හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව රුපියල් කෝටි 14කට අධික රජයේ මුදල් වංක ලෙස ව්‍යවහරණය කිරීමේ චෝදනාව යටතේ පවරා ඇති බාල ඖෂධ නඩුවේ තීරණාත්මක සාක්ෂි කිහිපයක් ඊයේ (25) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අනාවරණය විය.
ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරු මඩුල්ල හමුවේ විභාග වන මෙම නඩුවේදී, පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම විසින් සාක්ෂි මෙහෙයවන ලදී. එහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හිටපු නිලබල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු මෙන්ම මුදල් අමාත්‍යංශයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් චතුර පරාක්‍රම මොහොට්ටිගෙදර (29 වන සාක්ෂිකරු) විසින් අධිකරණයට ලබාදුන් සාක්ෂි හරහා නීතිමය තර්ක කිහිපයක්ම ඉස්මතු විය.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සහ නියාමන අධිකාරියේ ස්ථාවරය
නඩුවේ මූලික තර්කයක් ලෙස පැමිණිල්ල විසින් ගොඩනගනු ලබන්නේ, ඉහළ අධිකරණ නියෝග පවතිද්දීත් නියාමන අධිකාරියේ ස්වාධීන තීරණ යටපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇති බවයි.
සාක්ෂිකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ගෙන්වූ ඖෂධ තොගයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි නියෝගයක් නිකුත් කර තිබූ බවයි.

"ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳව නිසි පරීක්ෂනයක් සිදුකර තම අධිකරණයට නිසි වාර්තාවක් ඉදිරිපත් කරන තුරු ආනයනය කර තිබූ ඖෂධ තොගයක් රේගුවෙන් නිදහස් නොකර රේගුව භාරයේම තබා ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ඖෂධ නියාමන අධිකාරියට නියෝගයක් කොට තිබුණා." - සාක්ෂිකරු
මෙම නෛතික පසුබිම මත, 2023.03.17 වැනිදා පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ලියාපදිංචිය ලබාදීමේ ක්‍රමවේදය (Waiver of Registration - WOR) හරහා සහතික නිකුත් කිරීම නැවැත්වීමට අධ්‍යක්ෂ මණ්ඩලය සාමූහික තීරණයක් ගත් බව සාක්ෂිකරු තහවුරු කළේය.
ඊමේල් සාක්ෂිය: අමාත්‍යවරයාගේ උපදෙස් සහ පනතට පටහැනි වීම
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ ප්‍රශ්න කිරීම් හමුවේ, නියාමන අධිකාරියේ එවකට සභාපතිවරයා (12 වන විත්තිකරු) සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර සිදුවූ ලිඛිත සංවාද කිහිපයක් සාක්ෂි ලෙස ලකුණු කෙරිණි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය:
"2023.03.17 වැනිදා පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී පෙර තිබූ කරුණට අමතරව ඔබ සාමාජිකත්වය දැරූ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් වෙනත් තීරණ මොනවාද? එදින නැවත විශේෂ ක්‍රමවේදය ගැන සාකච්ඡා වුණාද?"
සාක්ෂිකරු:
"අපි තීරණය කළා එහිදී ඩබ්ලිව් ඕ ආර් (WOR) සහතික එම කමිටුව හරහා පමණක්ම නිකුත් කළ යුතුයි කියලා... ඒ වන විට අපි නවත්වා තිබූ විශේෂ ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස එවකට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා උපදෙස් දුන්න බව සෞඛ්‍ය ලේකම්වරයාගේ ලිපියේ සඳහන්ව තිබුණා."

මෙහිදී අධ්‍යක්ෂ මණ්ඩලය දැඩි නෛතික ස්ථාවරයක සිටිමින් එම බලපෑමට විරුද්ධ වූ බව සාක්ෂිකරු අවධාරණය කළේය.
"ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒවන විට ලබා දී තිබූ නියෝගය උල්ලංඝනය වන අයුරින් හා ඖෂධ නියාමන අධිකාරී පනතට පටහැනිව කටයුතු කිරීමට අපි එකඟ නොවන බව දන්වා යැව්වා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ එම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට අපි තීරණය කළා."
ලියාපදිංචි නොමැති සැපයුම්කරුවන් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විරෝධය
අනතුරුව කැබිනට් පත්‍රිකාවක් හරහා "ජීවිත ගලවා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ 38ක්" ලියාපදිංචි ක්‍රමවේදය මගහැර, ලියාපදිංචි නොමැති සැපයුම්කරුවන් මාර්ගයෙන් ආනයනය කිරීමට අනුමැතිය ලබාගැනීමේ උත්සාහයක් ගැනද මෙහිදී අනාවරණය විය.

කෙසේ වෙතත්, මෙම ක්‍රියාදාමයට එවකට අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහ සිල්වා සහ විශේෂඥ වෛද්‍ය කෝසල යන මහත්වරුන් ලිඛිතවම සිය අප්‍රසාදය පළ කළ බවත්, සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලයේම විරෝධය මීට එල්ල වූ බවත් පැමිණිල්ලේ සාක්ෂිය මගින් තහවුරු කිරීමට උත්සාහ ගැනිණි.
විත්තියේ හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ වෙයි
පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම පස්වරුවේ අවසන් වූ අතර, නඩුවේ පළමුවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජ්‍යේෂ්ඨ නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා විසින් සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ඉන් අනතුරුව ආරම්භ කරන ලදී. එහිදී විත්තිය විසින් මෙම සාක්ෂිවල නිරවද්‍යතාවය සහ ප්‍රායෝගික තත්ත්වයන් යටතේ ගත් තීරණවල සද්භාවය ප්‍රශ්න කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
විත්තියේ වැඩිදුර හරස් ප්‍රශ්න ඇසීම අද (26) දිනට කල් තැබීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.
නඩු වාර්තාව
25/02/2026
ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳව නිසි පරීක්ෂනයක් සිදුකර තම අධිකරණයට නිසි වාර්තාවක් ඉදිරිපත් කරන තුරු හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය හෝ ලියාපදිංචිය ලබාදීමේ ක්‍රමවේදය යටතේ ආනයනය කර තිබූ ඖෂධ තොගයක් ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් නොකර රේගුව භාරයේම තබා ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ඖෂධ නියාමන අධිකාරියට නියෝගයක් කොට තිබුනේ යැයි මුදල් අමාත්‍යංශයේ මානව සම්පත් කළමනාකරන හා පාර්ලිමේන්තු කටයුතු හා අමාත්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් මොහොට්ටි මුදියන්සේලාගේ චතුර පරාක්‍රම මොහොට්ටිගෙදර මහතා ඊයේ (25) පැවසීය.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ප්‍රමිතියෙන් තොර එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයට අයත් රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දෙමින් හෙතෙම එලෙස පැවසීය. නීතිපතිවරයා විසින් අධිචෝදනා 13 ක් යටතේ පවරා තිබූ එම නඩුවේ සාක්‍ෂි විභාගය ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී පැවැත්විණි.
එබැවින් විශේෂ ක්‍රමවේදය යටතේ ඖෂධ ආනයනය කිරීමට අවසර ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම මත සෞඛ්‍ය නියාමන අධිකාරිය ඉල්ලීමක් කොට තිබූ නමුත් විශේෂ ක්‍රමවේදය යටතේ හෝ ලියාපදිංචිය ලබාදීමේ ක්‍රමවේදය මත ( way of Registran) සහතික නිකුත් කිරීම නැවැත්වීමට 2023.03.17. වැනිදා පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී සාමූහික තීරණයක් ගත් බවද ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස නිල බලයෙන් පත්ව සිටි එම සාක්ෂිකරු අධිකරණය හමුවේදී පැවසීය.
එහිදී පැමිණිල්ලේ 29 වන සාක්‍ෂිකරු ලෙස නම් කොට තිබූ එම සාක්ෂිකරු මාර්ගයෙන් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණය එකී අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත්වූ විවිධ ඉල්ලීම් යෝජනා හා අධ්‍යක්ෂ මණ්ඩල සටහන් අධිකරණය හමුවේදී පැමිණිල්ලේ සාක්‍ෂි ලෙස ලකුණු කිරීමට පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය පියවර ගත්තාය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ;
2023.03.17 වැනිදා පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී පෙර තිබූ කරුණට අමතරව ඔබ සාමාජිකත්වය දැරූ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් වෙනත් තීරණ මොනවාද ? එදින නැවත විශේෂ ක්‍රමවේදය ගැන සාකච්ඡා වුණාද?

සාක්ෂිකරු ;
අපි තීරණය කළා එහිදී ඩබ්ලිව් ඕ ආර් සහතික එම කමිටුව හරහා පමණක්ම නිකුත් කළ යුතුයි කියලා. ඒ වන විට විශේෂ ක්‍රමවේදය යටතේ ඖෂධ ආනයනය කිරීමට අවසර ලබාදෙන ලෙසට ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කළ ලිපියක් ලැබී තිබුණා. අපි ඒ ගැනත් සාකච්ඡා කළා. අපි එම ලිපිය දැක්කා. ඒක කියෙව්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ එම ඉල්ලීම 2023.03.30 දිනැති, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයක් යටතේ තමයි කර තිබුණේ. 2023.04.21 වැනිදා පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබඳව සලකා බලන ලෙසට මෙම නඩුවේ 12 වන විත්තිකාර එවකට ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විජිත් ගුණසේකර මහතා මටත් ඊමේල් පණිවිඩයක් මගින් 2023.04.03 වැනිදා යොමු කර තිබුණා.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය;
අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම පැවැත්වීමට දින 18කට පමණ පෙර 12වන විත්තිකරු එවු' එම ඊමේල් පණිවිඩයෙන් මොකක්ද දන්වා තිබුණේ.
සාක්ෂිකරු ;
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කර තිබූ පෙර කිව් ඉල්ලීම තමයි ඔහු එවා තිබුනේ. තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කර තිබූ පෙර කිවූ විශේෂ ක්‍රමවේදය නැවත බලන්න යැයි කියන ඉල්ලීමට එකඟතාවය දක්වන බව ඔහු මට දන්වා තිබුණා.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ;
එයට පෙර එලෙස ඊමේල් පණිවිඩය මගින් ඔබට එවැනි ඉල්ලීමක් කර තිබුණාද?
සාක්ෂිකරු ;
නැහැ ස්වාමීනි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා එම ඉල්ලීමට අත්සන් කර තිබුනා ඔහු ලේකම්වරයා දන්වා තිබුණා. 2023.03.27වැනිදා ගරු සෞඛ්‍ය අමාත්‍යවරයා ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී එම තීරණය ගත් බව එමඟින් දන්වා තිබුණා. එම රැස්වීමේදී විශේෂ ක්‍රමවේදය යටතේ නැවත ඖෂධ ගෙන්වීමට ඩබ්ලිව් ඕ ආර් සහතික නිකුත් කිරීමට අමාත්‍යවරයා උපදෙස් දුන් බව තමයි එහි සඳහන්ව තිබුණේ. ඒ වන විට අපි නවත්වා තිබූ විශේෂ ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් දුන්න බව තමයි එහි සඳහන්ව තිබුණේ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ;
කවුද එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ?
සාක්ෂිකරු ;
කෙහෙළිය රඹුක්වැල්ල මහතා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ;
ඔබ 12වන චූදිතට ඒ ගැන පිළිතුරක් යැව්වාද?
සාක්ෂිකරු ;
එහෙමයි ස්වාමීනී. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒවන විට ලබා දී තිබූ නියෝගය උල්ලංඝනය වන අයුරින් හා ඖෂධ නියාමන අධිකාරී පනතට පටහැනිව කටයුතු කිරීමට අපි එකඟ නොවන බව දන්වා යැව්වා. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත සේරසිංහ මහතා දන්වා සිටියා එම ඉල්ලීමට එකඟ නොවන බවට අපි සියලු දෙනා තීරණය කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ එම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට.
සාක්ෂිකරු ;
පසුව අපේ අධ්‍යක්ෂ මණ්ඩලයට සෞඛ්‍ය ලේකම්වරයා යෝජනාවක් කර තිබුණා විශේෂ ක්‍රමවේදය වෙනුවට හදිසි අවස්ථාවකදී පාවිච්චි කළ හැකි අලුත් ක්‍රමවේදයක් හදන්න කියලා. ඒ ක්‍රමවේදය ඩබ්ලිව් ඕ ආර් කමිටුව, ඖෂධ ඇගයීම් කමිටුව අනුමැතියට යටත්ව ක්‍රියාත්මක කරන්න සලකා බලන ලෙස අපිට දන්වා තිබුණා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; එම නඩුවේ 29වන සාක්ෂිකරු දෙවන දිනටත් සාක්ෂි ලබාදීම ආරම්භ කළ අවස්ථාවේදී 12වන විත්තිකරු මාර්ගයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කොට තිබූ කැබිනට් පත්‍රිකාවක් සාක්ෂිකරුගෙන් එහි සඳහන් කරුණු පිළිබඳව විමසීමක් කළ අතර ජීවිත ගලවා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ 38ක් ලියාපදිංචි ක්‍රමවේදය මගහැර ලියාපදිංචි නොමැති සැපයුම්කරුවන් මාර්ගයෙන් ආනයනය කිරීමට එමඟින් අනුමැතිය ලබා දී ඇතැයි හෙතෙම අනාවරණය කළේය.
එකී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුළු සියලු සාමාජිකයන්ගේ අප්‍රසාදය ඒ සම්බන්ධයෙන් පළවී ඇති බවත් 12වන චූදිතට දැනුම් දුන් පසු ලබන සතියේ සෞඛ්‍ය අමාත්‍යතුමා සමග සාකච්ඡාවක් පැවැත්වෙනවා. එහිදී ඒ පිළිබඳව සාකච්ඡා කරන ඔහු තමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය හමුවේ පැවසූ බවද සාක්ෂිකරු පැවසීය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය ඇතුළු මූල්‍ය පහසුකම් යටතේ ඖෂධ ආනයනය කිරීමට ලබා දී තිබූ ඖෂධ ඇගයීම් කමිටු සහතික සති 12 සිට මාස හය දක්වා දීර්ඝ කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ ඉල්ලීමකට තම අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දුන් බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් එම සාක්ෂිකරු පැවසීය. ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් එකී ඖෂධය ලබාගැනීමේ ක්‍රියාවලියකට තම අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දෙනු ලැබුවේ එවකට පැවැති වාතාවරණය කෙරෙහි සැලකිල්ලට ගෙන වන්නේ යයිද පැවසූ සාක්ෂිකරු ඒ පිළිබඳ වෛද්‍ය සැපයුම් අංශයට හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව දැනුම්වත් කළ යුතු බවට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළේ යැයිද පැවසීය.
එම සාක්ෂිකරුගෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ මූලික සාක්ෂි මෙහෙයවීම පස්වරුවේ අවසන් කළ අතර පළමුවන චූදිත වෙනුවෙන් පෙනී සිටි. නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය. විත්තියේ වැඩිදුර හරස් ප්‍රශ්න ඇසීම අද (26) වැනි දින පෙරවරු 10.00 දක්වා කල්තැබූ විනිසුරු මඩුල්ල තෙවන දිනටත් අද (26) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සාක්ෂිකරුට අවවාද කළේය.
මෙතෙක් දින නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ආරම්භ කොට තිබූ එම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මේ වන විට ඉදිකරමින් පවතින මින් පෙර වසරක පමණ කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණ ශාලා පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ හතරවන මහලේ ශාලාවක ඊයේ (26) ආරම්භ කළේය.
වැඩිදුර විභාගය අද (26) දක්වා කල් තැබිණි.
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

