රුහුණු සරසවියේ කුලපති, අකුරැටියේ නන්ද නාහිමි


අකුරැටියේ නන්ද නාහිමියෝ විද්‍යෝදය පරිවේණාධිපතිව වැඩ සිටි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අපවත්වී වදාළ අකුරැටියේ අමරවංශ නාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයෙකි. ඒ සමයේ විද්‍යෝදය පරිවේණාධ්‍යක්ෂ හා සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන කර්තෘ ධුරයද හෙබ වූ උන්වහන්සේ මහ පඬිරුවනක් ලෙසද ප්‍රකටය. 

රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති හා බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයද දරන උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ, මේ දිනවල ආන්දෝලනයට තුඩු දුන් හතේ අපේ පොත කෘතිය සිසුන්ට දිය යුතු බවය. මතු නොව සංඝ සමාජයේ ඇතැම් කටයුතු වෙනස් විය යුතු බවද උන්වහන්සේගේ අදහසය. 

මේ ඒ ගැන උන්වහන්සේ සමග කළ සාකච්ඡාවකි.

ප්‍රශ්නය :
7 වැනි ශ්‍රේණියේ සිසුන්ට හඳුන්වා දුන් ‘‘හතේ අපේ පොත’’ කාලෝචිත බවට ඔබ වහන්සේ මීට පෙර කරුණු දක්වා තිබුණා. එහෙත් එම පොත සිසුන් අතට පත්වීම නවත්වන්න කියලා මේ වනවිට තීරණයක් ගෙන තිබෙනවා?

අකුරැටියේ නන්ද නාහිමි:
නැහැ. එහෙම තීරණයක් අරන් නැහැ.

ප්‍රශ්නය :
මාධ්‍යයේ පළ වූ ප්‍රවෘත්තිවලට අනුව නම් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා මගින් තමයි මෙම තීරණය අරන් තියෙන්නේ.?

අකුරැටියේ නන්ද නාහිමි:
පසුගිය ආණ්ඩුවේ ඇමැතිවරුන් දෙදෙනකුගේ ඡායාරූප ඔය පොතේ තිබුණා. ඒ නිසා පසුගිය මැතිවරණ සමයේ මේ පොත බෙදාහැරීම නුසුදුසුයි කියා ඒ බෙදපු පොත් නැවත ලබාගන්න අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්වරයා දැනුම් දී තිබුණා. එහෙත් එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් ඔබ ඔය කියන ආංශික අධීක්ෂණ කාරක සභා මගින් එම පොත් සිසුන් අතට පත්වීම නවත්වන්න කියලා තීන්දුවක් ගත්තේ නැහැ.

ප්‍රශ්නය :
යම් වගකීමක් සහිතවද ඔබ වහන්සේ ඔය ප්‍රකාශය කරන්නේ?

අකුරැටියේ නන්ද නාහිමි:
ඔව්. අනිවාර්යයෙන්ම.

ප්‍රශ්නය :
ඒ වුණාට පසුගිය 21 වැනිදා රැස්වූ සම්පත් සංවර්ධන මෙන්ම සමාජ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා එම තීන්දුව (පොත් සිසුන් අතට පත්වීමට වළක්වන තීන්දුව) ගත් බව ප්‍රකාශ වෙනවා?

අකුරැටියේ නන්ද නාහිමි:
නැහැ. අමූලික බොරුවක්. ‘හතේ අපේ පොත’ තුන්ලක්ෂ පනස් දහසක් මුද්‍රණය කර බෙදාහැරියා. ඒත් අර මම මුලින් කිව්ව ඡන්ද ප්‍රශ්නය නිසා පසුගිය නොවැම්බර් 9 වැනිදා අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්වරයා පොත් නැවත කැඳවන්න තීරණය කළත් එලෙස කැඳවාගත හැකි වූයේ පොත් 25,000ක් පමණයි.

 7 Book 1 ඔබ ඔය කියන පසුගිය 21 වැනිදා (අඟහරුවාදා) රැස් වූ ආංශික කාරකසභා තීරණය කළේ; අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා මේ පොත ප්‍රකාශ කිරීම සඳහා ඔවුන් යොදාගත් ක්‍රමවේදය කාරක සභාවට පහදා දිය යුතුයි යන්නයි.

ඒ අනුව පොත හදපු ක්‍රමවේදය පිළිබඳ විමසා වාර්තාවක් කැඳවන්න තීරණය කර තිබෙනවා.

මේ කටයුත්ත සම්බන්ධ විෂයේදී මාධ්‍ය ආයතන කිහිපයක් පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරනවා. එක එක්කෙනාගේ ප්‍රතිරූප පුම්බන්න කටයුතු කරනවා. ඒක ඉතාම පහත් වැඩක්.

‘හතේ අපේ පොත’ හැදුවේ වෛද්‍ය විශේෂඥයො, මනෝ වෛද්‍ය විශේෂඥයො, අධිකරණ වෛද්‍ය විශේෂඥයෝ එකතු වෙලා.

සිසුන් අතට පත්වෙන මේ පොත සංවාදාත්මක විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. එහිදී එක තැනක වෛද්‍යවරයා කියනවා ස්වයංවින්දනය කවුරුත් ලබනවා. ඒක ස්වාභාවික තත්ත්වයක් එහෙත් මේකට ඇබ්බැහි වෙන එක නරකයි කියලා. මේවා ගැන නව යොවුන්වියේ දරුවන් අවබෝධයෙන් සිටිය යුතුයි.

7 Book 2ප්‍රශ්නය :
ඔබවහන්සේ කියන විදිහටම ඔය පොතේ තිබෙන සංවාද ස්වරූපය අනවශ්‍ය කුතුහලයක් ඇති කරන, අපේ සමාජ හරපද්ධතීන්ට නුසුදුසු, ළමා මනස විකෘති කරන්නක් බවට පිරිසක් චෝදනා කරනවා?

අකුරැටියේ නන්ද නාහිමි:
ඒක කිසිම තේරුමත් නැති අපභ්‍රංශ කතාවක්. ඒ චෝදනාවේ කිසිම තේරුමක් නැහැ. මම අවුරුදු 34ක් සිංහල ශබ්ද කෝශයේ කර්තෘ මණ්ඩලයේ සේවය කළා. අවසානයේ කර්තෘ විදිහටත් කටයුතු කළා. එම නිසා මේ පොතේ අන්තර්ගතය ගැන හොඳ අවබෝධයක් මට තිබෙනවා. හතේ අපේ පොතේ සංවාද ස්වරූපයේ කිසිම ගැටලුවක් නැහැ.


ප්‍රශ්නය :
මේ පොත ලියලා තිබෙන ආකාරයට අනවශ්‍ය විදිහට ලිංගිකත්වය, කාමුකත්වය උද්දීපනය වීමෙන් අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට හානියක් වෙන්නේ නැද්ද?

අකුරැටියේ නන්ද නාහිමි:
ඔය කතා කරන අය පමණක් නොවේ අපිත් සංස්කෘතිය ගැන දන්නවා. මේකේ හංගන්න දෙයක් නැහැ. හංගන්න හංගන්න තමයි ප්‍රශ්න. අපේ රටේ කාන්තාවක් බිකිනියක් ඇඳන් ගියොත් කී දෙනෙක් බලනවද?. අනෙකුත් බොහෝ රටවල්වල එවැනි තත්ත්වයක් නැහැ.

මේ රටේ බොහෝමයක් අතවරයට ලක්වන දරුවන් ඊට ගොදුරු වන්නේ අසල්වැසියන්ගෙන්. එහෙමත් නැතිනම් පවුලේ සමීපතමයන් අතින්. අවුරුදු 12-13 වෙද්දී මේ දරුවන්ගේ ශාරීරික වෙනස්කම් ඇති වෙනවා. ඒ අවස්ථාවට මේ සිදුවන්නේ කුමක්ද කියලා ඔවුන් අවබෝධ කරගත යුතුමයි. ඒ නිසා ඒ පිළිබඳ අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. ඒවා හංගන්න දේවල් නෙමෙයි.

7 Book 3ප්‍රශ්නය :
අදහස්, ආකල්ප, දැනුම ලබා ගැනීමේදී අප යම් සංස්කෘතික රාමුවක කොටුවෙලා ඉන්න බවයි මේ කියන්නේ?

අකුරැටියේ නන්ද නාහිමි:
ඔව් හරියටම හරි. මේ සංස්කෘතික කඩතුරාව වැඩක් නැහැ. ඒ මත තමයි කුතුහලය පැන නගින්නේ. සමාජයේ තිබෙන ඔය කුහකකම තමයි වැරැදි. බෞද්ධ විනය පිටකයේ වුණත් මෙවැනි කාරණා ගැන පුළුල්ව සඳහන් වෙලා තිබෙනවා.

ප්‍රශ්නය :
එහෙමනම් බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනයටත් සෞඛ්‍ය අධ්‍යාපනය ලෙස මෙවැනි කාරණා ඇතුළත් වුණොත් නරකද?

අකුරැටියේ නන්ද නාහිමි:
එකඑල්ලේම නැත. එය ඊට අයත් කාර්යභාරයක් නොවේ. අද සිංහල ජාතිය සහ බෞද්ධ ශාසනය ආරක්ෂා කරන්න කියලා භික්ෂූන් වහන්සේලා වැහි වැහලා ඉන්නවා. මේ අය අතර කිසිම වැදගැම්මකට නැති හිස් පුද්ගලයන්ට තමයි මාධ්‍යයේ ලොකු ඉඩක් විවර කරලා තියෙන්නේ. 

මේ තත්ත්වය ඉතාම කනගාටුදායකයි. ඒ නිසා මාධ්‍ය මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි. ස්වාධීන විය යුතුයි. හැම පාර්ශ්වයකටම අදහස් ප්‍රකාශ කරන්න ඉඩ කඩ සලසා දිය යුතුයි. එක කණ්ඩායමක මතය පමණක් වපුරන්න හොඳ නැහැ.

ප්‍රශ්නය :
ඔබ වහන්සේ රුහුණු සරසවියේ කුලපතිවරයා. විශ්වවිද්‍යාල මට්ටමේ සිසුන් නොයෙකුත් ලිංගික අතවරයන්ට ලක්වෙන අවස්ථා තිබෙනවා. එම නිසා 6-7 පන්තිවලින් ආරම්භ කරන මේ ලිංගික අධ්‍යාපන කටයුතු සරසවි මට්ටමේදී පුළුල්ව අධ්‍යයනයට ලක් විය යුතු නොවේද?

අකුරැටියේ නන්ද නාහිමි:
මම 1988 මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ තමයි උසස් අධ්‍යාපනය හැදෑරුවේ. අපි වැඩිහිටි අය හිටපු ඇතැම් කාමරවල ගැහැනු ළමයි සහ පිරිමි ළමයි එකට හිටියා. මෙහෙ එහෙම හිටියොත් ඉතින් දරුවෝ හම්බුවෙයි. ඒත් ඒ රටවල්වල ඉතා හොඳ ශික්ෂණයක් තිබෙනවා. දෙගොල්ලෝ හොඳ අන්‍යෝන්‍ය අවබෝධයෙන් වැඩ කරනවා.

ඉතින් අපේ විශ්වවිද්‍යාලයේ එවැනි හොඳ ශික්ෂණයක් ඇති කරන්න මේ කරුණු කාරණා පුළුල්ව උගන්වන්න ඕන. ඔය හැම කෙනාම, හැම මට්ටමකම අයම ඒ කියන්නේ පූජකයෝ වුණත්, ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයේම 99%යක්ම මේ කාරණාත් එක්ක යම් යම් මට්ටමෙන් බද්ධ වෙලයි ඉන්නේ. 

මේවා හංගන්න කාරණා නොවෙයි. බටහිර රටවල්වල දෙමාපියෝ තමන්ගේ දරුවන්ට නිසි වයසේදී මේ කරුණු කාරණා අවබෝධ කරලා දෙනවා. එතකොට ඒ අය දන්නවා තම තමන්ගේ සීමාවන් මොනවද කියන්න.

නමුත් ලංකාවේ එවැනි සංවාදයන් අවමයි. කතා කරන්නේ නැහැ. සැඟවී තිබෙනවා ඒ නිසාම ප්‍රශ්න ඇති වෙනවා.

ප්‍රශ්නය :
අපි ඉන්නේ සිංහල – බෞද්ධ සංස්කෘතියේ හිරවෙලාද? පේන හැටියටනම් බටහිර මිනිස්සු හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඔවුන් එන්න එන්න දියුණු වෙනවා. ලිංගික කාරණා සම්බන්ධයෙන් වුණත් නිදහස් මතවාද දරනවා?

අකුරැටියේ නන්ද නාහිමි:
ඔව් ඇත්ත. ඔන්න ඔය සංස්කෘතික හිරවීම නිසා තමයි අපේ කුහකකම ඇතිවෙලා තියෙන්නේ. රහසෙන් හොරෙන් වැඩ කරන්න ගියහම පීඩනය වැඩියි. අපි හොරාකන්න පුරුදු වෙලා. දැන් අපේ ස්වාමීන් වහන්සේලා වුණත් අති බහුතරයක් රෑට ආහාර ගන්නවා. ඒත් ඒක කියන්නේ නැහැ.

එහෙම ආහාර ගත්තා කියලා නිවන් මගට කිසිම බාධාවක් නැහැ. අපේ සෑම ශරීරයකටම පැය හතරකට පහකට වරක් ශක්තිය අවශ්‍යයි. දහවල් එකොළහ වන විට දානය වළඳපු ස්වාමීන් හන්සේ පසුදා උදෑසන වෙනකම් නිරාහාරව ඉන්නවා නම් ඒක බරපතළ ගැටලුවක් වෙනවා. එහෙම ඉන්න අවශ්‍ය නැහැ.

ප්‍රශ්නය :
භික්ෂූන් වහන්සේ රාත්‍රී දානය වැළඳීම විනය ශික්ෂාවන්ට මොන තරම් දුරට ගැළපෙනවද?

අකුරැටියේ නන්ද නාහිමි:
නිවනට කිසිම බාධාවක් නැහැ. නිවන කියන්නේ දර්ශනයක්. ඒත් අපේ බොහෝ දෙනා කරන්නේ ආගම පතුරුවන එක. දැන් බලන්න ඔය මාධ්‍යවල උදේ සිට රෑ වෙනකම් මොනතරම් ‘යාදිනි’ තිබෙනවද කියලා. එක නාළිකාවක යනවා ‘අරහං බුදු ගුණෙන් මගේ සඳුගෙ අපල දුරුවේවා’ කියා. එහෙම දුරුවෙන්නේ කොහොමද? ඕවා පට්ට බේගල් යාදිනි.

නිවන කියන්නේ ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගත යුතු දෙයක්. ‘පච්චතං වේදි තබ්බෝ’ කියන්නේ ඒකනේ. එදා නුවර වඩිග රජාට දුන්නු වෑංජන 32 දළදා මාලිගාවට පූජා කළාට නිවන් දකින්න බැහැ.

7 Book 4ප්‍රශ්නය :
ඔබ වහන්සේ කියන විදිහට දස ලක්ෂ ගණන්වල පිච්චමල් පූජා වැඩක් නැද්ද?

අකුරැටියේ නන්ද නාහිමි:
එක මලක් පූජා කළත් එකයි ලක්ෂ ගණන් පූජා කළත් එකයි. අවබෝධය තමයි අවශ්‍ය. දැන් බිස්නස් කාරයො බිහි වෙලා.

ප්‍රශ්නය :
ඒ කියන්නේ ආමිසයට වඩා ප්‍රතිපත්තියට නැඹුරු විය යුතුයි ?

අකුරැටියේ නන්ද නාහිමි: ඔව්. ඔව්. ඒක තමයි ඇත්ත.

ප්‍රශ්නය :
මේ එකට ගැට ගැසුණු මිථ්‍යාදෘෂ්ඨීන් පළවා හැරීමේ හැකියාව තිබෙන්නේත් මහා සංඝරත්නය වෙච්ච ඔබ වහන්සේලාටම තමයි?

අකුරැටියේ නන්ද නාහිමි:
බැහැනේ. මොකද කෙළින් කතා කරපු ගමන් ඔක්කොම කඩු අමෝරා ගන්නවා. ඒ අයට මාධ්‍යයෙන් ඉඩ ලබා දෙනවා. අර බලය. මේ බලය රාවණාලා තමයි අද මාධ්‍යයේ වීරයො කරලා තිබෙන්නේ. ඕවට කතාකරන්න ගියහම අන්තිමේ මරණය තමයි අත්වෙන්න පුළුවන්.

ප්‍රශ්නය :
ඒ කියන්නේ මේ තත්ත්වය වෙනස් කරන්න බැහැ?

අකුරැටියේ නන්ද නාහිමි:
හරිම අමාරුයි. ඒත් මිනිස්සු දන්නවා මේක වැරදි බව. දැන දැන ඒ මගම යනවා. නිවනට කියනවා ‘මෝහක්කය’ කියලා. ඒ කියන්නේ මුළාව නැති කරපු තැන තමයි නිවන. තණ්හාව නැති කරපු තැන නිවන. ඔය බෝධි පූජාව, කඨින පිංකම් නිවනට යන පඩිපෙළේ තිබෙන දේවල් නෙවෙයි. ඒත් මිනිස්සු යොමු වෙන්නේ එවැනි දේටයි. දැන් යන විදිහට ‘‘ඒකං තිරික්කලං දානන්ච දස දහසං තිරික්කලං ලබ්බති’’ තමයි. එක තිරික්කලයක් දුන්නොත් තිරික්කල දහසක් ලැබෙනවා කියලා තමයි උපාසක මහත්තුරුන්ට කියන්න ඕන. එතකොට ඒ අය සතුටු වෙනවා. මේවා මොන විහිළුද?

7 Book 6නුවර යුගයේ ගනින්නාන්සේලා පවුල් පන්සල් තියාගෙන හිටියා. ඒ කාලේ හදාගත්ත ‘කන්ට’ සූත්තර තවමත් අරගෙන යනවා. බලන්න අපේ ‘පිං වාක්‍යය’ ඒක මොනතරම් විකාරයක්ද? මොනවද ඒ කියන්නේ ‘පිං වාක්‍යයේ’ ඇති බෞද්ධකම මොකක්ද?

අර ගණින්නාසේලාගේ කාලේ අඹු දරුවෝ පෝෂණය කරගෙන ඉන්න ගමන් කරපු ලොකුම දේ තමයි බුද්ධ පූජාව තියන එක. ඔය බුද්ධ පූජාවට දෙන එක තමයි ගණින්නාන්සේලා කෑවේ. ඉතින් ඒ අයට කන්න ලබා ගන්නනම් හොඳට බුද්ධ පූජාව තියන්න ඕන.

මේ වැරදි මත අපි තවමත් කර කියාගෙන යනවා.

( තුෂාර උඩවත්ත- lakvahini.lk)

සබැඳි විචාර :
හතේ අපේ පොත' : අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි - අශෝක හඳගම 
අපේ හතේ පොතෙන්' දරුවන් වල් වේද? - මැදගොඩ උන්නාන්සෙට ඇති රුදාව මොකද්ද?
රන්ජන් රෙකෝඩ්ස් :  ''හතේ පොතේ තහනම ගැන කතා අස්සේ කරවටක් ගිලෙන්න ශෘංගාර මුහුදක් '' - චින්තන ධර්මදාස

Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්

ඇඳිරි නීතිය ඉවත් කළ පසු...