(ප්‍රියන්ත කොඩිප්පිලි ගේ 'රිදී' කාව්‍ය සංග්‍රහය ලබන අඟහරුවාදා, ඒ කියන්නෙ අගෝස්තු 29 වෙනිදා දොරට වඩියි. මේ සටහන ඒ නිමිත්තෙනි..)  

කවිය තිබෙන තැන ගැන සන්තෝෂයි - ප්‍රියන්ත කොඩිප්පිලි

ප්‍රශ්නය :
ඔබට ඕනෑ වුණේ කවියෙක් වෙන්න ද? නැත්නම් මේක අහම්බයක් ද ?


කොඩි :
මට ඒ කාලේ ඉඳන් කවිය එක්ක වැඩි ඇසුරක් තිබුණා. විශේෂයෙන්ම 90 දශකයේ අග කාලයේ පත්තර කවි පිටු වලට කවි ලියන පුරුද්දක් තිබුණා. 2004 විතර තමයි මම පත්තර වලට සම්බන්ධ වුණේ. එයින් පස්සේ මට කවි පිටුවක් සංස්කරණය කරන්න අවස්ථාව ලැබුණා. ඒකත් එක්ක කවිය සම්බන්ධව බොහෝ දේවල් ප්‍රැක්ටිස් කරන්න ලැබුණා. වෙන කවීන්ගේ කවි ගැන, කවි වල විවිද හැඩ, කවි වැඩමුළු ආදිය අත් දකින්න ලැබුණා. ඒ කාලයේ වෙද්දි මට පත්තර වල කවි පිටු වලට ලියන වැඩේ අතඇරිලයි තිබුණේ. මම පත්තර කාරයෙක් උනාට පස්සේ මගේ අවධානය වැඩිපුර ම යොමු වුණේ වෙන අයගේ කවි ගැන ටිකක් වැඩිපුර හොයා බලන්නටයි. එහෙම කාලයක් ගත වුණාට පස්සෙ 2015 දී විතර මම සමාජ මාධ්‍ය වේදිකාවලට ආවට පසුව තමයි දැන් මගේ තියෙන ස්ටයිල්  එකේ කවි බිහිවෙන්න ගත්තෙ. එතනින් පස්සේ තමයි සමාජ මාධ්‍ය තුළ මගේ කවි කතාබහට ලක්වුනේ. පත්තු වෙන වැඩක් විදියට ඉස්සරහට එන්න පටන් ගත්තේ. 2018 දී මගේ "කොඩි" කියන පොත එලියට එනවා. 

41552545 10217621219588183 464180093753753600 n

ප්‍රශ්නය 
සමාජ මාධ්‍ය හරහා ඔබේ කවිය සමාජගතවීම දකින්නේ කොහොමද?

කොඩි :

දැන් අපට අලුත් තාක්ෂණයත් එක්ක සමාජ මාධ්‍ය වේදිකා වල දොර ඇරලා තියෙනවා. ඉතින් බොහෝ දෙනාට අදහස් ප්‍රකාශ කරන්න, තමන් ලියන කියන දේවල් බෙදා හදා ගන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා ෆේස්බුක් හරහා. ඉස්සර නම් පත්තර කවි පිටු තමයි කවි කිවිඳියන්ගේ නිර්මාණ පළ කරන්න තිබුන එකම තැන. රේඩියෝ වලට කවි ලියන එක වගේ  පොඩි අවස්ථා තිබුණා. හැබැයි මුද්‍රිත මාධ්‍යයෙන් කවියක් පල වෙන එකම ඉඩ තමයි පත්තර වල තිබුන කවි පිටු ටික. එතකොට පත්තර කවි පිටු වලට යම්කිසි අධිකාරි බවක් තිබුණා. සංස්කාරක අතේ තිබුණා පොඩි බලයක්. බොහෝ වෙලාවට සංස්කාරකගේ රුචි අරුචිකම් බලපානවා එම කවි පිටු වල පලවෙන කවි සම්බන්ධයෙන්. නමුත් දැන් සමාජ මාධ්‍ය තුළට ආවට පස්සේ කවි කිවිඳියන් ට ඒ කිසිම බැරියර් එකක් නෑ. තමන් ඒ මොහොතේ ලියන කවිය ඊළඟ තත්පරේ දී මුදා හැරලා විශාල පිරිසකට බලන්න සලස්වන්න පුළුවන්. ඒකෙදි හොඳක් වගේම නරක පැත්තකුත් තියෙනවා. මොකද තමන් ලියන කියන දේවල් වල වගකීම තමන්මයි දරන්න ඕනේ. ඉතාම වගකීමෙන් යුතුව සමාජ මාධ්‍ය පාවිච්චි කරන අයට මේක ඉතා හොඳම වේදිකාවක්. මං හිතන්නේ මගේ කවියට නම් සමාජ මාධ්‍ය වල බලපෑම සෑහෙන්න තියෙනවා. එතන තමයි මගේ මෑත මෑතකාලීන වේදිකාව. 

74243357 993734500985793 5117551046121488384 n

ප්‍රශ්නය :
ඔබගේ පුද්ගලික චරිත අලලා කවි ලිවීමේ කලාව හරියට වචනවලින් ආලේඛ්‍ය චිත්‍රයක් කරනවා වගෙයි දැනෙන්නේ. "කොඩි" පොතේදී වගේම ඉදිරියටත් ඒ වගේ භාවිතාවක් ඔබ තුළින් දැකගන්නට හැකි වෙයිද? 


කොඩි :
මුල් කාලයේදී පුද්ගලයෙක් හෝ චරිතයක් පදනම් කරගෙන පින්තූරයක් එක්ක පළවෙන තනි කවියක් විදිහට බොහෝ කවි ගණනාවක් ලිව්වට පස්සේ තමයි මම "කොඩි" කියන පොත කළේ. එකෙන් පස්සෙ තමයි කවි එකකට වඩා ලියන පොඩි කතන්දර විලාසයකින් ලිවීම කළේ. ඒ කාලෙදි තනි කවියක වුණත් පොඩි කතන්දරයක් තිබුණා. චරිත ගැන ඉතා කෙටියෙන් කරුණු කියන එකත් ලේසි වැඩක් නෙවෙයි. ඒ ඒ චරිතයේ ස්වභාවය සම්පූර්ණයෙන්ම කැටි කරලා පෙන්නන වැඩක් ඒක. එතැනින් පස්සේ තමයි මෑත කාලයේ මගේ ලිවීම, කතන්දර කිවීමේ විලාසයකට පෙරලුනේ. ඒවාටත් පාදක වෙන්නේ අපි ඇසුරේ හිටපු සහ ඉන්න පුද්ගලයෝ සංසිද්ධි විශේෂයෙන් ම සිනමාවේ, සංගීතයේ, කලාවේ වගේ බොහෝ තැන් වල අපි ඇසුරු කළ, ඇසුරු කරන පුද්ගලයන්. කවිය ඉක්මවා ගිය කතන්දර විලාසයෙන් ඉදිරියටත් ලියවෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. 

ප්‍රශ්නය :
මොකක්ද මේ "රිදි"


කොඩි :
එතන සිද්ධ වෙන්නේ පහුගිය කාලේ මගේ අතින් ලියවෙච්ච සිනමාව සම්බන්ධ කරුණු කාරණා, එක එක සිද්ධි සහ චරිත පාදක කරගෙන ලියැවුණු කවි වල එකතුවක් ජනගත කිරීම. ඒ කියන්නේ සිනමාව ගැන ලියැවුණු කවි පොතක් ලියවිලා තියෙන වගක් මට ආරංචි ප්‍රමාණයට නම් නැහැ. ඒක තමයි මේ බයිස්කෝප් එකක් වගේ වැඩක් විදියට අගෝස්තු 29 දා කරන්න නියමිත. 

370854384 6756829934373769 6427671269333088260 n
ප්‍රශ්නය :
සමස්තයක් විදිහට ඔබේ ලිවීම් වලට ලැබෙන ප්‍රතිචාර කොහොමද? වැඩිපුරම ලැබෙන්නේ ප්‍රශංසාද,  ගල් මුල්ද? 


කොඩි :
අපොයි ඔව් ! මුල් කාලෙදි ගොඩක් තිබුණේ ගල් මුල්. නමුත් පසුකාලීනව ප්‍රැක්ටිස් එකත් එක්ක හැදෙන සංයමය සහ පරිණත වීමත් එක්ක දැන් ඉතින් අපේ සීමාවන් දැනගෙන, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ සීමාවන් දැනගෙන තමයි කටයුතු කරන්නේ. සමාජ මාධ්‍ය තුළ ඉස්සර පාවිච්චි කළ වචන වුණත් දැන් පාවිච්චි කරන්න බෑ. මොකද සීමා තියෙනවා. මේ සියල්ල එක්ක මං හිතන්නේ මගේ කවි වලට හම්බ වෙන්නේ වෙනස්ම ප්‍රතිචාර. ඒක මගේ පැත්තෙන් ගත්තොත් ආනන්දජනක තත්ත්වයක්.

ප්‍රශ්නය :
ලංකාවේ දැනට තියෙන කවි භාවිතාවත් එක්ක සිංහල කවියේ අනාගතය මොනවගේ වේවිද ? ලාංකික කවිය තුළ ඔබ මොන වගේ තැනක ස්ථානගත වේවිද ? 


කොඩි :

මම අන්තිම කාරණයට පළමුව උත්තර දුන්නොත්, කවිය තුළ මම මොන වගේ ස්ථානගත වෙනවද?  කියලා විනිශ්චය කරන්නේ මම නෙවෙයි. මගේ කවි කියවන සහ ඒ ගැන උනන්දු වන අයගේ අතේ තමයි ඒක තියෙන්නේ. ලංකාවේ මේ වෙනකොට කවිය තියෙන තැන සම්බන්ධයෙන් නම් මම ඉතාම සන්තෝෂයෙන් ඉන්නේ. විශාල වශයෙන් දක්ෂ තරුණ විශාල කවීන් ප්‍රමාණයක් එළියට ආව තත්වයක් දැක ගන්න ලැබුණා පසුගිය කාලය පුරාවටම. ඒ බොහෝ කවි කිවිඳියන්ගේ කවි මුල්වරට මටත් ස්පර්ශ කරන්න හම්බවුණා. මොකද කාලයකට පෙර මමත් කවි පිටුවක් සංස්කරණය කළ නිසා. නමගිය සම්මානනීය කවියෝ කවියට ප්‍රවිෂ්ට වෙන අවස්ථාවේදීම මට හමුවෙලා තියෙනවා. ඔවුන්ගේ කවි පළ කරන්න අවස්ථාව සහ ඔවුන්ට යම්කිසි ගමනක් යන්න තල්ලුවක් දෙන්න අවස්ථාව මට හිමිවුණා. ඒ සම්බන්ධයෙන් මට තියෙනවා තද සන්තෝෂයක්. ප්‍රවීණ නවීන ඕනෑම කෙනෙකුගේ කවියක් එක්ක මම සම්බන්ධ වෙන්නේ සහ ගනුදෙනු කරන්නේ කවි රසිකයෙක් හැටියට. ඒ විදිහට බැලුවාම වුණත් ලංකාවේ කවිය අද තියෙන තැන ගැන සෑහෙන සතුටක් තියෙනවා මට.

(සිසිකලා හේරත් - අනිද්දා පුවත්පත)

370889165 10159960493407979 2029253178357470116 n 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්