leader s

 ලංකාවෙ පළමුවෙන් ම තහනම් කරපු, එහෙමත් නැතිනම් වාරණය කරපු පොත විදියට හුඟ දෙනෙක් සඳහන් කරන්නෙ ටෙනිසන් පෙරේරා ගේ ''දැතිරෝදෙන් උපන් බුදුන්''.

ඒ 1967 අවුරුද්දෙ. නමුත් ඊටත් අවුරදු 18කට කලින් ඒ කියන්නෙ 1949 ශ්‍රී ලංකාවෙ පොතක් තහනම් වෙනවා. ඒ පොත තමයි ටී. එස්. ධර්මබන්දු ලියපු ''විවාහය සහ රති සැපත'' කියන පොත. ඒක තහනම් වෙන්නෙ ලිංගිකත්වය පිළිබද කරුණු අන්තර්ගතයි කියල. හැබැයි ඒ වෙද්දිත් වාත්ස්‍යායන ගෙ කාම සූත්‍රය සිංහල භාෂාවට පරිවර්තනය කරල තිබුණා. කොහොම වුනත් ''විවාහය සහ රති සැපත'' පොත තහනම් කරල එහි කතුවරයාට රුපියල් 20ක දඩයකුත් නියම කරල තියෙනවා.

ඉට පස්සෙ ගුණදාස අමරසේකර ගෙ ''යළි උපන්නෙමි'' කෘතියෙ පිටපත් විශාල ප්‍රමාණයක් ගාල්ල නගර සභා භුමියෙ පුච්චල දානවා. ඒකටත් මුල් වෙන්නෙ සභ්‍ය අසභ්‍ය වාදය.

ඊට පස්සෙ මාර්ටින් වික්‍රමසිංහ ගෙ ''බවතරණය'' නොනිල තහනමකට ලක් වෙනවා. ඒ, බුදුන්ට අපහාස කළා කියන තීරණය නිසා. නමුත් එවකට හිටපු සංස්කෘතික අමාත්‍යවරයා ගේ මැදිහත් වීමෙන් ඒ කෘතිය නිල වාරණයෙන් ඉවත් කෙරෙනවා.

ඊළගට 1950 දශකයේ දි කේ. එම්. සිරිසේන විසින් රචිත ''ගෝර්කි චරිතය'' කෘතිය තහනමට ලක් වෙනවා. ඒ, ඒදා පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සෝවියට් විරෝධී නිසා.

1951 දි යක්කඩුවේ ප්‍රඤාරාම හාමුදුරුවො ලියපු ''වන කතා'' පොත තහනම් වෙනවා. ඒ, එහි අන්තර්ගත වුණ කවියක් නිසා; කවිය මෙහෙමයි...

 “අපායට යන්න ඕනෑනම් උඹට

කරපන් මහ ඇමතිකම එක දවසකට

නැත්නම් පන්සලක දේවාලයක

අධිපතිකම කරපන් තුන් දවසකට”


මෙකෙත් මේ පළමු දෙපදය නිසා තමයි පොත තහනමට ලක් වෙන්නෙ. හැබැයි පුදුමෙ කියන්නෙ යක්කඩුවෙ ප්‍රඥාරාම හාමුදුරුවො මේ කෘතිය ලියන්නෙ පංච තන්ත්‍රය ඇසුරෙන්.

ඊට පස්සෙ මංජුල වෙඩි වර්ධනගෙ ''මේරි නම් වූ මරියා'' සම්පූර්ණයෙන් ම තහනම් කරනවා. ඒකට මූලික වෙන්නෙ පල්ලිය.

මේ කෘතිවලට අමතරව: එරික් ඉලයප්පාරච්චි ගෙ ''සිදුහත් ගේ අග මෙහෙසිය'', ජී. බී. සේනානායක ගෙ පළිගැනSම කෙටිකතා සංග්‍රහයෙ ''අම්මා'' කෙටිකතාව, අමරදාස වීරසිංහ සහ ධර්මසිරි ඒකනායක ලියපු ''මොකද අප්පේ මේකෙ තේරුම'', ගුණදාස අමරසේකර ගෙ ''කරුමක්කාරයෝ'', සිරි ගුනසිංහ ගෙ ''සෙවනැල්ල'' සහ ''මස් ලේ නැති ඇට'', කේ ජයතිලක ගෙ ''අප්‍රසන්න කතාවක්'', විජේසිංහ බෙලිගල්ල ගෙ ''ලෙනාඩ් වුල්‌ෆ් සමග ගමනක්'' යන කෘතිවලට වාරණයක් පැනවෙනවා. නමුත් මේ පොත නිල වශයෙන් තහනම් කරන්නෙ නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ ගෙ කීම අහක දාන්න බැරි නිසා අදාළ ප්‍රකාශකයා සියලු පිටපත් විනාශ කරනවා.

ඊළඟට: ගුණපාල මලලසේකර ගෙ ''ලයි‌ෆ් ඔෆ් බුද්ධා'' (Life of Buddha) ඉංග්‍රිසි කෘතිය, පී. ආර්. පැස්කර්ලි ගෙ ''Shadow in Saffron'' (ෂැඩෝ ඉන් ෂැෆ්රන්) කෘතියත් වාරණය කළ යුතුයි කියන මතයක සංස්කෘතික පොලිසිය හිටිය.

මීටත් වඩා ලස්සන ම වැඩේ තමයි අපි මහා සාහිත්‍යධරයෙක් විදියට සලකපු ඒ. වී. සුරවීර පුංචි බණ්ඩාර සන්නස්ගල ගෙ ''සිංහල සාහිත්‍ය වංශය'' තහනම් කරන්න නියෝග කිරීම.

මේ අතර තව පොතක් තහනමට ලක් වුණා. ඒ තමයි පී. මලල්ගොඩ ලියපු ''නූතන දේවදත්ත'' කියන පොත. පොත නිකුත් වෙන්නෙ 1982 සැප්තැම්බර් 17; සැප්තැම්බර් 24වෙනි ද වෙද්දි අලෙවියට තිබුණු පොත් සහ අනෙක් පොත් සියල්ල අත්අඩංගුවට ගන්නවා.

මේ ලංකාවෙ සාහිත්‍ය කෘති වාරණයේ සංසක්ෂිප්තයක්.

දැන් අපි අපේ මුඛ්‍ය කාරණාවට එමු. ඒ තමයි දීප චෙල්වන් නමැති ලේඛකයා ගේ පොත් හතරක පිටපත් 360ක් රේගුවෙ රඳවාගෙන පසුව ඉන් දෙකක් මුදාහරිනවා. තව දෙකක් රඳවා ගන්නවා. රඳවා ගත්තු දෙක මුදාහරින්න බැහැ කියල සංස්කෘතික අමාත්‍යංශයෙන් කියන බව තමයි රේගුව කියන්නෙ.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව අද වෙන්වන්නේ මෙන්න මේ ''වාරණය'' නමැති මාතෘව වෙනුවෙන්. ඒ සම්බන්ධයෙන් අපි සමග සාකච්චාවට එකතු වන්නේ: කවියකු, කෙටිකතාකරුවකු, සාහිත්‍ය කලා විචාරකයකු ද වන කේ. කේ. සමන්කුමාර ය.

මතු පළ වන්නේ The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කේ. කේ. සමන් කුමාර කළ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්