මහා පබ්බත මතට නැගුණු එළාර රජු දුටු ගැමුණු කුමරුගේ අභියෝගය භාර ගැනීම විමතිය දනවන කරුණකි.
සැබැවින්ම එය එකළ ජන සමාජය මෙන්ම දේශපාලන මොහොතද විශ්මාන්විත කර ගන්නටද ඇත.
නාඹර යෞවනයෙකුගේ තේජාන්විත යුධමය අභියෝගය වියපත් මහල්ලෙක් භාර ගැනීම කෙතරම් ගැඹුරු සිදුවීමක් විය යුතුද. එළාර රජු තුල පැවති නිර්භීතකම මෙම සිදුවීම නිරූපනය කරන බව සැබෑය. එමෙන්ම එම සිදුවීම වඩාත් අපූරුවට විහිදුවන්නේ ඔහු තුල තිබූ රාජතාන්ත්‍රික ලක්ෂණය සේ දැකිය හැකිය. එසේ දකින්නට හේතුවක් වන්නේමය. ඒමන්ද යත් එම සිදුවීම ඔස්සේ ඔහුගේ මුළු මහත් රාජ්‍ය පාලනයට බැදුණු සාපේක්ෂ ලක්ෂණ මනාකොට දිස්වන නිසාය. එම ලක්ෂණ නිසාම එළාර රජතුමා සතුරෙකු ලෙස දැක්වීමට ප්‍රතිරෝධයක් පවතී. එම ප්‍රතිරෝධමය බව නිසාම ඔහු මහා සෑයකින් පුදනු ලැබූ ලක්දිව ප්‍රථම රජුය.
මම දන්නා ඉතිහාසය තුල තම ප්‍රතිවාදීයා අතින් ඝාතනයට ලක්ව ඔහුගේ අණින් මහා සෑයක නිදන්ගතව ඔහුගේම නියෝගයෙන් රටක ජනයාගෙන් පිදුමන් ලත් ලොව එකම රජු එළාර රජුය. එහි අනික් අර්ථය සේ තම සතුරා තමා අතින් ඝාතනය වීමෙන් පසු ඔහු රාජ බුහුමනට මෙන්ම මහජන ගෞරවය සහිත චාරිත්‍ර ධර්මයට ලක්කල ලොව එකම රාජ්‍ය පාලකයා දුටු ගැමුණු නිරිඳුය. ඉතින් එළාර දුටු ගැමුණු යුද්ධය මහජන යුද්ධයක් නොවී පුද්ගලයන් ගේ බල අරගලයක් ලෙස උපන් මානව භාවයන්හි උපරිමය බව දකින්නට තවත් කරුණු කුමකටද.
මහා පබ්බත ඇතුද, එළාර රජු මෙන්ම යුධ භූමිය මත ස්වකීය දිවිය කැප කලේය. එදා මේ රටේ මිනිසුන් දුටුවේ මනුෂ්‍ය රජෙක් සහ ඇත් රජෙක් එකම මොහොතක ස්වකීය ප්‍රාණ වායුව යුධ භූමියක මුදා හල අති සංවේදි මොහොතකි. වසර හතලිස් හතරක් පුරා ලක්දිව ජනයා නමස්කාර කල රජුද ඇතුද මරා දැමීම ප්‍රීතිමත් ලකුණක් නොවුන බව පෙනේ. එය පස්චාත්තාපයේ මොහොතක් වී ඇති බව පෙනේ. මුළු මහත් ජන සමාජයක් එක් විමට යුධ කාමයෙන් මාන භාවයේ සසළයන් වෙත කැඳවූ මෙම ලාංකීය මොහොත ලොව මුදුනෙහි රඳවා කතා කල යුතු තරමේ කතාවකි. එබැවින් එහි අරුත නිරුත සොයා යා යුතුයැයි සිතුනේ එක් සිදුවීමක් නිසාය.
ඒ සිදුවීම සිදුවූයේ අහම්බෙන් කිලිනොච්චි වනාන්තරයට යාමට ලද මොහොතේය. එකල ජාතික රළ වේගයෙන් උදම්ව ඊලාම්වාදීන් පරදවා ලීවමට මෙම ලියුම්කරුද පෙරමුණේ විය. ඒත් එහි ගැඹුරේ තිබුණේ දෙමළ විරෝධය නොව එක ලංකාව දෙකඩ වීමට ඉඩ නොදීමේ දේශමාමක නොනිමි ප්‍රමෝදයය. ඒ සියල්ල මැද උතුරු නැගෙනහිර ඇති බොහෝ ඓතිහාසික ස්ථාන සොයා බලා ගැනීමට සිත තුල උපන් දොල සංසිදවා ගැනීමට අවදානම් ගමන්ද ගියෙමි. පුරාවිද්‍යාව මානව විද්‍යාව හා ඉතිහාසයට බැඳි ආල නුරාවෙන් ගෙවී ගිය ගමන ඒ මොහොතේ වූ දේශපාලන පිපාසාවන් සමඟද වෙලී තිබුණි.
දුටු ගැමුණු කුමරුගේ හද මිතුරා සේම ගුරු මිතුරා වූ විස්විකගේ තතු විත්ති අන්දරය කිලිනොච්චියේ වන ගමක ඇති බව මෙම සමයේ දැන ගතිමි. එහි යන්න ගිය ගමන කෙළවර වූයේ දෙමළ සටන් කරුවන්ගේ ග්‍රහණයට පත්වීමෙන්ය. ඔවුන් සමඟ ගෙවුණු එම දින කීපය මාගේ ඉතිහාස දැකීම් වලට අළුත් පණක් එක් කලේය. ඒ දෙමළ කොටි සඟයන් අතර වු ඉතිහාසවාදීන්ගේ කතා පොකුරු නිසාය. මෙම කතා පොකුරු නිරීක්ෂණය කල යුතු යැයි මට සිතුනි. එම තතු විත්ති දෙස ජාතිවාදීව නොබලා මානවවාදීව බැලීමේ පුරුද්ද ඇති වූයේ එදා පටන්ය . යුගන් නායගම්, කොහිදැයි අදත් මම නොදනී. ඔහු ඊළමට දිවි පිදුවා විය හැකිය. යුගන්ගේ කථාවෙන් මාගේ හිතට වැද ගන්නේ "මහා පබ්බතය". මහා පබ්බත, ගැන සොයා යන්නට හිත ආසා උපන් අතර ඒ ගමන සොයා ගමන් ඇරඹීමි.
ඒරාවුර් ගමේ වන වදුලට ගියේ ඒ සඳහාය. එරාවුර් ගමේ වන අරණේ ඇති ආනලෙන (අලි ලෙන) නමින් මිනිසුන් නම් දෙන තැන මගේ නෙත නැවතී බලා සිටියෙමි. ඇත්තටම යුගන් කී තැන මෙතනම දැයි මම හරියටම නොදනී . ඒත් ඔහු කී සියළු දැකීම් එහි තුබූ නිසා එය ඔහු කිව් තැන සේ දකිමි. එය මතු මත්තේවත් මනුෂ්‍යයන්ගේ දුෂ්ඨ ඇසින් අපවිත්‍ර නොවීම පිණිස එහි යන මාවත හෙලි කිරීම උචිත නොවන බව මමද සිතමි. යුගන් නම් දෙමළ කොටි සටන් කරුවා මට ඉතිහාස ගුරුවරයෙක් වූයේ එසේය. යුගන්ට යුක්තිය ඉෂ්ඨ කිරීමට මට තවමත් බැරිවිය. ඒ ගැන ලතැවුලෙන් පසුවෙමි. ජාතිමාමකත්වයේ අන්තය දෙමළා තුලද සිංහලයා තුලද ඝණව පැතිර ගිය යුගයක එය ඉටු කරන්නට තැත් කිරීම නිරර්ථක බව සිත කිවාය. දැන් ඒ ඝණ පටලය ඉරී ඇත. මම යුගන් ගෙන් එළාර සෑය සොයා "මහා පබ්බත" මතට නැගී ඉතිහාසය බලන්න ආරම්භ කරමි.
කණ්ඩුල ඇතුට යුක්තිය ඉෂ්ඨ කල මහාවංශ කතුවරයාද දීපවංශ කතුවරියන්ද මහා පබ්බතටද යුක්තිය ඉෂ්ඨ කර ඇත්තේය. ඒ රජුන් දෙදෙනා මෙන්ම මහ ඇතුන් දෙදෙනා ගැනම මතකය මතු පරපුරට දායාද කරමින්ය. එහිදී ලාංකික භික්ෂු පරපුර සිංහල දුටුගැමුණු කුමරුගේ කණ්ඩුල ඇතුට "මහා" අභිධාන නාමය දී නැත. දී ඇත්තේ නිරිඳු එළාර රජුගේ ඇතුටමය. ඔහුට පබ්බත නොකියා "මහා පබ්බත" යැයි කියා කියන්නේ මන්ද යන්න සොයා බැලීමට තරම්ය. වර්තමානිකයන් කණ්ඩුල ඉස්මත්තට නැගි "මහා පබ්බත" මකා දැමුවේ කිමදැයි ඇසිය යුතුය. ඒ ජාතිවාදී ඝණ අදුරට දෙමළ සිංහල අපි සැවොම සාපේක්ෂව ගොදුරු වූ නිසාමය. ඒ ගොදුරුව ගැන පසුවට ලියමි. දැන් මහා පබ්බතයන් වෙත හැරී එළාර දෙස හැරී බලා යා යුතුය.
එය දිග කතාවකි. කෙටි හැරවීමකින් ලියා තැබිය හැකි කතාවක් නොවේ. කණ්ඩුලගේ තියුණු දළ යුගල මහා පබ්බතගේ තියූණු දෙනෙත පසාරු කර කිදා බැස්ස මොහොත ලංකාවේ ශෝචනීය මොහොතය. ඒ මොහොතේම එළාර රජුගේ තියුණු හෙල්ල දුටු ගැමුණු කුමරුගේ පපු බඳ සොයා එල්ලය ගන්නේය. එම නිමේෂයේම දුටු ගැමුණු කුමරුගේ හෙල්ල එළාර රජුගේ පපු බඳ සොයා පැමිණේ. තම දෙනෙත පසාරු වූ මහා පබ්බතගේ දෙපා නැමී ගියේය. එළාර රජුගේ පපුව දුටු ගැමුණු කුමරුගේ හෙල්ලයේ ඉලක්කයට ස්ථානගත විය. නිරිඳු එළාරද මහා පබ්බත ඇත් රජුද ඉතිහාසයෙන් සමුගෙන ගියේ ඔහොමය.ඒ එළාර රජු සෑයකය. අර "මහා පබ්බත" ගල් ලෙනකය.
(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී
රාවාෂ පසුගිය ලිපි :
ලේඛකයාගේ වෙනත් ලිපි : වායාම