්නේද යන සැකය සමාජය තුළ ජනිත විය හැකිය. මෙය විත්තිකරුවන්ට අගතිදායක (Prejudicial) තත්ත්වයක් නිර්මාණය කරන්නකි.
සාක්ෂි විභාගයේ දිශානතිය සහ මාධ්‍ය භූමිකාව
අධිකරණ ක්‍රියාවලිය මෙසේ තිබියදී, ඊයේ දිනයේ මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් මංජුල කුලතුංග හෙට්ටිආරච්චි මහතාගේ සාක්ෂිය හරහා අනාවරණය වූ කරුණු විත්තියට අතිශය වැදගත් වේ. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු ප්‍රතිපාදන නියමිත කාලරාමුව තුළ (2022 දෙසැම්බර් 31ට පෙර) භාවිතා නොකළහොත් අහිමි වන බවට පැවති "පද්ධතිමය පීඩනය" (Systemic Pressure), මෙම ගනුදෙනුවලට බලපෑ ප්‍රධාන සාධකයක් බව විත්තිය තර්ක කරයි.
මෙවන් සංකීර්ණ නෛතික තර්ක ගොඩනැගෙන අවස්ථාවක, වෙබ් මාධ්‍ය සහ ස්වාධීන මාධ්‍ය මෙම නඩු විභාගය කෙරෙහි යළි අවධානය යොමු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි. කෙසේ වෙතත්, නඩු විභාගය හුදකලා ස්ථානයකට ගෙනයාම හරහා මෙම මාධ්‍ය ආවරණයට සහ මහජන පරීක්ෂාවට (Public Scrutiny) බාධාවක් එල්ල වුවහොත්, එය විනිවිදභාවය පිළිබඳ ගැටලුවක් වනු ඇත.
නිගමනය

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(5) වගන්තිය යටතේ සෑම තැනැත්තෙකුම වරදකරු කරනු ලබන තෙක් නිර්දෝෂී යැයි පූර්ව නිගමනය කරනු ලැබිය යුතුය (Presumption of Innocence). අධිකරණ පරිපාලනමය තීරණ ගැනීමේදී මෙම මූලික අයිතිවාසිකම් සුරක්ෂිත වන බවට වගබලා ගැනීම අනිවාර්ය වේ.
විත්තිකරුවෙකුට එරෙහිව පවතින නඩුවක් ඔහු පෙර විසූ නිල නිවසකදීම විභාග කිරීම මගින් ජනිත කරවන සංකේතාත්මක අර්ථය, අධිකරණයේ අපක්ෂපාතීත්වය පිළිබඳ අනවශ්‍ය විචිකිච්ඡාවක් සමාජගත කිරීමට හේතු විය හැක. එබැවින්, විත්තියේ නීතිඥවරුන් පෙන්වා දුන් "අගතිදායක" තත්ත්වයන් සහ ප්‍රායෝගික දුෂ්කරතා කෙරෙහි යළි සලකා බැලීම, යුක්තියේ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම උදෙසා අත්‍යවශ්‍ය කරුණක් ලෙස පෙනී යයි.
(සටහන: මෙම ලිපිය අධිකරණ වාර්තාකරණය පදනම් කරගත් විශ්ලේෂණයක් වන අතර, අධිකරණයේ ස්වාධීනත්වයට හෝ විනිසුරු මඩුල්ලේ තීරණවලට බලපෑම් කිරීමේ අරමුණින් තොරව, නෛතික හා සමාජීය කරුණු විමසා බැලීමක් පමණි.)
නඩු වාර්තාව 05/02/2026

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව විභාග කරන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ලබන 9 වැනිදා සිට කොළඹ 06 විජයරාම මාවතේ අංක 21 දරන ස්ථානයේ ස්ථාපිත කිරීමට ගෙන ඇති තීරණය මගින් තමන්ට මෙන්ම සිය සේවාදායකයන්ටද දැඩි දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවන බැවින් එකී තීරණය සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස විත්තියේ නීතිඥවරුන් ඊයේ (05) එම විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියහ.
සියලුම අධිකරණ කොළඹ අළුත් කඩේ හා ඊට ආසන්නව පිහිටා තිබියදී එකී ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ එලෙස කොළඹ දුර බැහැර ප්‍රදේශයකට ගෙන යාමේ තීරණය ඉතාමත්ම අගතිදායී වන්නේ යැයිද ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන යන මහත්වරුන් ඇතුළු විත්තියේ සියලු නීතිඥවරුන් ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්හ.
අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ සිට විජේරාම ප්‍රදේශයට යාමට අවම වශයෙන් විනාඩි 45ක්වත් ගතවන බවත් පාසල් ආරම්භ කරන හා පාසල් ඇරෙන වෙලාවන්හි දී කොළඹ නගරයේ පවතින දැඩි මාර්ග තදබදය නිසා බොහෝවිට ඊට වැඩි කාලයක් එම අධිකරණය වෙත යාමට ගතවිය හැක්කේ ඇයිද විත්තියේ නීතිඥවරුන් විනිසුරු මඩුල්ලට වැඩිදුරටත් පෙන්වා දුන්හ.
එම නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ වීමට පෙර නීතිඥ මණ්ඩලය ඇමතූ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ලබන 9 වැනිදාා සිට තම අධිකරණය එම ස්ථානයේ ස්ථාපිත කර ඇති නව අධිකරණයට රැගෙන යාමට තීරණය කොට ඇති බව පෙන්වා දුන්නේය.
දිවා ආහාර විවේකය සඳහා නඩු කටයුත්ත තාවකාලිකව අත්හිට වූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් විනිසුරු නිල මැදිරියට ගොස් ඒ පිළිබඳව විනිසුරුවරුන් සමඟ සාකච්ඡා කොට තිබූ අතර වගකිවයුතු නිලධාරීන් සමග සාකච්ඡා කොට පස්වරුව වන විට අධිකරණ රෙජිස්ටර්වරිය මගින් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන බව විනිසුරු මඩුල්ල ඔවුනට දන්වා තිබිණි. එලෙස නව අධිකරණය ස්ථාපිත කර ඇත්තේ ද මෙම නඩුවේ 8 වන විත්තිකාර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා 2019 වසරේ සිට අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී භාවිත කළ නිල නිවසේ වන්නේ යැයි ද තතු දත් ආරංචි මාර්ග පවසයි.
එම නඩුව ඊයේ (05) සුපුරුදු පරිදි ආරම්භ කිරීමට විනාඩි කීපයකට පෙර භාෂණ පරිවර්තකයා විසින් ගොනුව රැගෙන විත්තිකරුවන් අසලට ගොස් ඔවුන්ගේ නම් අඬ ගැසීම සිදුකිරීමට උත්සාහ දැරූ අතර උසාවි කටයුතු භාර පොලිස් නිලධාරියා විසින් එකී ක්‍රියාව වළක්වා අධිකරණ විනිශ්චය අසුන් අසලට ඔහු යොමු කිරීමට පියවර ගත්තේය.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය ; මේ මොනවද කරන්නේ? මෙතන ඉඳලායි විත්තිකරුවන්ගේ නම් කතා කරන්නේ.
භාෂා පරිවර්තකයා ; මම දන්නේ නෑ ඒ බව
දන්නේ නැතිනම් අපෙන් හරි අහන්න එපා යැයි ඔහුට අවවාද ස්වරූපයෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය පැවසුවාය.
පෙර දිනයේ දී සාක්ෂි ලබා දුන් මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් මංජුල කුලතුංග හෙට්ටිආරච්චි මහතා දිවුරුම් පිට සාක්‍ෂි ලබා දීම ආරම්භ කළේය.

අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ. එවකට අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ සමයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාගෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අත්‍යවශ්‍ය ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා කාර්මික උපකරණ මිලදී ගැනීමට අදාල ව්‍යාපෘතිය පිළිබඳව විමසා ප්‍රකාශ සටහන් කළ බවත් එකී ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාල නිර්දේශ ලබා ගැනීමට අනුකමිටු තුනක් හා සම්බන්ධිකරන කමිටුවක් ස්ථාපිත කළ බවත් විත්තියේ නීතිඥවරයා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එම සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
එහිදී දස වන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ඇසූ හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් එවකට පැවති රජය බලධාරීන් මැති ඇමතිවරුන් මැදිහත් වී ආරම්භ කළ එකී ණය යෝජනා ක්‍රමයට කැබිනට් අනුමැතිය ලබාගෙන ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හා සම්බන්ධ වී ඉදිරි කටයුතු සිදු කිරීම සම්බන්ධීකරණ කමිටුවක් හා අනුකමිටු තුනක් ආරම්භ කළ බව අධිකරණයට පැවසීය. මෙහෙයුම් මාර්ගෝපදේශ සංග්‍රහය සකස් කොට එකී මාර්ගෝපදේශ යටතේ ඉදිරි කටයුතු කළ බවත් 2022.03.21 වන දින ගිවිසුම් අත්සන් කොට සති දෙකක් තුළ බැංකු ඇතුළු අදාල ආයතන වෙත මාර්ගෝපදේශ සංග්‍රහය ලබා දුන් බවත් සාක්‍ෂිකරු පැවසීය.

එකී ගිවිසුම ක්‍රියාත්මක කොට මාස හතකට පසුව එවකට මුදල් අමාත්‍ය ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා විසින් එකී ණය යෝජනා ක්‍රමයේ ප්‍රගතිය දැක්වෙන අමාත්‍ය මණ්ඩල සටහන පැ(63) ඉදිරිපත් කළ බවත් විත්තියේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් පැවසූ විත්තිකරු එකී ගිවිසුම අනුව සියලු කටයුතු 2023.03.17 වැනිදා අවසන් කිරීමට නියමිතව තිබූ බවද පැවසීය.
ඖෂධ මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාවට වෙන්කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 115කට ආසන්න මුදලින් 2022.08.12 වන විට රාජ්‍ය ඖෂධ සංස්ථාව බැරකර සියලු කටයුතු අවසන් කර තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 34 ක මුදලක් පමණක් බැවින් ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 81 කට අදාළ ආයතනය කටයුතු සියල්ල 2022.12.31 වන දිනට පෙර අවසන් කරන ලෙසට සිය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රියන්ත රත්නායක මහතා ඖෂධ අනු කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කළ වෛද්‍ය වික්‍රමසිංහ මහත්මිය වෙත දැඩි අවවාදාත්මකව දන්වා තිබූ බවත් එලෙස එකී කටයුතු සිදු නොවන්නේ නම් ඉතිරි මුදල පෞද්ගලික ඖෂධ ආනයනකරුවන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස එමගින් දන්වා තිබූ බවත් හෙතෙම විත්තියේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසීය.
එලෙස දැඩි අවවාදාත්මකව ඖෂධ කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ වෛද්‍ය වික්‍රමසිංහ මහත්මිය දන්වා ඇත්තේ පෞද්ගලික අංශය වෙත වෙන්වෙන්කර තිබූ මුදලින් සියයට සියයක් එකී අදාළ කටයුත්ත සඳහා යොදවා තිබීම අනුව නොවන්නේ දැයි විත්තියේ නීතිඥවරයා නැගූ හරස් ප්‍රශ්නයට පිළිතුරු දුන් සාක්ෂිකරු ඒ බව පිළිගත්තේය.
සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ, නීතිඥ අමිත ආරියරත්න යන නීතිඥවරුන්ද එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදු කළ අතර පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය එම සාක්ෂිකරුගෙන් දීර්ඝ ලෙස හරස් ප්‍රශ්න ඇසීම සිදු කළාය. පැමිණිල්ලේ සාක්ෂිකරු ලෙස නම්කොට තිබූ වෛද්‍ය ආර්. එම්. පී. රත්නායක මහතා ද සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි අතර අද (06) දින පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා පෙනී සිටින ලෙසට ඔහුට අධිකරණය අවවාද කළේය.

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ බවට චෝදනා එල්ල වී ඇති සීදුව අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන් මහත්මිය , හිටපු ඝනකාධිකාරී නෙරාන් ධනංජය මහතා, තොග පාලක සුජිත් කුමාර මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මහතා, මුදියන්සේලාගේ ධර්මසිරි රත්න කුමාර හේරත් මහතා, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා (විදේශගත වී ඇත) සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂකවරයකු වන වෛද්‍ය අරඹයේ ගෙදර තුසිත සුදර්ශන මහතා සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර යන දොළොස් දෙනා එම කමිටුවේ විත්තිකරුවෝ වෙති.
වෛද්‍ය නිර්දේශ අනුව 8වන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතාට දිවා ආහාර විවේකය සඳහා ලබාදෙන කාලයට අමතරව තවත් පැයක කාලයක් විවේක ගැනීමට අධිකරණය අවසර ලබා දී තිබීම නිසා ඔහුව පස්වරු 2.45ට පමණ අධිකරණ ශාලාවට රෝද පුටුවකින් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
සබැඳි ලිපි :
ඉමියුනොග්ලොබියුලින් ත්‍රී පුද්ගල නඩු විභාගය : ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ 'අදෘශ්‍යමාන' ගිවිසුම සහ මුදල් අමාත්‍යාංශයේ 'මාධ්‍ය දැනුම'
ඉමියුනොග්ලොබියුලින් ත්‍රී පුද්ගල නඩු විභාගය : ඇත්ත එළියට එන විට බොරුව නිරුවත් වෙයි !
විශේෂඥ ලේබලය පිටුපස සැඟවුණු ප්‍රසම්පාදන මාෆියාවේ නිරුවත: ඉමියුනොග්ලොබියුලින් නඩුවෙන් 'වෙස් මුහුණු' ගැලවෙයි
ඉමියුනොග්ලොබියුලින් නඩුව උණුසුම් වෙයි: නීතිමය බාධා මැද විත්තියෙන් දැඩි ප්‍රහාරයක්
වසර 10ක් පුරා 'බාල ඖෂධ' තිබුණත් CID ගියේ අදයි! - ප්‍රසම්පාදන ලොක්කන්ගේ "තෝරා බේරා දඬුවම් දීමේ" ප්‍රතිපත්තිය එන්නත් නඩුවෙන් හෙළිවේ
ප්‍රමිතියෙන් තොර එන්නත් නඩුවේ සැඟවුණු පැතිකඩ සහ 'නිලධාරිවාදී අමතකවීම්'

