කඩිනමින් ම අත්බෑගයට අත යවූ සචේතනී ඉන් පිටතට ගත් කුඩා පණාවකින් හිසකේ පිටුපසට පීරා ‘‘දැන් හරිද...?’’ යැයි විමසුවේ කුඩා දැරියක මෙනි.



ප්‍රතිෂ්ඨ ද ‘‘හරි හරි... දැන් හරි...’’ යැයි පැවසුවේ මන්දස්මිතයකින් මුව සරසාගෙන ය.


ඒ වන විට බස් රථය අවසන් නැවතුම්පොළ කරා පැමිණ තිබිණ.


බස් රථයෙන් බැසගත් දෙපළ පළමුව කළේ නගරයේ පිහිටි ආපණ ශාලාවකට ගොස් උදෑසන ආහාර ගැනීම ය. මේ දෙපළ දෙස පිටතින් සිට බලන කිසිවෙකුට ඔවුන් අතර මේ වන විට පවත්නා සබඳතාව පිළිබඳ නිවැරැදි අවබෝධයකට එළඹිය නොහැකි ය. මන්ද ඔවුන්ගේ හැසිරීම විවාහක යුවළකගේ හැසිරීමට සමපාත වන බැවිනි.


tumblr nxy1epmHJk1qcqh3go1 640ඔවුන් පිවිසි ආපණ ශාලාව නිමි ආහාර පමණක් නොව: කේක්, බිස්කට්, කිරිපිටි වර්ග, චොක්ලට් වර්ග සහ රසකැවිලි වර්ග ද අලෙවි කරන අලෙවි හලකි. ඒ සඳහා වෙන්ව තිබුණේ ආපණ ශාලාවට ඇතුළුවන විට ම වම්පසට වන්නට වෙනම නිම කර තිබූ කොටසකි. එහෙත් ඔවුන් ආපණ ශාලාවට ඇතුළු වන මොහොතේ එම කොටස පිළිබඳ අවධානයක් යොමු නොවිණ. එම කොටස ප්‍රතිෂ්ඨගේ නෙත ගැටුණේ ආපණ ශාලාවෙන් පිට වන මොහොතේ ය. එහෙත් සචේතනීට නම් ඒ පිළිබඳ අවධානයක් යොමු නොවිණ. දෙදෙනාම ආපණ ශාලාවෙන් පිටතට පැමිණෙන්නට සැරසෙත් ම ප්‍රතිෂ්ඨට යමක් සිහිපත් විය.


‘‘සචේති... අපි පන්සලට ගෙනියන මොනවහරි දේකුත් මෙතනින් ම ගමු ද...?’’ යැයි විමසුවේ එම සිතුවිල්ල ක්ෂණිකව සිතට නැගුණ බැවිනි.


‘‘ආ... කමක් නෑ ප්‍රතිෂ්ඨ... මොනවද ගෙනියන්න හොඳ...?’’


සචේතනී ද පෙරළා විමසුවේ කිසිදු විරුද්ධත්වයක් නොදක්වමිනි.


‘‘ම්ම්ම්... මං කියන්න ද... අපි අදට... සීනියි, පිටියි, තේකොළයි, කෝපියි ගමු. අද වැඩේ සාර්ථක උනොත් ඊට පස්සෙ බලමු වටින මොනව හරි දෙන්න,’’ යැයි ප්‍රතිෂ්ඨ යෝජනා කළේ ය.


එම භාණ්ඩ සියල්ල මිල දී ගත්පසු ප්‍රතිෂ්ඨ එහි සිටි සේවකයෙකුට යමක් පැවසී ය. එය ඇසූ සේවකයා එම ද්‍රව්‍ය සියල්ල කුඩා කාඩ්බෝඩ් පෙට්ටියකට අසුරා, පළමුව පත්තර කඩදාසියකින් ද, දෙවනුව ‘බ්‍රවුන් පේපර්’ කඩදාසියකින් ද දවටා ත්‍යාග පාර්සලයක් ලෙස සකසා  දුණි.


‘‘මල්ලි... අපිට අන්න අර බෑග් එකකුත් දෙන්න’’ යැයි ප්‍රතිෂ්ඨ ඉල්ලා සිටියේ අලෙවියට තබා තිබූ රෙදිවලින් නිම කළ බෑග් තොගය දෙස අත දිගු කරමිනි.


සේවකයා අදාළ බැගයක් ද ගෙන පෙර සැකසූ කුඩා පෙට්ටිය ඉතා සීරුවෙන් බෑගය තුළට බහා ‘‘ඒක නං හොඳයි මහත්තයො... හුඟක් කට්ටිය මෙහෙම කරන්නෑ මහත්තයො ‘ෂොපිං බෑග්’මයි ඉල්ලන්නෙ,’’ යැයි පැවසුවේ මුව පුරා ස්තුති පූර්වක ස්මිතයක් නගමිනි.


ප්‍රතිෂ්ඨ මුදල් ගෙවීමට සූදානම් වුව ද වහා ම ඔහු වැළකූ සචේතනී අදාළ මුදල ගෙව්වා ය. අනතුරව ආපණ ශාලාවෙන් පිටතට පැමිණි වහාම ඇය මෙසේ විමසුවා ය.


‘‘ඇයි ප්‍රතිෂ්ඨ ඔයා මේ පාර්සලේ මේ ජාතියෙ බෑග් එකක දාගත්තෙ...?’’


‘‘ඒකත් එක්තරා විදියක මානසික අල්ලසක්,’’ යැයි හෙතෙම පැවසුවේ මුවගින් මන්දස්මිතයක් පාන අතර ය.


‘‘මට තේරෙන්නෑ...’’


දෙවුර ගස්සා, හිස ද මඳක් එක් පසෙකට ඇල කළ සචේතනී විමසුවා ය.


‘‘මෙහෙමයි... අපි පන්සල්වලට යද්දි හාමුදුරුවන්ට ඒත්තු ගන්නන් ඕන අපි ඉතාම හොඳ මිනිස්සු කියල. ෂොපිං බෑග්වල ගෙනිච්චම එයාල හිතන්නෙ අපි පරිසර දූෂකයො කියල. මෙහෙම බෑග් එකක දාගෙන ගියාම හිතන්නෙ අපි පරිසරේට ආදරේ කරන මිනිස්සු කියල.’’


2860316 HSC00001 6ඇවිද යන අතර ම ප්‍රතිෂ්ඨගේ උවන දෙස අවධානය යොමු කළ සචේතනී ‘‘ඒ කියන්නෙ ඔයා ඇත්ත ජීවිතේ දි පරිසරේට ආදරේ නෑ...?’’ යනුවෙන් විමසුවේ සරදම් ස්මිතයකින් උවන සරසාගෙන ය.


‘‘නෑ... ඇත්තට ම සචේති මමත් ෂොපිං බෑග් පාවිච්චි කරන්නෙ හුඟක් ම අඩුවෙන්...’’


ඔහුගේ පිළිතුර අනිවාර්යයෙන් සංවාදයක ඇරඹුමක් බව වටහාගත් සචේතනී කතාව වෙනතකට යොමු කළා ය.


‘‘දැන් අපි මෙතන ඉඳං කොහොමද යන්නෙ...?’’ යැයි ඇය විමසුවා ය.


‘‘මෙතන ඉඳං ද...? මෙතන ඉඳං පිටිගල බස්සෙකේ ගිහිං පන්සලට යන පාර ගාව බහින්න ඕන.’’


ඔහු පැවසුවේ මීට පෙර එම විහාරස්ථානයට ගොස් ඇති පුද්ගලයෙකු ලෙසිනි.


‘‘ඒ කියන්නෙ... මෙහේ ඉඳං තව හුඟක් දුර යන්න තියෙනව ද...?’’


ඇය විමසුවේ තරමක් කුතුහලයෙන් මෙනි.


‘‘මෙහෙමයි... කිලෝ මිටර් තුන හතරක් නං අපිට ත්‍රීවිලර් එකක හරි යන්න තිබුණ. හැබැයි මට හිතෙන්නෙ අඩුම කිලෝ මීටර් දහයකට වැඩියි. මොකද මෙහේ ඉඳල පිටිගලට කිලෝ මීටර් 17ක් විතර තියෙනව.’’


ප්‍රවිෂ්ඨගේ පිළිතුරත් සමග ඇය තව තවත් විමතියට පත්වූවා ය.


‘‘ඔයා කොහොමද අනේ ඔච්චර විස්තර දන්නෙ... ඔයා මීට කලිං මෙහේ ඇවිත් තියෙනව ද...’’ යැයි විමසුවේ  සැබැවින් ම ප්‍රතිෂ්ඨ මීට පෙර එම විහාරස්ථානයට ගොස් ඇතැයි යන සැකයෙනි.


මුව පුරා සමච්චල් ස්මිතයක් සිතුවම් කරගත් ප්‍රතිෂ්ඨ ‘‘අනේ මෝඩියෙ... මං මෙහේ ඇවිත් නෑ.’’ යැයි පවසා ඉදිරියට ම ගමන් කළේ ය; ඔහු පසුපස වැටුණ ඇය ද ඉදිරියට ගමන් කළා ය. එහෙත් ඇගේ සිත තුළ තෙරපෙන කුහුල නම් මග නොහැරිණ.


‘‘එහෙනං ඔයා කොහොමද ඔය කිලෝමීටර ගණං හරියට ම කියන්නෙ...? යැයි විමසුවේ ප්‍රතිෂ්ඨගේ උවන වෙත ඇගේ අඩවන් දෙනෙත් යොමු කරමිනි.


‘‘අයියෝ...! මෝඩියෙ... මං කලිං මේ පැත්තෙ ඇවිත් නෑ... ඒ උනාට දැන් ඉන්ටනෙට් එකේ ගූගල් මැප් ගහල සර්ච් කරාම මෙහෙම තැන් විතරක් නෙවෙයි සාමාන්‍ය තැනක් උනත් හොයන එක ඊසි නෙ... ’’ යැයි ප්‍රතිෂ්ඨ පැවසුවේ සරදම් ස්මිතයකින් උවන සිතුවම් කරගනිමිනි.


‘‘ආ... එන්නෙපා මෝඩි කියන්න හරිද... මට ඒක නිචිචියක් නැති උණා අනේ...’’ යැයි සචේතනී පැවසුවේ ප්‍රවිෂ්ඨගේ දකුණතට ඇගේ දකුණතින් සුරතල් පහරක් ද එල්ල කරන අතර ය.

*         *          *          *          *          *          *          *          *

buddhist temple painting for sale 1024x512



දෙදෙනා බස් රථ ගාලට පැමිණ, අදාළ බස් පෝලිමට ගොස් මිනිත්තු දහයක් පමණ ගෙවී යාමෙන් ඉක්බිති ‘ඇල්පිටිය - පිටිගල’ බස් රථයක් එතැනට ළඟා විය. බස් රථය එතැනින් පිටත් වූයේ තවත් මිනිත්තු පහළොවක් පමණ ගෙවී යාමෙන් ඉක්බිති ය.


‘‘මල්ලි... මේ... අර දක්ෂිණාරාමය කියන පන්සල ගාව අපි බස්සන්න,’’ යැයි ප්‍රවේශ පත් ගන්නා අවස්ථාවේ ප්‍රතිෂ්ඨ කොන්දොස්තර වෙත පැවසු විට ඔහු ‘‘ආ... මැටිවිලිය හන්දියෙන් බහින්න මහත්තය. එතනින් වීල් එකක් ගත්තම හරි. මං එතෙන්දි කියන්නං,’’ යැයි පැවසු හෙතෙම කඩිනමින් ම ඊළඟ මගියා වෙත අත දිගු කළේ ‘‘ඔය ඊලන්ග සල්ලි ගන්න... ඊලන්ග සල්ලි ගන්න...’’ යැයි තරමක් හඩින් පවසමිනි.


‘‘මෙහ්... ඒක නෙවෙයි... ඔයා කොහොම ද මේ පන්සලේ නම්බර් එක හොයාගත්තෙ. මං එදා ඒක ඇහුව වෙලාවෙත් මොකද්ද එකක් කියල මගඇරිය... ඇත්තට ම කොහොම ද හරියට ම මේ පන්සලේ නොම්මරේ හොයාගත්තෙ...’’


බස් රථය පිටත් වී මිනිත්තු පහක් හෝ හයක් ඉක්ම ගිය මොහොතේ සචේතනී විමසුවේ කලක සිට දැන ගන්නට කැමැත්තෙන් සිටි රහස්‍ය යමක් පිළිබඳ විමසන ලෙසිනි.


‘‘ආ... මේ මොකද මේ හදිස්සියෙ ම ඒක මතක් උණේ...?’’


ප්‍රතිෂ්ඨ ද පිළිතුරු දෙනවා වෙනුවට පෙරළා ප්‍රශ්නයක් ම නැගී ය.


‘‘ මේ වෙලාවෙ මතක් උණේ මට ඒක අමතක වෙලා තිබ්බ හිංද... දැන් තමයි ආයෙ මතක් උණේ... දැං ඉතිං මගෙං ප්‍රශ්න අහං නැතුව මං අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නකො...’’ යැයි සචේතනී පැවසුවේ ඉමහත් බලාපොරොත්තු සහිත ඉරියව්වකින් උවන සිතුවම් කරගනිමිනි.


482f07fb2871d659efd13c840cf071d3‘‘ආ... ඒක මහ ලොකු දෙයක් නෙවෙයි සචේති. මේ... මගේ ළඟ තියෙනව ‘රෝහණ පුද බිම් තොරතුරු’ කියල පොතක්. ඒකෙ, ඒ පොත මුද්‍රණය කරන කාලෙ වෙද්දි දකුණු පළාතෙ තිබිච්ච හැම පන්සලක ම විස්තර තියෙනව. ෆෝන් තියෙන පන්සල්වල ෆෝන් අංකත් දාල තියෙනව. ඉතිං මේ... ඔයාට මතකද එදා ඔයයි මායි ජාතික පුස්තකාලෙට ගිහිං ඔයාට ඕනෙ පොත ලියපු හාමුදුරුවන්ගෙ පොත් ගැන හෙව්ව...?’’


‘‘මට මොකද අනේ ඒක මතක නැත්තෙ...?’’ යැයි සචේතනි විමසුවේ ඇයට සියල්ල මතක බවට ද ඉඟි කරමිනි.


‘‘අන්න එදා මං මේ පන්සලේ එඩ්‍රස් එක ලියාගත්ත. ඊට පස්සෙ ඔය මං දැං කියපු පොත අරගෙන චෙක් කරා. එහෙම චෙක් කරද්දි තමයි නම්බර් එක හම්බ උණේ. හබැයි මට ෂුවර් එකක් තිබුණෙ නෑ අංකයක් තියෙයි ද කියල... ඒ වගේ ම ඒ අංකෙ වැඩ කරයි ද කියල. කොහොම උනත් ඔයාගෙ වෙලාවට අංකයක් තිබුණ වගේ ම ඒ අංකෙ වැඩත් කරා.’’


ප්‍රතිෂ්ඨ සියල්ල පැහැදිලි කළේ ය.


‘‘ඇත්තට ම ඔයා නං හොඳ ලියන රස්සාවට නෙවෙයි සී අයි ඩී රස්සාවට,’’ යැයි ඇය පැවසුවේ ස්වේත වර්ණ දසන් දක්වා සිනාසෙන අතර ය.

‘‘ඔය මැටිවිලිය හංදිය බහින අය එන්න... මැටිවිලිය හංදිය බහින අය...’’


සචේතනී සහ ප්‍රතිෂ්ඨ අතර විවිධ දෑ කතාබහ කරමින් පැමිණිය ද ප්‍රතිෂ්ඨ සිටියේ කොන්දොස්තර තැන බොහෝ නැවතුම් ස්ථාන ආසන්නයේ දී මෙසේ අණ දෙන හඬ වෙත අවධානය යොමු කරමිනි.


‘‘සචේති... අපි ඉස්සරහ හෝල්ට් එකෙන් බහින්න ඕන,’’ යැයි පවසන අතර ම ප්‍රතිෂ්ඨ ඉඳ සිටි අසුනෙන් නැගි සිටියේ සචේතනී නැගී සිටින්නට ද පෙරාතුව ය.


‘‘ආ... ඔය මහත්තෙල නේද දක්සිනාරාමෙට යන්න ඕනෙ කිව්වෙ. පාරෙං එහා පැත්තට පැනල වීල් එහෙකට කියන්න... පන්සල ගාවින් ම බස්සයි.’’

 

13353041 13 night trolley


බසයෙන් බැසගත් දෙපළ කොන්දොස්තරගේ ද උපදෙස් පරිදි මාර්ගයේ අනෙක් පස පිහිටි ත්‍රී රෝද රථ ගාල වෙත ගොස් එහි නවතා තිබූ ත්‍රීවිල් අතුරෙන් පළමු ත්‍රීවිලය අසල නැවතුණහ.


 ‘‘මල්ලි... අපිට දක්ෂිණාරාමෙට යන්න පුළුවන් ද...?’’


‘‘ආ... නගින්න මහත්තෙය,’’ යැයි පැවසූ රථකරු ප්‍රතිෂ්ඨ සහ සචේතනි එහි අසුන් ගත් සැණින් තම රාජකාරිය ඇරඹී ය.


බස් රථය ගිය දෙසට ම මීටර් දහයක් පමණ ගිය ත්‍රීවීලය අතුරු මාර්ගයකට අවතීර්ණය විය. තාර නොදැමූ, වැලි පාරක් බඳු එම මාර්ගයේ මඳ දුරක් ගිය රථකරු ‘‘මහත්තෙයල මේ දිහාට අලුත් වගේ...’’ යැයි විමසුවේ දෙපළ කතාවට සම්බන්ධ කරගැනීමේ අටියෙනි.


‘‘ආ... ඔවු මල්ලි... අපි මෙහේ නෙවෙයි... කොළඹ,’’


පිළිතුරු සැපවූයේ ප්‍රතිෂ්ඨ ය.


‘‘මට හිතුණ... හැබැයි මහත්තෙල යන්නෙ වන්දනාමාන කරන්නනං නෙවෙයි නේද...?’’ යැයි හෙතෙම විමසුවේ රියදුරු අසුනට ඉදිරිපසින් මඳක් ඉහළට වන්නට සවි කර තිබූ කණ්ණාඩියෙන් දෙපළ දෙස බලන අතර ය. ඔහු බැලුවේ ප්‍රතිෂ්ඨ දෙස ද, සචේතනී දෙස ද එසේත් නොමැති නම් දෙපළ ම දෙස ද යන්න වටහාගැනීමට ප්‍රතිෂ්ඨ මෙන් ම සචේතනී ද අපොහොසත් විය.


‘‘මල්ලි හරියට ම කිව්ව මල්ලි.’’


ප්‍රතිෂ්ඨ පිළිතුරු දුන්නේ ඉතා සැහැල්ලුවෙනි.


‘‘ඒකනෙ...’’


රථකරු එසේ පවසනවාත් සමග ම ප්‍රතිෂ්ඨ ද ‘‘මේ... මේ පන්සලේ ලොකු හාමුදුරුවො...’’ යැයි යමක් විමසන්නට මෙන් සැරසෙන විට වහා ඉදිරිපත් වූ රථකරු ‘‘ආ... මේ අපේ විමලානන්ද හාමුදුරුවො...’’ යැයි පැවසුවේ ඔහු හාමුදුරවන් හොඳින් ම හඳුනනනා බව ප්‍රදර්ශනය කරන්නට මෙනි.


තැනට සුදුසු නුවණ භාවිත කළ ප්‍රතිෂ්ඨ ද ‘‘අන්න හරි... මේ.. උන්වහන්සේ මගේ මිත්‍ර ස්වාමින්වහන්සේ නමක්,’’ යැයි පැවසුවේ කිසිදු වෙනසකින් තොරව ය. එහෙත් සචේතනි නම් එසැණින් ම කිසියම් වික්ෂිප්තභාවයකට පත්විය. ඇය අදහස් කළේ ප්‍රතිෂ්ඨ පැවසුවේ සත්‍යයක් කියා ය.


‘මොකක්...! ඒ හාමුදුරුවො මෙයාගෙ හිතවතෙක්... කොහොමද එහෙම වෙන්නෙ...? මෙයා මට ඒ වගක් කලින් කියල තිබ්බෙ නෑ නෙ... ඇයි එහෙම කරේ...?’’


VCTkhCcR6Giv5ugSYwvA 2සචේතනීගේ මනස තරමක් ව්‍යාකුලත්වයට පත්විය. ඇගේ උවනේ ඉරියව් ක්ෂණයකින් වෙනසකට බඳුන් විය. එහෙත් මේ ඒ සම්බන්ධයෙන් කිසිවක් විමසිය යුතු මොහොතක් නොවන බව පසක් කරගත් ඇය යළි පෙර ඉරියව්වට ම පැමිණියා ය.


ඒ අතර රථකරු ද කතාව දිගින් දිගට ම ඇදගෙන යාමට උත්සාහ කළේ තවත් ප්‍රශ්න නගමිනි.


‘‘ආ... කැම්පස් එකේදි වෙන්නැති නේද මහත්තෙය...?’’


රථකරු දිගින් දිගට ම මේ ආකාරයට යම් යම් දෑ විමසුවහොත් තමන් අපහසුතාවට පත්වෙන බව අවබෝධ කරගත් ප්‍රතිෂ්ඨ සංවාදයේ පීලි මාරු කළේ ය.


‘‘පන්සලට තව හුඟක් දුර ද මල්ලි...?’’


‘‘ආ නෑ... දැන්නම් මේ අත දිගඅරින දුර.’’ යැයි පවසා රථයේ වේගය මඳක් වැඩි කළේ ය. ඒ, ඔහු ද සංවාදයෙන් ඉවත්වන බවට පළ කළ ඉඟියකි.


තවත් මිනිත්තු දෙකක් යන්නට මත්තෙන් ත්‍රීරෝද රථය කිසියම් ස්ථානයක නතර කළේ ය. මේ වන විට සචේතනී පසුවූයේ කිසිදු කතාබහකින් තොරව කල්පනාවක නිමග්නව ය.


‘‘සර්ල මෙතනින් බැහැගන්න. මෙතනින් එහාට වාහන යන්නෙ නෑ. අර පාලමෙන් එගොඩ වෙලා ගියාම තියෙන්නෙ පන්සල,’’ යැයි රථකරු පැවසුවේ ඔහුගේ රාජකාරිය අවසන් බවට ඉඟි සපයමිනි.


පළමුව රථයෙන් බැසගත්තේ සචේතනී ය. දෙවනුව රථයෙන් බැසගත් ප්‍රතිෂ්ඨ ක්ෂණිකව ම සචේතනීගේ වෙනස හඳුනාගත්තේ ය. එබැවින් ඔහු කිසිදු කතා බහකින් තොරව ම රථකරු අසලට ගොස් ඔහු වෙත ගෙවිය යුතු මුදල ගෙවා දැමී ය. මෙතෙක් සියලු වියදම් ගෙවා දමන්නට කඩිනමින් ඉදිරිපත් වූ සචේතනී මේ නිමේෂයේ පසුවූයේ එය ප්‍රතිෂ්ඨගේ වගකීමක් ලෙස සලකමිනි.


රථකරුගේ මුදල් ගෙවූ ප්‍රතිෂ්ඨ සචේතනි දෙසට ගමන් කරන විට ඇය මඳක් ඉදිරියට ගමන් කර නැවතුණා ය.


‘‘ප්‍රතිෂ්ඨ... පන්සලට යන්න කලින් මට දෙයක් දැනගන්න ඕන.’’


සචේතනි එසේ විමසන විට ඇගේ දෙනෙත් දිලිසෙමින් පැවතිණි. ඒ දෙනෙත් තුළ කිසියම් දියරයක් පිරි ඇති බවක් ද දක්නට ලැබිණ. ඒ කඳුළු බවට සැක නැත. එහෙත් එසේ වුයේ ඇයි දැයි ප්‍රතිෂ්ඨට ගැටලුවකි. තවත් මඳක් සචේතිට ආසන්න වූ ප්‍රතිෂ්ඨ ‘‘සචේති... මොකද මේ...?’’ යැයි විමසී ය.


එකෙනෙහි ම හිස පොළොව දෙසට නැඹුරු කරගත් ඇය ‘‘ප්‍රතිෂ්ඨ... මට කියන්න... ඔයා ඇයි මට බොරු කිව්වෙ... කියන්න... ඇයි මට බොරු කිව්වෙ...?’’ යැයි විමසුවේ පොළොව දෙසට නැඹුරු කරගත් හිස බිඳක් හෝ ඉහළට එසවීමකින් තොරව ය; ඇගේ කට හඬ ද මඳක් රළු ය.


‘‘සචේති...! මොකද්ද ඔයාට උණේ... මොකද්ද මං ඔයාට කරපු බොරුව...? ඇයි ඔයා එහෙම කියන්නෙ...?’’


එහෙත් සචේති තවමත් නිහඬ ය... ඇගේ හිස තවමත් පොළෙවට නැඹුරු කරගත්වන ම ය...

ඉවර නෑ...



jayasiri 04 e1619629387941.jpg(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/12/02

වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
වජ්ජා’වජ්ජ 31: මං දැං ඉන්නෙ පනහෙ කණුව කිට්ටුව (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 30 : නීතිය කියන්නෙ වල් වැදුණු සංකල්ප ගොන්නක් - (ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 28 : අවුරුද්දක් ඉවසන්න - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 27 : දීපු බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ම වෙනව නෙ... - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 26 : 'ඔවු... අපිට අවම විනය ක්‍රියා පටිපාටියකට යන්න වෙනව' -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා‘වජ්ජ 25 : මං බඳිද්දි මට අවුරුදු විසි එකයි -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 24 - අපි ජීවත් වෙන්නෙ ආසියාතික කලාපෙ නොදියුණු ම රටක - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo


 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්