යුක්තියේ හිඩැස් සහ රාජ්‍ය යාන්ත්‍රණයේ ඛේදවාචකය!
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන රුපියල් කෝටි 14කට අධික ඖෂධ වංචාව පිළිබඳ නඩු වාර්තාව, හුදෙක් මුදල් අවභාවිතයක් පිළිබඳ කතාවක් පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන පද්ධතිය තුළ පවතින ව්‍යුහාත්මක විෂමතා සහ එම විෂමතා නඩත්තු කිරීමට ඉඩ සලසන නීති පද්ධතියේ පවතින ඛේදනීය අර්බුදය මනාව ප්‍රතිබිම්බනය කරන්නකි.
අර්බුදයක් හෝ හදිසි තත්ත්වයක් (State of Emergency) පලිහක් කරගනිමින්, ව්‍යවස්ථාපිත ආයතනවල ස්වාධීනත්වය සහ විනිවිදභාවය නීත්‍යානුකූලවම මඟහැරිය හැක්කේ කෙසේද යන්න මෙම සාක්ෂි සටහන් තුළින් මනාව ගම්‍ය වේ. පහත දැක්වෙන්නේ ඒ පිළිබඳ නෛතික හා තාර්කික විශ්ලේෂණයකි.

1. 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත සහ අභිමතානුසාරී බලය (Discretionary Power)
ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) මූලික නෛතික පරමාර්ථය වන්නේ මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමයි. එහෙත් නඩු වාර්තාවේ සාක්ෂිකරු පවසන පරිදි, "රටේ පැවති විදේශ මුදල් ගැටලුව" සහ "ඖෂධ හිඟය" හේතුවෙන් ලියාපදිංචි ක්‍රමවේදය මඟහැර (Waiver of Registration - WoR) සීඝ්‍රගාමී ක්‍රමවේදයක් (Fast Track) යටතේ ඖෂධ ගෙන්වීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.
*නීතියේ හිඩැස:
පනතේ ප්‍රතිපාදන යටතේ හදිසි අවස්ථාවකදී ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ බලය අධිකාරියට ඇත. නමුත් මෙම "ව්‍යතිරේකය" (Exception) සාමාන්‍ය නීතියක් (General Rule) බවට පත් කරගනිමින්, සම්මත ඖෂධ ඇගයීම් කමිටු (MEC/MET) නිර්දේශ පවා මඟහරිමින් කටයුතු කිරීමට මෙම නෛතික ප්‍රතිපාදනය අවභාවිත කර ඇති බව පෙනී යයි. නීතිය විසින් ලබා දී ඇති අභිමතානුසාරී බලය, වගවීමකින් තොරව භාවිතා කිරීමට මෙහිදී ඉඩ සැලසී ඇත.

2. ආයතනික ස්වාධීනත්වය බිඳවැටීම සහ බලපෑම් කිරීම
ජාතික ඖෂධ නියාමන අධිකාරිය යනු සෞඛ්‍ය අමාත්‍යාංශයේ තවත් එක් දෙපාර්තමේන්තුවක් නොව, ස්වාධීනව තීරණ ගත යුතු නියාමන ආයතනයකි.
* පද්ධතියේ විෂමතාව:
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ අතිරේක ලේකම්වරයාගේ (12 වන චූදිත) ඉල්ලීම සහ නිර්දේශ මත අධ්‍යක්ෂ මණ්ඩලය තීරණ ගත් බව සාක්ෂිකරු පිළිගනී. එනම්, නියාමනය විය යුතු ආයතනය (සෞඛ්‍ය අමාත්‍යාංශය/වෛද්‍ය සැපයුම් අංශය) විසින් නියාමකයාට (NMRA) උපදෙස් දෙන තත්ත්වයක් නිර්මාණය වී ඇත. මෙය පරිපාලන නීතියේ (Administrative Law) මූලික සිද්ධාන්තවලට පටහැනි වුවද, පවතින නීති රාමුව තුළ එය "අන්තර් ආයතනික සහයෝගීතාව" ලෙස අර්ථකථනය කරමින් නීත්‍යානුකූල මුහුණුවරක් ලබා දී ඇත.
3. "සද්භාවය" (Bona Fide) නමැති නෛතික පලිහ
සාක්ෂිකරු සිය සාක්ෂිය තුළ අවධාරණය කරන ප්‍රධාන කරුණක් වන්නේ, තමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණ ගත්තේ "සද්භාවයෙන්" (In good faith) බවයි.

* තාර්කික ගැටලුව:
රාජ්‍ය නිලධාරීන් සද්භාවයෙන් ගන්නා තීරණ සඳහා නීතියෙන් මුක්තියක් (Immunity) හිමි වේ. එහෙත් රුපියල් කෝටි 14ක මහජන මුදල් (පොදු දේපළ පනත යටතේ ගැනෙන) ව්‍යාජ ලේඛන මගින් වංචා කිරීමක් දක්වා මෙම "සද්භාවය" දිග්ගැස්සෙන්නේ කෙසේද? අත්‍යවශ්‍ය කරුණු සොයා බැලීමේ (Due Diligence) ව්‍යවස්ථාපිත වගකීම පැහැර හැරීම "සද්භාවය" පිටින් දමා සාධාරණීකරණය කළ හැකිද යන්න මෙහිදී පැන නගින ප්‍රබලතම නෛතික සහ සදාචාරාත්මක අර්බුදයයි.
4. ප්‍රධාන විධායක නිලධාරියාට අසීමිත බලතල පැවරීම (Delegation of Powers)
අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය යටතේ අවසන් තීරණය ගැනීමේ බලය ප්‍රධාන විධායක නිලධාරියාට (CEO) ලබා දීම පනතට පටහැනි නොවන බව සාක්ෂිකරු පවසයි.
එක් පුද්ගලයෙකු වෙත අසීමිත බලයක් කේන්ද්‍රගත වීම, විශේෂයෙන්ම ජීවිතාරක්ෂක ඖෂධ ආනයනයේදී, දැඩි අවදානමකි. ඖෂධයක ගුණාත්මකභාවය පිළිබඳව ආනයනකරුවන් සහ පරිත්‍යාගශීලීන් වගකීම දැරිය යුතු බවට CEO විසින් වගන්ති ඇතුළත් කළද, නියාමන අධිකාරියට තම වගකීමෙන් එලෙස අත පිසදා ගත නොහැක.

නිගමනය:
මෙම නඩු වාර්තාවෙන් තහවුරු වන්නේ, අපේ රටේ රාජ්‍ය ආයතන පද්ධතිය තුළ දූෂණය සහ අක්‍රමිකතා සිදුවන්නේ නීතිය උල්ලංඝනය කිරීමෙන් පමණක් නොව, නීතියේ ඇති ප්‍රතිපාදන (විශේෂයෙන්ම හදිසි අවස්ථා සහ අභිමතානුසාරී බලතල) ඉතා සූක්ෂම ලෙස තම වාසියට හරවා ගැනීමෙන් බවයි. පවතින නීති පද්ධතිය මෙවැනි ආයතනික විෂමතා නිවැරදි කරනවා වෙනුවට, ඒවා "නීත්‍යානුකූල" ලෙස නඩත්තු කිරීමට අවශ්‍ය ලියකියවිලි (Paper trail) සකසා දෙන මෙවලමක් බවට පත්ව ඇති බව මෙමගින් කනගාටුවෙන් වුවද පිළිගත යුතුව ඇත.
නඩු වාර්තාව 24/02/2026
එකල රටේ පැවැති අයහපත් වාතාවරණය හා පැවති ආර්ථික අර්බුදය අනුව ඇතිවී තිබූ ඖෂධ හිඟය හා විනිමය අනුපාතය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ හා අතිරේක ලේකම්වරයාගේ නිර්දේශය අනුව ලියාපදිංචිය මගහැර ඖෂධ ඇගයීම් කමිටුවේ, අනුමැතියට යටත්ව ඖෂධ ආනයනය කිරීමට ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය අවසර ලබා දුන්නේ යැයි ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළ මුදල් අමාත්‍යාංශයේ මානව සම්පත් කළමනාකරණ හා අමාත්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් මොහොට්ටි මුදියන්සේලාගේ චතුර පරාක්‍රම මොහොට්ටිගෙදර මහතා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.
2022.09.16 වැනිදා පැවැති ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට එවකට එම අධිකාරියේ සභාපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ එකී යෝජනාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ඉල්ලීම මත කර තිබූ බවත් එමඟින් ඖෂධ නියාමන පනත උල්ලංඝනය වීමක් නොවන බව මෙන්ම පැවැති වාතාවරණය මත එය යුක්ති සහගත ඉල්ලීමක් බවටත් පැවැති සාකච්ඡා වලින් අනතුරුව සිය අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළේ යැයිද පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් පැමිණිල්ලේ 29 වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ ඒ මහතා පැවසීය.

2022.09.02 වැනිදා හා 2023.09.04 වැනිදා කාලය අතරතුරදි කොළඹදී 2022.11.30 දිනැති අංක 131632 දරන ගැනුම් ඇනවුම ප්‍රකාරව සැපයිය යුතු රිටොක්සිටැබ් හා ඉමියුනෝග්ලොබියුලීන් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය අඩංගු කුප්පි 6195 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයට අයත් රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා දහතුනක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 කට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ එම නඩුව ඊයේ (14) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිණි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය;
ඔබට හඳුනාගන්න පුළුවන්ද 2022.09.16 වැනි දින පැවැති 84 වන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍රය?
සාක්ෂිකරු;
ඔව් ස්වාමීනි
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය;
එම අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවේ අටවන ඡේදයේ සඳහන් වෙනවා නේද අධ්‍යක්ෂ මණ්ඩල තීරණය. ඖෂධ ආනයනයට අදාළව යම් තීරණයක් ගැනීමේ සම්පූර්ණ බලතල තිබෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයට නේද?
සාක්ෂිකරු;
ඔව් ස්වාමීනී අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වන්නේ මාසයකට දවසයි. අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීමට පෙර ඖෂධ නියාමන අධිකාරිය තීරණයක් ගත්තොත් ඒ කියන්නේ පාර්ලිමේන්තුව තීරණයක් ගත්තොත් Note to board ඒ කියන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම් දෙනවා. ඒ පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ තිබෙන යම් ආයතනයකට සුදුසු තීරණයක් ගන්න පුළුවන් එවැනි හදිසි හා අත්‍යවශ්‍ය අවස්ථාවලදී. අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වෙනතුරු එම කරුණු ප්‍රමාද කිරීමට නොහැකි නම් එවැනි හදිසි තීරණයක් ගන්න පුළුවන්. රටේ පැවැති විදේශ මුදල් ගැටලුව නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා තිබුනා සීඝ්‍රගාමී ක්‍රමවේදය යටතේ ( Past track) ලියාපදිංචි ක්‍රමවේදය මගහැර ආසියානු සංවර්ධන බැංකු ණය යටතේ ඖෂධ ගෙන්වීමට. එවකට ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඒ බව දන්වා ලිපියක් යොමු කර තිබුණා.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය;
අතිරේක ලේකම්වරයාට එහෙම ඖෂධ ගෙන්වන්න අනුමැතියක් දෙන්න පුළුවන්ද?
සාක්ෂිකරු ;
ඖෂධ නියාමන පනත යටතේ එහෙම තීරණ ගන්න පුළුවන්. වෛද්‍ය සැපයුම් අංශයේ අනුමැතියට යටත්ව තමයි ඖෂධ ඇගයීම් ක්‍රමවේදය හදලා තිබුණේ. එකී මාර්ගෝපදේශ අනුව එකී ඉල්ලීම ඖෂධ නියාමන පනත උල්ලංඝනය වීමක් නොවන බවට අධ්‍යක්ෂ මණ්ඩලය නිරීක්ෂණය කළා. ඒ පිළිබඳව ඖෂධ ඇගයීම් කමිටුවේදී, සාකච්ඡා කළ බවත් සඳහන් වුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය;
මම ඇහුවේ සරල ප්‍රශ්නයක්. තේරුම් අරගෙන උත්තර දෙන්න. පැ 137 ලෙස නම් කළ ලේඛනය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා හා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා සටහන් සහිතව නිකුත් කර තිබෙන එම නිර්දේශ පැවැති ක්‍රමයට පටහැනි නේද?
සාක්ෂිකරු;
මම දැක්කා අතිරේක ලේකම්වරයාගේ හා ලේකම්වරයාගේ නිර්දේශ.
නීතිඥ අමිත ආරියරත්න ;
පටහැණියි කියලා පැමිණිල්ල කියන එක වැරදියි. එලෙස යෝජනාවක් සාක්ෂිකරුට කිරීම වැරදියි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය;
හරි මම එම ප්‍රශ්නය මෙහෙම අහන්නම්. 2022.09.02 වැනිදා 12වන චූදිත සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සන් සහිතව ඉදිරිපත් කළ ලිපිය ඔබ දැක්කාද? ඒ පිළිබඳ තීරණ ගැනීමේ බලය තිබෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයට නේ? ඔබලා ඒක සලකා බැලුවාද?
සාක්ෂිකරු;
ඔව් ස්වාමීනි. අපි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබඳව සාකච්ඡා කළා. විදේශ ආධාර මත ඖෂධ ලබාගැනීම ගැන, පැවැති ඖෂධ හිඟය ගැන සාකච්ඡා කළා. ඒ සියලු කරුණු සලකා බලා තමයි අපි සත්භාවයෙන් එම අවසරය ලබා දුන්නේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය;
සත්භාවයෙන් ඒ ගැන සලකා බලන විට ලියාපදිංචිය මුදා හැර ඖෂධ ආනයනය කිරීමට අනුමැතිය දුන්නේ කුමන මාර්ගෝපදේශ මතද? ඒ ගැන සලකා බැලුවද? මම අහන දේට උත්තර දෙන්න. 2022.09.12 වැනිදා එම සීඝ්‍රගාමී ක්‍රමවේදය ගැන සලකා බැලුවද?
සාක්ෂිකරු;
එම ක්‍රමවේදය යටතේ ඖෂධ ඇගයීම් කමිටු සහතික නිකුත් කිරීම ගැන මට ගැඹුරු දැනුමක් තිබුනේ නෑ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාලවරිය;
ඩබ්ලිව් ඕ ආර් WOR කමිටුව MET මෙට් කමිටුව ගැන ඔබට දැනුමක් තිබුණාද?
සාක්ෂිකරු;
ඔව් ඒවා ව්‍යවස්ථානුකූලව පිහිටවූ කමිටුනේ. ඒ බව මට දැනුමක් තිබුණා. ඖෂධ ඇගයීම් කමිටුවේ නිර්දේශය මත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරා ගන්නා ආනයනකරුවන්ට ඖෂධ ආනයනය කිරීමට අවසර ලබාදෙන බව එහි පැහැදිලිව සඳහන්ව තිබුණා.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය;
ඖෂධ නියාමන කමිටුවට (MET) අමුනා ඉදිරිපත් කර තිබෙන පැ 197 ලේඛනය ගැන ඔබට දැනුමක් තිබෙනවාද?
විත්තියේ නීතිඥවරුන්;
පැ 197 කියන්නේ එයට අදාළ ලේඛනයක් නෙවෙයි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය;
මට වැරදුනා.
ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන ;
පැමිණිල්ලට දැන් නිරතුරුවම වරදිනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය;
පැ 137 ලේඛන බලන්න ඒ පැ 97 ලේඛණයට සමාන ලේඛනයක්ද ?
සාක්ෂිකරු;
ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ;
පැ 95 ලේඛනය එම සීඝ්‍රගාමී ක්‍රමවේදය යටතේ නිකුත් කරන අනුමැතිය ලබා දුන් සියළුම අයදුම් පත්‍ර අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය අවශ්‍ය බව සඳහන් නේද?
සාක්ෂිකරු;
ඔව් එම ලේඛනවලට ඖෂධ ඇගයීම් කමිටුව ඉදිරිපත් කළ පසු අනුමැතිය ලබා දුන්නත් ප්‍රතික්ෂේප කලත් ඒවා අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බව සඳහන්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය;
කොන්දේසි අංක අට අනුව ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාගේ තීරණය අවසාන තීරණය බව එහි සඳහන් වීම නීතියට පටහැනි නේද?
සාක්ෂිකරු;
නෑ. ඖෂධ නියාමන පනත අනුව අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය යටතේ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාට එම බලය ලබාදී තිබෙනවා. අදාළ අවශ්‍යතාවය අනුව පනතේ විදි විධානවලට යටත්ව පවතින අවශ්‍යතාවය අනුව කටයුතු කරන්න ප්‍රධාන විධායක නිලධාරියාට බලතල තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය;
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත 12වන චූදිත මෙම ඉල්ලීම කර ඇති බවට සෑහීමට පත්වුණේ ඇයි?
සාක්ෂිකරු;
ඉදිරිපත්ව තිබූ ලිපි ලේඛන අනුව අපේ අධ්‍යක්ෂ මණ්ඩලය සෑහීමට පත්වුණා. ඒක නිවැරදි ක්‍රමවේදය නිසා අපි එයට අනුමැතිය දුන්නා. එම ඉල්ලීම කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත බවට අපි සෑහීමට පත්වීම නිසා අනුමැතිය දුන්නා ඖෂධ ඇගයීම් කමිටු ප්‍රමාදයන් ගැන ලිඛිතව කරුණු දැක්වීමක් නොකලත් ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ඒ ගැන වාචික කරුණු දැක්වීමක් කළා. පැ 95 ඖෂධ නියාමන පනතට පටහැනි නොවන බවට නිගමනය කරලා තමයි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළේ. එම ඉල්ලීමට අනුමැතිය දීමට රටේ එවකට පැවැති ගැටලුවලට විසඳුම් දෙන්න අපි සද්භාවයෙන් එලෙස අනුමැතිය දුන්නා. එලෙස ඖෂධ ආනයනය කිරීමේදී ඖෂධ නියාමන අධිකාරිය මෙන්ම රාජ්‍ය ඖෂධ සංස්ථාව වගකීමක් දැරිය යුතුයි. ආනයනය කරන ඖෂධ පිළිබඳව යම් ගැටලුවක් ආවොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ බලය ඖෂධ නියාමන අධිකාරියට තිබෙනවා. ආනයනකරු සපයන ඖෂධවල ගැටලුවක් ඇති වුණාම විතරක් නෙමෙයි. පරිත්‍යාග ලෙස ලැබෙන ඖෂධ පිළිබඳවත් වගකීම ඖෂධ නියාමන අධිකාරියට තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය;
ඔබ කියූ ඔය වගන්ති දෙක එම ලිපියට ඇතුළත් කළේ කවුද?
සාක්ෂිකරු;
ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා තමයි එම වගන්ති දෙක ඒ කියන්නේ ආනයනකරු පමණක් නොව පරිත්‍යාගශීලීන් පවා ඔවුන් සපයන ඖෂධවල ගුණාත්මක භාවය පිළිබඳව වගකීම් දැරිය යුතුයි කියන වගන්ති දෙක ඇතුළත් කළේ 12 වන චූදිත අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී කරුණු පැහැදිලි කළා. රටේ පවතින ආර්ථික අර්බුදය හා ඖෂධ හිඟය නිසා එකී සීග්‍රගාමී ක්‍රමවේදය යටතේ ඖෂධ ආනයනය කිරීමට අවසර ලබාදිය යුතු බවට එම ක්‍රමවේදය යටතේ ඖෂධ ඇගයීම් කමිටුවේ නිර්දේශ මගහැරෙනවා කියලා. ඔහු කීවේ නෑ.
වැඩිදුර සාක්ෂි විභාගය අද (25) දක්වා කල් තැබිණි. පැමිණිල්ලේ 33 වන සාක්ෂිකාරිය ලෙස නම් කර තිබූ ඖෂධ වේදිනී අමිලා කුමාරි ඒකනායක මහත්මියගෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී නැවත ප්‍රශ්න නැගූ අතර පැමිණිල්ලේ 52වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ ඖෂධවේදී අයන්ත සඳරුවන් අබේවික්‍රම මහතාද එහිදී සාක්‍ෂි ලබා දුන්නේය.
(විශේෂ වාර්තාකරුවකු විසිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

