‘‘අග මුල දැනගන්න...! බලාගෙන හිටපං... දැං අගයි මුලයි දෙකම පාදගන්න නැන්ද ඒවි. පිං සිද්ද වෙයි... නැන්ද මගෙන් අහන ප්‍රශ්නවලට උත්තර හදාගන්න

ඉඩ දෙනව ද... නැත්නං විත්තිකාරයො පැත්තක ඉද්දි අහක ඉන්න මටයි හිරේ ලගින්න වෙන්නෙ. මේහ්... දැන් නං ඒ මොනවත් ම කියන්න බෑ... මට දැං ඕන ඉක්මනට ම මෙහෙන් යන්න...’’

 

දුලීකාගේ මුවෙන් විසි කළ එම වදන්වල හඬ මන්දස්වරයක් ඉසිලුව ද ඇගේ උවන පුරා සිතුවම් වී තිබුණේ කාලි මෑණියගේ සිතුවම ය. මේ මොහොතේ ඇගේ උවනේ ශ්‍රී දේවියගේ රුව සිතුවම් කරන්නට මා කෙතරම් යත්න දැරුව ද එය ඉතා අසීරු විය. එම අසීරුතාව කෙතරම් ද යත් වැව් බැම්මක් සිදුරු වූ ස්ථානයකින් ගලා යන දිය දහර අත්ලෙන් වසා නවතාලීමට යත්න දරනවා හා සම විය.

297592 original 1024x768

 

යම් තරමකට හෝ ඇය අස්වසාලිය හැකිවන්නේ මා කාමරයෙන් පිටවුවහොත් පමණක් බව වටහාගත් මා ඇගේ සිත නොරිදෙන ලෙස ‘‘හරි හරි දුලී... ඕකට ඔච්චරට ම තද වෙන්න ඕනෙ නෑ... හිටහං... මං ගිහිං අම්මව ටිකක් ෂේප් කරන්නං. උඹ එතකං ටිකක් කල්පනා කරපං,’’ යැයි පවසා ඇගේ දෙකොපුල් දෙපසට මගේ දෑත්ල තබා ඇගේ උවන මගේ උවන දෙසට සම්මුඛ කරගත්තෙමි. ඒ නිමේෂයේ දී එතෙක් ඇගේ මුහුණේ සිතුවම්ව තිබූ කාලි මෑණියගේ සිතුවම කෙමෙන් කෙමෙන් අතුරුදන්ව ඇගේ ම උවන දිස් විය. අවස්ථාව ලද සැණින් මම හැකි ඉක්මනින් ම කාමරයේ දොර වසාගෙන ම පිටවුණෙමි.

 

******

මා මුළුතැන් ගෙය දෙසට යන විට කමල නැන්දා සිටියේ දිවා ආහාරය පිළියෙල කරමිනි.

‘‘ආ... බේබි... ඇයි මේ...? මට කතා කරානං මං එනවනෙ...’’

කමල නැන්දා සුපුරුදු සිනාව මවෙත පාමින් පැවසුවා ය.

‘‘කෝ නැන්දෙ අම්ම...’’

‘‘ආ... මැඩම් බාත්රූම් එකේ... මං මේ තුන්දෙනාට ම එකට ම තේ හදන්න කියලයි හැදුවෙ. බේබිටයි අර මිස්ටයි තේ හදල දෙන්න ද...?’’

ඇය නිරතව සිටි කාර්යයෙන් මඳක් ඉවත්ව දෑත් සෝදමින් ම විමසුවා ය.

‘‘නෑ නෑ නැන්දෙ... හදිසියක් නෑ... අම්මත් ආවම හදමු. දුලීට කෝල් එකක් ආව. ඉතිං මං එතන ඉන්න එක හරි නෑනෙ නැන්දෙ... එයා එළියට යන්න හැදුව. මං ඊට කලින් එළියට ආව.’’

මා අමූලික මුසාවාදයක් පැවසුවේ දුලීට යමක් සිතන්නට කාලය ලබා දීමට වුවමනා බැවිනි. එසේ නොවුණ හොත් ඇය අම්මා ඉදිරියේ අන්ත අසරණ වන බව මට හොඳින් ම පැහැදිලි ය. මා මුළුතැන් ගෙයි ඔබ මොබ ඇවිදිමින් තාවර වන අතර අම්මා ද පැමිණියා ය.

4540127 HSC00001 7

‘‘ආ... මේ මොකෝ දුව මෙතන...? අර ළමය විතරයිනෙ කාමරේ...’’

අම්මා විමසුවේ මා බරපතළ වරදක් කර ඇති ලෙසිනි. දැන් දුලී ද බේරා කමල නැන්දා ද බේරාගත යුතු ය.

‘‘නෑ අම්ම... මං මේ නැන්දට කියල තේ හදවගන්නයි ආවෙ. නැන්ද කිව්ව අම්ම බාත්රූම් කියල. ඒ නිසා මං නැන්දට කිව්ව එහෙනං අම්ම ආවට පස්සෙ ම හදමු කියල.’’

එසැණින් මා කමල නැන්දා දෙස අවධානය යොමු කළේ ඇගේ ප්‍රතිචාර කෙබඳු දැයි දැන දැන ම ය. ඇය ඍජුව ම මගේ උවන දෙස බලා, ඇසක් ඉඟි මරා ‘‘ඔවු මැඩම්... මං බේබිට තේ හදල දෙන්නයි හැදුවෙ. එක සැරේම හදමු කියල බේබි කියපු නිසා...’’

කමල නැන්දාට ඇගේ අදහස පවසා නිම කරන්නට නොහැකි වූවා ය.

‘‘හරි හරි... කමල ඔයාගෙ වැඩේ කරන්නකො. මං තුන් දෙනාට ම තේ හදන්නං... දුව යන්න කාමරේට. නැත්නං අර දරුව වෙන මොනව හරි හිතන්න පුළුවං.’’

ඉබ්බා දියට දැමූවිට ඇන්නෑවේ යැයි කිවා සේ මම කඩිනමින් ම මුළුතැන් ගෙයින් පිටව කාමරයට පැමිණියා ය. ඒ, අප පසු කර ගොස් තිබෙන කාලය දුලීට මුසාවක් ගොතා ගන්නට හොඳට ම ප්‍රමාණවත් බව මා දන්නා බැවිනි.

ගතවූයේ මිනිත්තු පහක් පමණ ය.

‘‘බේබී බේබී... තේ ලැස්තියි. ඔය මිසුත් එක්ක එන්න කියල මැඩම් කිව්ව...’’

කාමරයේ දොර විනිවිද ඇසුණේ කමල නැන්දාගේ කටහඬ ය. නමුදු ඒ අපි දෙදෙනා ම බලාපොරොත්තු වූ සිදුවීමක් නොවේ.

‘‘හම්මේ... ඇති යාංතං... දැනුයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ.’’

දුලී පැවසුවේ දිගු වේලාවක් ඉහළට ඇදගත් හුස්ම එබඳුම වේලාවක් ගෙන පහළ හෙළන අතර ය. ඇය එසේ පැවසුවේ ඇයි ද යන්න පිළිබඳ මට අවබෝධයක් නොවිණ.

‘‘ඇයි ඒ...! මට තේරුන්නෑ...’’

මම ඍජුව ම ඒ පිළිබඳ දුලීගෙන් විමසුවෙමි.

‘‘අනේ ගල් ඉබ්බියෙ... තොට ඕකවත් තේරෙන් නැද්ද...? මං හිතාගෙන හිටියෙ නැන්ද මේ කාමරේට කඩා වැදිල, සමහර විට උඹත් එළියට පිටත් කරල මාව කොටු කරගනියි කියල.’’

ඇගේ වාග් විලාශය රව පරළු වුව ද උවනතේ සිතුවම් වී තිබුණේ පිච්ච මල් සිනහවකි. එම දැකුම මගේ විශ්මය දෙගුණ තෙගුණ කරන්නට සමත් විය.

‘‘ඇත්තට ම දුලී මට තේරෙන් නෑ... උඹ හිතන්නෙ අපේ අම්ම උඹෙං මොනවත් අහන එකක් නෑ කියල ද...?’’

 

පෙරළා පිළිවදන් නොසැපයූ දුලී මගේ දෙනෙත් සමග ඇගේ දෙනෙත් පටලාගනිමින් මොහොතක් ගතකළා ය. අනතුරුව එකිනෙකා සමග වෙළී සිටි සර්ප යුවළක් යළි වෙන්වන සේ මගේ දෙනෙත් සමග පටලවාගෙන සිටි ඇගේ දෙනෙත් ඉවතට ගෙන, ඇගේ දකුණතින් මගේ වමත අල්ලාගත්තා ය.

 

‘‘වරෙංකො යන්න... දැං නොතේරෙන දේ තේ බොද්දි උඹට තේරේවි. ඉතිං වරෙං යන්න.’’

 

ac28b34d5f69efbc08b87f3136a9eaf9 old paintings beautiful paintingsදෙවන වතාවට ද එසේ පැවසූ දුලීකා මුවගින් මන්දස්මිතයක් නගා මගේ අතින් ඇදගෙන ම කාමරයෙන් පිටවූවා ය. අපි දෙදෙනා තේ මේසය අසලට පැමිණෙන විට අම්මා ද අපි බලාපොරොත්තුවෙන් මෙන් තේ මේසයට මුහුණලා අසුන් ගෙන සිටියා ය. කාමරය අසල සිට තේ මේසය දක්වා වූ දුර ප්‍රමාණය ඉතා සැහැල්ලුවෙන් ගමන් කළ දුලී එක් වරම මඳක් තිගැස්සී අම්මා දෙස බලා සිටියා ය. අම්මා එය වටහා ගත්ත ද කිසිවක් ම නොදුටු, නොදැනුණු කෙනෙකු සේ අප දෙදෙනා දෙස බලා උවන පුරා ප්‍රහර්ෂණීය සිනහවක් සිතුවම් කරගත්තා ය.

‘‘ආ... එන්න එන්න දෙන්න ම... දුලී දුවට කවි කියවල මහන්සිත් ඇති නෙ... තව ටිකකින් බත් කන්න පුළුවන් නෙ... එතකං බිස්කටුයි කෙසෙල් ගෙඩියි කාල තේ බොමු.’’

අහිංසනාට තම මවගේ හැසිරීම උභතෝකෝටිකයක් බඳු ය. දුලීකා ඒ කිසිවක් ම මායිම් නොකරමින් ම මේසය තුළට රිංගවා තිබූ අසුනක් පිටතට ගෙන එහි අසුන් ගත්තා ය; අහිංසනා ද ඒ පිළිවෙත ම අනුමගමනය කළා ය.

‘‘ලන්ච්වලට නම් ඉන්න බෑ නැන්දෙ... මං මේ ක්ලාස් ආපු ගමන් ආවෙ.’’

දුලී පැවසුවේ එක් අතකින් විස්කෝතු දෙකක් ගෙන අනෙක් අතින් කෙසෙල් ගෙඩියක් කඩා ගන්නා අතර ය.

‘‘අයියෝ දරුවො... ඒක මොකක්ද... ඇයි ඔයා මෙහේ එනව කියල ගෙදරට කිව්වෙ නැද්ද...?’’

 

අම්මා දුලීගේ හිස අතගාන අතර ම ඇයට නොරිදෙන තරමේ ටොක්කක් ඇගේ හිස මත පතිත කළා ය. ඒ අපේ අම්මාගේ විධිය යි. ඇය: විමසන, පවසන සෑම වදනක් පිටුපස ම: නොවිමසන, නොපවසන වදන් දහස් ගණනක් ගැබ්ව පවතී. හදවත බියෙන් සලිත වන්නේ ද ඒ සැඟවුණ වදන් තෝරා බේරාගන්නේ කෙසේ ද යන්න සිතාගැනීමට අපහසු බැවිනි.  

 

''ඇත්තට ම නැන්දෙ මං මෙහේ එන වගක් ගෙදරට කිව්වෙ නෑ... මොකද...''

''හරි හරි... මට තේරෙනව. එහෙම වුනොත් අම්ම අහන සීයක් ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙනව. එහෙම නේද...?''

කමල නැන්දා සේ ම දුලීකා ද ඇගේ අදහස පවසා අවසන් වන්නට පෙර ම අම්මා ඉතිරි කොටස සම්පූර්ණ කළා ය.

''හරි... අපි මෙහෙම කරමු...''

දිගු කාරණයක් පවසන්නට මෙන් සුදානම් වූ අම්මා පැවසුවා ය.

''මොකද්ද නැන්දෙ...?''

දුලී එසේ විමසුවා නොව ඇය ද නොදැනුවත්ව ම ඇගේ මුවෙන් එම වදන් කිහිපය ගිලිහිණ. දැන් එම වදන් ආපසු ඇදගත නොහැකි ය. ඇය ද මම ද තවමත් වික්ෂිප්ත ය.

''මං අම්මට කෝල් ඒකක් දීල කියන්නං මට ඔයා මගදි හම්බවුණා; මං ඔයාව ඒක්කරගෙන ආව කියල. එහෙම හොඳයි නෙ... එතකොට ප්‍රශ්නයක් නැහැ නෙ...?''

අම්මා මේ සැරසෙන්නේ කුමක් කරන්න දැයි අපි දෙදෙනාට ම සිතාගත නොහැකි ය. මා දන්නා තරමින් දුලී අපේ අම්මාගේ කීමකට පිටු නොපාන්නී ය. දැන් ඇය 'හා එහෙමනං කමක් නෑ නැන්දෙ' යැයි පවසන බව මට හොඳට ම විශ්වාස ය. එහෙත් ගැටලුව වන්නේ එය නොව එළඹෙන ඊළඟ මොහොතට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න ය.

''නැන්ද මාව බේරගන්නවනං කමක් නෑ නැන්දෙ... හැබැයි ඉතිං...''

''හරි හරි... ඒ්කට කමක් නෑ... මං ඔයාගෙ අම්මට බොරුවක් කියන්නෙ... ඔයා වෙනුවෙන් වගේ ම ඔයාගෙ යාළුවයි මගේ දෝණියි වෙනුවෙන් නෙ... අපි තුන්දෙනා විතරක් මේක දැනගත්තම හොඳටම ඇති ආ...''

දුලීට පවසන්නට කිසිවක් ම ඉතිරි වී නොමැත. අම්මා ඇගේ සියලු ශක්ති දුලී මත පටවා ඇය සිය ග්‍රහණයට ගෙන හමාර ය.

''හරි හරි නැන්දෙ... නැන්ද පුදුම විදියට මාව කියවනව නෙ... කොහොමද හැම වෙලාවෙම මං මොකක් හරි කියන්න හදද්දි නැන්ද මැදට පැනල ඒ්කෙ ඉතුරු ටික කියන්නෙ...?''

ඇය ඒසේ විමසුවේ සැබැවින් ම මගේ අම්මාගෙන් හෙවත් ඇගේ හොඳ ම යෙහෙළියගේ අම්මාගෙන් මිස තවත් පාසලක විදුහල්පතිවරියකගෙන් නොවන බව අපි තිදෙනාම හොඳින් අවබෝධ කර ගත්තෙමු.

''දරුවෝ... මේක හොඳට මතක තියාගන්න. මං විදුහල්පතිවරියක්... අනික මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල. ඉතිං ඔයාල මොකක් හරි කියන්න හදද්දි ම මං දන්නව මොකද්ද කියන්න හදන්නෙ කියල. ඒ්ක මේ මහා විස්මකර්ම වැඩක් නෙවෙයි. අත් දැකීමෙන් ලැබුණු පළපුරුද්ද... තේරුණා ද...?'' යැයි පැවසූ අම්මා තේ මේසයෙන් නැගිට ඇගේ කාමරය දෙසට පිය නැගුවා ය. ඒ් අන් කිසිවක් සඳහා නොව දුලීකාගේ අම්මාට දුරකතන ඇමතුමක් ලබා දීමට බව පැහැදිලි ය. එය නවතාලීම මට හෝ දුලීකාට කළ නොහැකි ය. දුලීකා සහ මම එළඹෙන ඔ්නෑම තත්ත්වයකට මුහුණ දීමේ සූදානමෙන් පසුවුණෙමු.

''මේහ්... නැන්ද මොකද්ද බං කරන්න හදන්නෙ...? මට නං බයේ බෑ... මාව නවත්තගත්තෙ හොඳකට නං නෙවෙයි...''

මුළුතැන් ගෙයි සිටින කමල නැන්දාට නොඇසෙන සේ දුලීකා පැවසුවේ මගේ දකුණු සවන ඇගේ මුවෙන් ස්පර්ශ කරමිනි.

''අනේ මං දන්නෑ බං... අම්මට මොනව හරි ගැන ඉව වැටිල ද...?''

මා ද රහස් හඬින් දුලීකාගෙන් විමසුවේ අම්මා කොයි මොහොතේ අප අසලට පැමිණේ ද යන්න පිළිබඳ විමසිලිමත්වන අතර ය. එය තහවුරු කරමින් ම අම්මා අප සිටි දෙසට එන ආකාරය මම දුටිමි. එසැණින් මම දුලීකාට ඇඟිල්ලකින් ඇන්නෙමි. එය ඉඟියක් බව වටහාගත් ඇය වහා මා අසලින් මඳක් දුරස් වූවා ය.

 

දැන් මගේ හදවත මෙන් ම දුලීකාගේ හදවත ද වේගයෙන් සැලෙන බව මට විශ්වාස ය. නමුදු ඇය ඒ කිසිදු වෙනසක් අම්මාට නොපෙන්වන්නට වග බලාගන්නා බව ද මට විශ්වාස ය. ඒසේ වුව ද මට මා පිළිබඳ කිසිදු විශ්වාසයක් නොපවතී. එනම් මගේ උවනතේ ඇඳි විකාර රූපී සිතුවම් කියවා ගැනීම අම්මාට එතරම් අපහසු නොවන බව මම හොඳින් ම දනිමි.

 

''හරි ද... දෙන්න ම තේ බිල ඉවර ද...?''

තේ මේසය ආසන්නයට පැමිණෙන අතර ම අම්මා විමසුවේ ඉතාමත් සැහැල්ලුවෙනි. ඇගේ පැනයට පිළිවදන් සැපවූයේ දුලීකා ය.

''ඔවු නැන්දෙ... අපි දෙන්න නං බීල ඉවරයි...''

දුලීකා එසේ  පිළිවදන් දුන් පසු ඇගේ සිත තුළ ''දැන් අපි මොකද කරන්නෙ...?'' යන වදන් පෙළ තැන්පත් වී ඇති බව මට දැනිණ. එපමණක් නොව මගේ සිත ද දැන් දැන් ව්‍යාකුල ය.

''හරි දුව... ඔන්න මං අම්මට කොල් කරා... අම්ම කිව්ව ඔයාට ඇති තරං වෙලාවක් මෙහේ ඉඳල එන්න කියල. හැබැයි මං එයාට බොරුවක් කිව්ව කියල නං එයා දන්නෙ නෑ,'' යැයි පැවසු අම්මා මුවගින් මන්දස්මිතයක් පා ''හරි... එහෙනං... දැන් ඔය දෙන්න ගිහිං ඔයාලගෙ වැඩක් කරගන්න. මටත් මේ කුලඟන සමිතියෙ වැඩ වගයක් තියෙනව.'' යැයි පවසන අතර ම ඇගේ කෝප්පයට තේ වත්කරගෙන, එය ද රැගෙන ඇගේ කාමරය වෙත ඇදුණා ය.

අපි දෙදෙනා ම එකිනෙකාගේ උවන දෙස බලාගත්තේ දැඩි වික්ෂිප්තභාවයකිනි. දුලීකාගේ දෙනෙත්වල ලියැවී තිබුණේ ''මොකද්ද බං ඒ් උණේ...?'' යනුවෙනි. මගේ දෙනෙත්වල ද එම වදන් ඒ ආකාරයෙන් ම ලියවී ඇති බව දුලීකා හඳුනාගන්නට ඇති බව මට සක්සුදක් සේ පැහැදිලි විය.

ඉවර නෑ...

 

Trans+National New Left MagazineOpiuma Left'හිතුවක්කාර වරා මල' දැන් පාඨක ඔබ  අබියස- ජයසිරි අලවත්තජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/04/26

 

වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්

 

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...


 

Leader Whats app

 

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා