leader s

[විශේෂ අධිකරණ වාර්තාකරුවෙකු විසිනි]


ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයම කැළඹූ, රුපියල් කෝටි 14ක මහජන මුදල් වංචාවක් පමණක් නොව රෝගී ජීවිත සමග සෙල්ලම් කළ බවට චෝදනා එල්ල වී ඇති 'ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින්' නඩුව ඊයේ (10) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ යළි කැඳවිණි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති මෙම නඩුවේදී, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ජ්‍යෙෂ්ඨ ඖෂධ ඇගයීම් නිලධාරිනී නිශානි ලංකා කරුණාතිලක ලබා දුන් සාක්ෂිය, මෙරට ඖෂධ මාෆියාවේ අඳුරු තිර රෙද්ද ඉරා දමන්නක් විය.

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන විනිසුරු මඩුල්ල හමුවේ දිගහැරුණු මෙම සාක්ෂි විභාගය, හුදෙක් නඩු විභාගයක් ඉක්මවා ගිය ඖෂධ නියාමන ක්‍රියාවලියේ බරපතල හිඩැස් විවරණය කෙරෙන පාඩමක් බඳු විය.

 

Keheliya Rambukwalla 2
"ඖෂධයකටත් උප්පැන්න සහතිකයක් තිබිය යුතුයි"

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් කරුණාතිලක මහත්මිය අවධාරණය කළේ, ලංකාවට ඖෂධයක් ගෙන්වීමේදී අනුගමනය කළ යුතු දැඩි නීතිමය රාමුවයි. ඇයගේ සාක්ෂියට අනුව, ඖෂධයක් මෙරටට ගොඩබෑමට පෙර එය "ලියාපදිංචි" කිරීම අනිවාර්ය වේ.

මෙහිදී අධිකරණය තුළ සිදුවූ සංවාදය මෙරට ඖෂධ නියාමනයේ ස්වභාවය මනාව පැහැදිලි කරයි:

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: ඖෂධයක් ආනයනය කිරීමට අවසර ලබාදීමට පෙර සලකා බලන විශේෂ කරුණු මොනවාද?
 
සාක්ෂිකාරිය: 

අපි ඖෂධයේ 'උප්පැන්න සහතිකය' ගැන සොයා බලනවා. සරලව කියනවා නම්, එම ඖෂධය නිෂ්පාදනය කරන රටේ බලධාරීන් එය එම රටේ භාවිතා කිරීමට අවසර දී තිබෙනවාද? එමෙන්ම එම ඖෂධය අපේ රටේ අලෙවි කිරීමට අදාළ නිෂ්පාදිත සමාගම හෝ රට විසින් අපේ රටටම නිකුත් කළ සහතිකයක් (Certificate of Pharmaceutical Product - COPP) තිබිය යුතුයි. වෙනත් රටවලට අලෙවි කිරීමට දුන් සහතිකවලින් අපේ රටට බෙහෙත් ගෙන්වන්න බැහැ.
 
Blog Image 1
මෙම ප්‍රකාශය අතිශය වැදගත් වන්නේ, ආන්දෝලනාත්මක ඉමියුනොග්ලොබියුලින් එන්නත් තොගය ව්‍යාජ ලේඛන මත පදනම්ව ගෙන්වූ බවට චෝදනා එල්ල වී ඇති පසුබිමක ය. සාක්ෂිකාරිය පෙන්වා දුන්නේ ලියාපදිංචි සහතිකයක් නොමැතිව ඖෂධ ගෙන්වීමේ නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි.
නීතිමය විග්‍රහය: 2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත
 
මෙම සාක්ෂිය හරහා ගම්‍ය වන්නේ 2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය වී ඇති ආකාරයයි. පනතේ මූලික අරමුණ වන්නේ මහජනතාවට ගුණාත්මක හා සුරක්ෂිත ඖෂධ ලබා දීම තහවුරු කිරීමයි. සාක්ෂිකාරිය සඳහන් කළ "ලේඛන 350කින් සමන්විත ලිපිගොනුව" පරීක්ෂා කිරීම යනු මෙම පනත මගින් බලාත්මක කර ඇති ආරක්ෂිත ක්‍රියාවලියයි.
nmra 750x375
එසේම, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27(2)(ඇ) වගන්තිය මගින් රජය බැඳී සිටින්නේ ජනතාවට ප්‍රමාණවත් සෞඛ්‍ය හා සමාජ සේවාවන් සැපයීමටයි. ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති ජනතාවගේ ජීවත්වීමේ අයිතියට සහ සෞඛ්‍යාරක්ෂිතභාවයට එල්ල කළ මාරාන්තික ප්‍රහාරයකි.
විනිසුරු මඬුල්ලෙන් භාෂාව පිළිබඳ අවවාදයක්

සාක්ෂි විභාගය අතරතුර තවත් විශේෂ සිදුවීමක් වාර්තා විය. සාක්ෂිකාරිය තාක්ෂණික කරුණු පැහැදිලි කිරීමේදී අධික ලෙස ඉංග්‍රීසි වචන භාවිතා කිරීම හේතුවෙන් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා මැදිහත් විය. "හැකිතාක් දුරට සිංහල භාෂාවෙන් සාක්ෂි ලබාදෙන්න" යැයි විනිසුරුවරයා අවවාද කළේ, අධිකරණ ක්‍රියාවලියේ විනිවිදභාවය සහ පොදු ජනතාවට අවබෝධ කර ගැනීමේ හැකියාව තහවුරු කිරීම වෙනුවෙනි.
 
ලේඛන 350ක් සහ දින 300ක ක්‍රියාවලියක්

සාක්ෂිකාරිය හෙළි කළ පරිදි, නිසි ක්‍රමවේදය යටතේ ඖෂධයක් ලියාපදිංචි කිරීමට නම්:

1. නිෂ්පාදනාගාරය පරීක්ෂා කිරීම (GMP Audit).
2. ඖෂධ සාම්පල දේශීය විශේෂඥ කමිටු මගින් පරීක්ෂා කිරීම.
3. ලේඛන 350ක් පමණ ඇතුළත් ලිපිගොනුවක් ඉදිරිපත් කිරීම.
4. වැඩ කරන දින 300ක් පමණ ඇතුළත සම්පූර්ණ ඇගයීමක් සිදු කිරීම.

 
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: ලංකාවට යම් ඖෂධයක් ආනයනය කිරීමේදී මුලින්ම අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කුමක්ද?
 
Probate Court Hearing
සාක්ෂිකාරිය: ආනයනකරු ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි අයෙක්ද, නිෂ්පාදිත සමාගම එරට ලියාපදිංචිද, වසර 3ක් එරට අලෙවි කර තිබේද යන්න අපි සොයා බලනවා. එරට වාණිජ මණ්ඩලයේ සහතිකය නැතිනම් අවසර දෙන්නේ නැහැ.
 
කූඨ ලේඛන සහ මානව අයිතීන්
 
මෙම නඩුවේ හරය ඇත්තේ මෙතැන ය. චෝදනා එල්ල වී ඇත්තේ සාමාන්‍යයෙන් වසරක් පමණ ගතවන, ලිපිගොනු සිය ගණනක් පරීක්ෂා කරන මෙම දැඩි ක්‍රියාවලිය, 'හදිසි මිලදී ගැනීම්' හෝ වෙනත් ආවරණ යටතේ මගහැර ඇති බවටයි. මෙය හුදෙක් මූල්‍ය වංචාවක් නොව, විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයේ ජීවත්වීමේ අයිතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් ලෙස නීති විද්වතුන් පෙන්වා දෙයි.
රෝගියෙකුට ලබාදෙන එන්නතක්, නිෂ්පාදනාගාරයේ සිට රෝගියාගේ ශරීරයට ඇතුළු වන තුරු නිසි උෂ්ණත්වයේ (Cold Chain) තබා ගත යුතු බවත්, එය අධිකාරිය විසින් අඛණ්ඩව නියාමනය කරන බවත් සාක්ෂිකාරිය පැවසුවාය. එහෙත්, ප්‍රශ්නගත එන්නත් තොගය මෙම ප්‍රමිතීන් ආරක්ෂා කළේ ද යන්න ගැටලුවකි.

ආරක්ෂිත දැල කැපුවේ කවුද?
 
vaccine
මෙම නඩු විභාගයේදී මතු වන බරපතලම කාරණය හුදෙක් පුද්ගල වංචාවක් ඉක්මවා ගිය එකකි. සාක්ෂිකාරිය වන නිශානි කරුණාතිලක මහත්මිය අධිකරණය හමුවේ දිගහැරියේ ලෝක සම්මත, ඉතා දැඩි, රෝගියාගේ ජීවිතය සුරකින "ආරක්ෂිත දැලක" (Safety Net) ස්වභාවයයි.
 
ඇය සඳහන් කළ පරිදි ලේඛන 350ක පරීක්ෂාවක්, දින 300ක ඇගයීමක්, සාම්පල පරීක්ෂාවක් සහ දේශීය විශේෂඥ කමිටු අනුමැතියක් අනිවාර්ය නම්, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් 6000ක් ලංකාවේ රෝහල් පද්ධතියට රිංගුවේ කෙසේද? මෙතැනදී පැහැදිලි තාර්කික නිගමනයන් දෙකක් මතු වේ:
 
1. ක්‍රියාවලිය අමු අමුවේ උල්ලංඝනය කිරීම: එක්කෝ අදාළ බලධාරීන් ඉහත කී ලේඛන 350 පරීක්ෂා කිරීම හිතාමතාම මගහැර ඇත.
 
2. ව්‍යාජ ලේඛන පිළිගැනීම: නැතහොත්, එම ලේඛන (විශේෂයෙන් COPP සහතිකය) ව්‍යාජ ඒවා බව දැන දැනම හෝ නොසැලකිල්ල මත පිළිගෙන ඇත.
 
2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත මගින් මෙම ක්‍රමවේදය නීතිගත කර ඇත්තේ රෝගියාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමටයි. එබැවින් මෙම "බාල ඖෂධය" රට තුළට පැමිණීම යනු හුදු අත්වැරැද්දක් නොව, පාර්ලිමේන්තු පනතක් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතාව සතු සෞඛ්‍ය අයිතිය (27 වන වගන්තිය) සිතාමතාම උල්ලංඝනය කිරීමකි. නඩුව ගොනු වී ඇත්තේ මෙම පද්ධතිමය බිඳවැටීම (Systemic Failure) සහ ඊට වගකිව යුතු හස්තයන් හෙළිදරව් කරගැනීම වෙනුවෙනි.
කෙහෙළිය ප්‍රමාද වී හෝ පැමිණෙයි

keheli983598
නඩුව ආරම්භයේදී 8 වන විත්තිකාර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර, ඔහුගේ නීතිඥවරයා දන්වා සිටියේ වෙනත් නඩුවක් සඳහා ඔහු පෙනී සිටින බවයි. කෙසේ වෙතත්, පෙරවරු 10.30 වන විට බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව විවෘත අධිකරණයට රැගෙන එන ලදී.
 
ඉදිරි පියවර

මෙම සංකීර්ණ නඩු විභාගය අද (11) දිනයේත් පැවැත්වීමට නියමිතය. ඖෂධ නියාමන ක්‍රියාවලියේ ඇති දැඩි බව අධිකරණය හමුවේ සාක්ෂි මගින් තහවුරු වීමත් සමඟ, එම දැඩි නීති රිංගා යමින් ව්‍යාජ ඖෂධ රෝහල් පද්ධතියට එක් කළේ කෙසේද යන්න පිළිබඳව විත්තිකරුවන්ට එරෙහි සාක්ෂි වඩාත් බලවත්වෙමින් පවතී.
 
සටහන: මෙම ලිපිය අධිකරණ වාර්තා සහ සාක්ෂි පදනම් කරගෙන සකසන ලද්දකි. විත්තිකරුවන් වරදකරුවන් වන තෙක් නිර්දෝෂී බවේ පූර්ව නිගමනයට යටත් වේ.
 

නඩු වාර්තාව 10/02/2026


ලියාපදිංචි සහතිකයක් නොමැතිව ලංකාවට ඖෂධ ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බවත් යම්කිසි ඖෂධයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට නම් එකී ඖෂධය නිෂ්පාදනයට අදාළ සියලු තොරතුරු ඖෂධ නියාමන අධිකාරියට  ලබාදීමට ආනයනකරු බැඳී සිටින්නේ යැයි ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම් නිලධාරිනියක ලෙස රාජකාරී කරනා නිශානි ලංකා කරුණාතිලක මහත්මිය ඊයේ (10) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් පැවසුවාය.
 
v6u6mnghggr56546
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු අධි චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දෙමින් එම මහත්මිය එලෙස පැවසුවාය.

 එම නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි. පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරිය ලෙස නම් කොට තිබූ එම සාක්ෂිකාරිය පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොළිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවියගේ මෙහෙයවීම යටතේ සත්‍ය ප්‍රකාශ කරන බවට ප්‍රතිඥා ලබා දෙමින් සාක්‍ෂි ලබාදීම ආරම්භ කළාය.
 
2015 වසරේදී කොළඹ විශ්ව විද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳව උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරා 2016 දෙසැම්බර් 26 වැනිදා ඖෂධ නියාමන අධිකාරියේ සේවයට එක් එක්වූ තමා නාවල රාජගිරිය විවෘත විශ්ව විද්‍යාලයෙන් 2024 වසරේදී සිය උපාධිය සම්පූර්ණ කළ බව පෙන්වා දෙමින් එම මහත්මිය සාක්ෂි ලබා දුන්නාය. ඖෂධ ආයතනයට අදාළ ලිපිගොනු 1100 ක් පමණ සිය රාජකාරී ජීවිතය තුළදී ඇගයීම් සිදුකර ඇති බවත් ඖෂධ ඇගයීම් කමිටුවේ සාමාජිකාවක ලෙස තමන් කටයුතු කරනා බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන් එම සාක්ෂිකාරිය තමා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධව කටයුතු කරන්නේ යයිද පැවසුවාය.
 
සංවර්ධිත රටවලින් ලබා ගන්නා ඖෂධ වර්ග පරීක්ෂා කිරීමේ සායනික පහසුකම් ලංකාවේ නොමැති නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුගමනය කරමින් පිළිගත් ක්‍රමවේදයක් අනුව ලංකාවට ඖෂධ ආනයනය කරන්නේ යැයි පැවසූ සාක්ෂිකාරිය ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන ඖෂධ වර්ග නිර්දේශ කිරීම එක් එක් විෂයන් පිළිබඳව  ප්‍රවීණතාවයක් හා සුදුසුකම් ලත් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කමිටුවක් මගින් සිදු කරන්නේ යයිද පැවසුවාය.  
 
u567j5
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ;
ලංකාවට යම් ඖෂධයක් ආනයනය කිරීමේදී මුලින්ම අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කුමක්ද ?
 
සාක්ෂිකාරිය ;
මුලින්ම ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාගත යුතුයි. ඒ සඳහා ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ලබා ගත යුතුයි. එම ආනයනකරු ඒ සඳහා ඉල්ලුම් කිරීමේදී ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ආනයනකරුවෙක්ද කියන එක අපි සොයා බලනවා. ඊළඟට ඔහු ආනයනය කිරීමට ඉල්ලුම් කරන ඖෂධය නිෂ්පාදනය කරන නිෂ්පාදිත සමාගම එරටේ ඖෂධ නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචි කරුවෙක්ද ? වසර තුනක කාලයක් එකී නිෂ්පාදන එම රටේ අලෙවි කිරීමට අදාළ සහතික හිමිකරුවෙක්ද කියන එකත් සොයා බලනවා. එරටේ වාණිජ මණ්ඩලයේ සහතිකය නැතිනම් එම ඖෂධය අප රටට ආනයනය කිරීමට අවසර ලබා දෙන්නේ නෑ. එමෙන්ම එකී ඖෂධයේ සාම්පල අප රටේ විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කිරීමක් කළ යුතුය. බොහෝ විට එකී ඖෂධ නිෂ්පාදනාගාර පරීක්ෂා කිරීම සිදු කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව නිෂ්පාදනාගාර පරීක්ෂා කිරීමකින් තොරව ලේඛන පමණක් පරීක්ෂා කොට ඖෂධ ආනයනය කිරීමට අවසර ලබා දෙන ක්‍රමවේදයකුත් තිබෙනවා.
 
(එම සාක්ෂිකාරිය සිය සාක්ෂිය ලබාදීමේදී සිංහල වචන භාවිතයට වඩා ඉංග්‍රීසි වචන භාවිතා කිරීම නිසා හැකිතාක් දුරට සිංහල භාෂාවෙන් සාක්ෂි ලබාදෙන ලෙසට සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සාක්ෂිකාරියට අවවාද කළේය )
 
සාක්ෂිකාරිය ;
නිෂ්පාදනාගාර අනුමැතිය හිමිවුණාට පසුව ආනයනකරු ඉදිරිපත් කරන ඖෂධ ලියාපදිංචියට අදාළ ලිපිගොනුවේ අවම වශයෙන් ලේඛන 350ක් වත්  අඩංගුයි. අපි ලබාදී තිබෙන මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඔහු මුලින්ම ඊට අදාල ඉල්ලුම් පත්‍රය සමඟ එම ලිපි ගොණුව ඖෂධ නියාමන අධිකාරියට භාර දෙන්න ඕනා. එකී ලේඛන ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් විසින් නිසි ලෙස පරීක්ෂා කර ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් ගොනුව අදාල බලධාරීන්ට ලබා දෙනවා. ඒවා විශේෂඥ තාක්ෂණ කමිටුව විසින් නිර්දේශ කලාට පසු තමයි ආනයනය ක්‍රියාවලිය සඳහා අනුමැතිය හිමිවන්නේ.

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල් වරිය.-
ඒ සඳහා ක්‍රමවේද දෙකක් තිබෙන බව ඔබ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළා නේද ?
 
සාක්ෂිකාරිය ;
ඔව් ජීව විද්‍යාත්මකව නිෂ්පාදන හා රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් සිදුකරන ඖෂධ නිෂ්පාදනය ප්‍රධාන කොටස් දෙකයි. ඉමියුහෝගිලොබියන් එන්නත් එලෙස ජීව විද්‍යාත්මකව නිෂ්පාදනය කරන ඖෂධයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ඒවා ජීව සංඝටක ඇතුළත් කොට නිෂ්පාදනය කරන ඖෂධ වර්ගයක් බවත් රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගෙන නිෂ්පාදනය කරනු ලබන ඖෂධ වර්ගත් තිබෙනවා.
 
vaccine 1
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ;
ඖෂධයක් ආනයනය කිරීමට අවසර ලබාදීමට පෙර සලකා බලන වෙනත් විශේෂ කරුණුු මොනවාද?
 
සාක්ෂිකාරිය ;
ඒක අත්‍යවශ්‍ය ඖෂධයක්ද? එම ඖෂධය අපේ රටට මාසයක භාවිතය සඳහා කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද? මේ දක්වා තිබෙන තොග ප්‍රමාණය හා ඇනවුම් කර ඇති තොග ප්‍රමාණය වගේ කරුණුත් සොයා බලනවා.  ඊට අමතරව එම ඖෂධයේ උප්පැන්න සහතිකය අපේ භාෂාවෙන් කියනවා නම් ඖෂධයේ උප්පැන්න සහතිකය ගැන අපි සොයා බලනවා. එම ඖෂධය එරටේ නිෂ්පාදනය කරන්න බලධාරීන් සත්‍ය වශයෙන්ම අවසර ලබාදීලා තියෙනවාද? කියන එක. ඒවා එම රටේ වෙළඳ පොලේ අලෙවි කරන්න එරට බලධාරීන් අවසර දීලා තියෙනවාද කියන සහතික කළ යුතුයි.  ආනයනකරුත්  මෙන්ම අපනයනකරුත් වෙනත් රටවල අලෙවි කරන්න ලබා දී තිබෙන සහතිකයට අපේ රටට ඖෂධ ගෙන්වන්න අවසර දෙන්නේ නෑ. එම ඖෂධය අපේ රටේ අලෙවි කිරීමට අපේ රටට නිකුත් කළ සහතිකයක් ඇත්නම් විතරයි ඒවා රටට ගෙන්වන්න අවසර දෙන්නේ. එකී නිෂ්පාදනය වෙනත් රටවලට අලෙවි කර ඇති බවට නිකුත් කරන සහතිකය පමණක් මදි. මේ සියලු තොරතුරු සහතික ඖෂධ ආනයනයකරු. ඖෂධ නියාමන අධිකාරියට ලබාදීමට බැඳී සිටිනවා.

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ;
තවත් මොනවාද සොයා බලන්නේ?  
 
සාක්ෂිකාරිය ;
ඖෂධයේ ලේඛනය සපයා තිබෙන දත්තවලට සමානද කියන එක.  ඒ වගේම එම ඖෂධය භාවිතා කිරීමට අදාළ නිර්දේශත් දැඩි ලෙස සොයා බලනවා.

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ;

ඔබ කීවා නේ ! ඖෂධය ආනයනකරුවකු. ඉදිරිපත් කරන එක් ඉල්ලුම් පත්‍රයක් අඩංගු ලිපි ගොණුවක සාමාන්‍යයෙන් ලේඛන 350 ක් විතර අඩංගුයි කියලා? සාමාන්‍යයෙන් එවැනි ගොනුවක් පරීක්ෂා කරලා අදාළ නිර්දේශය දෙන්න කොපමණ කාලයක් විතර ගතවෙනවාද?
 
සාක්ෂිකාරිය ;
සමහර අවස්ථාවල එවැනි වෙළුම් 25-30 කට අධික වන අවස්ථා තිබෙනවා. වැඩ කරන දින තුන්සීයක් ඇතුළත එම ඇගයීම් කටයුතු කරන්න පුළුවන්. ඖෂධ ආනයනය කිරීමට අදාලව ඖෂධ නියාමන අධිකාරිය අඛණ්ඩව නියාමනය කරනවා. ඒවා නිසි උෂ්ණත්වය යටතේ වරායට හෝ ගුවන්තොටුපළට රැගෙන එනවාද ?  ඊට පසු ඒවා එකී උෂ්ණත්වය යටතේම ගබඩා වෙත ප්‍රවාහනයනය කරනවාද? එම ගබඩාවල නිසි ක්‍රමවේදය යටතේ ගබඩාකොට තිබෙනවාද කියා නියාමනය කරනවා. ගබඩා බලපත්‍රයක් ගැනීම ගබඩාකොට තැබීම මෙන්ම ප්‍රවාහනය කිරීමටත් නිසි   බලපත්‍රයක් තිබිය යුතුයි. එකී ඖෂධ ආනයනය කළ අවස්ථාවේ සිට රෝගියාට ලබාදෙන අවස්ථාව වනතුරු අපි නියාමනය කරනවා.
 
sql injection attacks
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ;
ඖෂධයේ ආයු කාලයත් බලපානවා නේද? ඒ ගැනත් නියාමනය කරනවා නේද? ඖෂධ ආනයනකරු ඒ සඳහා ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කළ යුත්තේ කාගේ ආවරණ ලිපියක් යටතේද?
 
සාක්ෂිකාරිය ;
සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා එම ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කළ යුතුයි. එවැනි අයදුම් පත් ඖෂධ නියාමන අධිකාරියට භාරදිය යුතුයි. ඊට පසු තමා තාක්ෂණ කමිටු ඒවා සලකා බලන්නේ.
 
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකු ඊයේ (10) දිනයේත්, විවෘත අධිකරණය හමුවේ පෙනී සිටි අතර නම වන විත්තිකරු නොමැතිව එම නඩු විභාගය පැවැත්වේ. නඩු විභාගය ආරම්භ කරන අවස්ථාවේදී අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණය හමුවේ. පෙනී නොසිටි අතර ඔහුට එරෙහිව වෙනත් මහාධිකරණයක් හමුවේ ගොනුකර ඇති නඩුවක් කැඳවීම සිදුවන නිසා එම අධිකරණය හමුවේ පෙනී සිටින බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. කෙසේ නමුත් පෙරවරු 10.30 ට පමණ වන විට ඔහුව විවෘත අධිකරණය හමුවට රැගෙන ඒම සිදු කරන ලදී.
 
වැඩිදුර විභාගය අද (11) දක්වා කල් තැබිණි.
 
සබැඳි ලිපි :

ඉමියුනොග්ලොබියුලින් ත්‍රී පුද්ගල නඩු විභාගය: ඉන්දියානු ණය මුදල සහ භාණ්ඩාගාරයේ 'අමතක වීම': ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවේ හුදකලා චෝදනාව පුපුරා යයි ද?

එන්නත් නඩුවෙන් මතුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය ! - රාජ්‍ය මූල්‍ය පාලනය, පරිපාලන වගවීම සහ 'නොකියවූ' ගිවිසුම්...

ඉමියුනොග්ලොබියුලින් ත්‍රී පුද්ගල නඩු විභාගය: පරිපාලනමය පහසුව සහ විත්තිකරුවන්ගේ ව්‍යවස්ථාපිත අයිතිය අතර ඝට්ටනයක්?

ඉමියුනොග්ලොබියුලින් ත්‍රී පුද්ගල නඩු විභාගය : ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ 'අදෘශ්‍යමාන' ගිවිසුම සහ මුදල් අමාත්‍යාංශයේ 'මාධ්‍ය දැනුම'

ඉමියුනොග්ලොබියුලින් ත්‍රී  පුද්ගල නඩු විභාගය : ඇත්ත එළියට එන විට බොරුව නිරුවත් වෙයි !

විශේෂඥ ලේබලය පිටුපස සැඟවුණු ප්‍රසම්පාදන මාෆියාවේ නිරුවත: ඉමියුනොග්ලොබියුලින් නඩුවෙන් 'වෙස් මුහුණු' ගැලවෙයි

 

නවතම පුවත්