1200 x 80 DMirror

 
 

ආලෝකෝ උදපාදී සිනමාපටය දේශීය සිනමාවට දායාද කළ තරුණ සිනමාකරු චත්‍ර වීරමන් සිය නවතම සිනමා අධ්‍යක්ෂණය වන "ආයු" ගැන The Leader වෙත මෙසේ අදහස් පළ කළා.....
 
 
"ආයු" සිනමාපටයේ පූර්ව ප්‍රචාරකපටයක් පසුගියදා එළිදැක්වුණා. කොහොමද ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර?
 
ප්‍රතිචාර ඇත්තටම හොඳයි. මේ වෙනකොට දේශීය සිනමාවේ දකින්න නැති හැඩතල කිහිපයක් චිත්‍රපටයෙන් දකින්න ලැබෙනවා කියන එක තමයි ගොඩක් ප්‍රේක්ෂකයින්ගේ අදහස. 
 
සිනමාපටයේ දී අපි නඩත්තු කරන භාවය සම්බන්ධයෙන් ගොඩක් දෙනා හොඳ ප්‍රතිචාර දක්වලා තිබුණා. චිත්‍රපටයේ මොන ආරයක චිත්‍රපටයක් ද කියලා ප්‍රේක්ෂකයාට පෙන්වන්න, ටීසර් (Teaser) එකක් විතරයි අපිට දැනට එළියට දාන වුවමනා වුණේ. 
 
චිත්‍රපටයට විශාල නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වුණා. ඔවුන් සියලු දෙනා හඳුන්වා දීලා, අපි ප්‍රධාන නිළ පූර්ව ප්‍රචාරක පටයක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා චිත්‍රපටයේ තිරගත වීම් ආසන්නයේ දී.
 
 
චිත්‍රපටයේ කතා තේමාව මොකක්ද?
 
අපි පෞද්ගලිකව අසරණ වුණහම, අතරමං වුණහම අපිට තේරුම් යන දෙයක් තමයි භෞතිකයන්ගේ හරයක් නැහැ කියන කාරණාව. මේ වසංගත කාලය එක්කත් අපිට ඒක විශේෂයෙන්ම තේරුම් ගියා. 
 
ඒත් දේත් එක්කලා අපි ආධ්‍යාත්මිකව හෝ ගවේෂණයක  නියැලෙන්න උත්සහ කරනවා. මේ දේ ක්ෂණිකව වෙන දෙයක් නෙවෙයි. 
 
හැබැයි අපි ජිවිතයේ එක තැනකදී සියලු දේවල් අත්හරින්න උත්සහ කිරීමක් හෝ යම්කිසි විදියකින් ප්‍රශ්නවලින් පලා යන්න උත්සහ කිරීමක්, වෙනත් දෙයක් ලඟා කරගන්න උත්සහ කරනවා.
 
 ඒවගේ අධ්‍යාත්මික ගවේෂණයක දී අහම්බෙන් මුණගැහෙන තවත් කිහිප දෙනෙක් එක්ක එකතුවෙලා යන ගමනක් ගැන තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. 
 
අපි යම්කිසි විදියකින් ජිවිතයේ අතරමන් වෙන මොහොතක දී අපි ජිවිතයේ බලාපොරොත්තු වෙන පිරිස වගේම අපි බලාපොරොත්තු නොවන පිරිසකට ලංවෙන්න අවස්ථාව ලැබෙන්න පුළුවන්. 
 
එතකොට අපි ජිවිතයේ බලාපොරොත්තු නොවන පිරිසත් එක්ක අපි හිතන්නැති දිශානතියකට ජීවිතය ගොඩනැගෙන්න පුළුවන්. 
 
ඒ ගොඩනැගෙන ජීවිතය ඇතුලේ කොන්දේසි විරහිත ආදරයක් ගැන තමයි මේ චරිතවලින් නිරුපනය වෙන්නේ. 
 
ආයු චිත්‍රපටය පුරාවටම දිවෙන්නේ අපේ බැඳීම් ඇතුලේ කොන්දේසි විරහිතව ඇතිවන අධ්‍යාත්මික ගවේෂණයක් ගැන කතාවක්.
 

Ayu 1

 
"ආයු" අන්තර්ජාතික සිනමා උළෙල දෙකක්ම නියෝජනය කළා. ඒ අත්දැකීම කොහොමද?
 
කොරෝනා වසංගතයත් එක්ක ලොකු අත්දැකීමක් ගන්න බැරිවුණා. මොකද සිනමා උළෙල ඔන්ලයින් තමයි තිබුනේ. මගේ පළවෙනි නිර්මාණය ආලෝකෝ උදපාදී කරනකොට නොතිබුන ගැටළුවක් අපිට මෙතැනදී ආවා. 
 
සිනමා උළෙලවල උප සංස්කෘතියක් තියෙනවනේ එහි කොටසක් බවට පත්වෙන්න නම් අපි ඇත්තටම එතනට යන්න ඕන. ඒවාට සහභාගිවෙලා සියලු දෙනා එක්ක කතාබහ කරලා තමයි ඒ අත්දැකීම ගන්න ඕන. 
 
නමුත් අවාසනාවකට වගේ චිත්‍රපටය හරහා අපිට ඒ අත්දැකීම ගන්න බැරිවුණා. මේ කොවිඩ් ප්‍රශ්නය එක්ක.
 
ඒ කියන්නේ සිනමා උළෙලවල සැබෑ ප්‍රයෝජනය ගන්න බැරිවුණා?
 
ඔව්. ඇත්තටම බැරිවුණා. මොකද චිත්‍රපටය නිෂ්පාදනය අවසන් කරපු දවසේ ඉදන් තමයි සිනෙමා උළෙලවලට යොමු කරන්න පුළුවන් වෙන්නේ. කොවිඩ් වසංගත නිසා ඒ කාලය ප්‍රශ්න වුනා.
 
 හැබැයි මේ වගේ සිනමා උළෙල කිහිපයකින්ම අපිට ආරාධනා ලැබුණා. අපි ඒවාට ඉදිරිපත්වුණා. හැබැයි අර කිව්වත් වගේ සම්පූර්ණ ප්‍රයෝජනය අපිට ගන්න බැරිවුණා.
 
 
ත්‍රිමාන සජීවිකරණ අධ්‍යක්ෂවරයෙක් ලෙස සිටි ඔබ සිනමා අධ්‍යක්ෂණයට පිවිසීම මොන වගේ අත්දැකීමක් ද?
 
මේ මගේ දෙවැනි අධ්‍යක්ෂණය. ආලෝකෝ උදපාදී චිත්‍රපටයෙන් තමයි මම සිනමා අධ්‍යක්ෂණයට පිවිසුණේ. 
 
මම විෂයක් විදියට හැදෑරුවේ ත්‍රිමාණ සජිවිකරණය. එතැනදී සිනමා නිර්මාණකරණය, එහි විවිධ අංශ පිළිබඳව සාමාන්‍යයෙන් අපිට උගන්නනවා.
 
 අපිට අභියෝගය වුණේ සාමාන්‍යයෙන් න්‍යායාත්මකව ඉගෙන ගන්න දේවල් ප්‍රායෝගිකව යොදවන එක. ඒක මූලික වශයෙන් අභියෝගයක් වුණා. 
 
ත්‍රිමාණ සජිවිකරණයේ දී අපි වැඩ කරන්නේ පරිගණකයක් එක්ක සහ එහි සීමා හරිම අඩුයි. එතකොට අපි ලිමිට් වෙන්නේ අපේ නිර්මාණශිලිත්වය මත පමණයි. 
 
ඒ වුණාට සිනමාකරණයේ දී ඊට වඩා ලිමිටේෂන්ස් ගණනාවක් එක්ක වැඩ කරන වෙනවා විවිධ පැතිවලින්. 
 
ප්‍රධාන වශයෙන් අපි මානව සම්පත් එක්ක තමයි වැඩ කරන්නේ. එතකොට ඒ ඇතුලේ එන පැහැදිලි ලිමිටේෂන්ස් කිහිපයක් තියෙනවා. 
 
ඉතින් ඒවා අඳුරගන්න අපිට කාලයක් යනවා, එහෙම අභියෝග තියෙනවා ද කියලවත් මූලික වශයෙන් දන්නේ නැහැ. ඒක ලොකු අභියෝගයක් වුණා. ඒ ඇතුලේ ලොකු ලර්නින්ග් කර්ව් එකක් තියෙනවා. 
 
ඊටත් අවුරුදු 4ක් 5කට පස්සේ වගේ තමයි දෙවැනි චිත්‍රපටය කරන්නේ. ඒ වෙනකොට හොඳ අත්දැකීමක් තිබ්බා කොහොමද මානව සම්පතත් එක්ක ගනුදෙනු කරන්නේ කියන එක ගැන. ඒක තමයි මට විශේෂ වුණේ.
 

Ayu 13

 
ප්‍රේක්ෂකයා සිනමාශාලාවට ගෙන්වා ගැනීම කොහොමත් අභියෝගයක් වෙලා තිබුණ අවදියක කොරෝනා වසංගතය නිසා මේ තත්වය තවත් සංකීර්ණ වෙලා තියෙනවා. ඊට මුහුණදෙන්න විශේෂ සැලසුමක් එහෙම තියෙනව ද?
 
අපි මේ නිර්මාණය තුලින් වෙනස් දෙයක් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන්න උත්සහ කරනවා. කොහොම වුණත්, පැහැදිලිවම අර කිව්ව ප්‍රශ්නයත් එතන තියෙනවා. 
 
මෙරට සිනමා කර්මාන්තයේ විතරක් නෙවෙයි අන්තර්ජාතික මට්ටමෙන් පවා සිනමා කර්මාන්තය මේ මොහොතේ සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තියෙන්නේ. ඒ තත්වේ උඩ මේ වෙලාවේ ඒ යථාර්තයට අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා.
 
 අපි දැන්ම චිත්‍රපටය එළිදක්වන්න උත්සහ කරන්නේ නැහැ. මේ තත්වය යම්කිසි විදියකින් හොඳ අතට හැරෙන සේයාවක් දකිනකොට අපි චිත්‍රපටය එළිදක්වන්න උත්සහ කරනවා. ඒත් අවුරුදු ගණන් ඉන්නේ නැහැ. මේ අවුරුද්දේ චිත්‍රපටය එළිදක්වන තමයි බලාපොරොත්තු වෙන්නේ අර කියන කාරණා හැමදේම සලකා බලලා.
 
මම හිතන්නේ මේ චිත්‍රපටය ගොඩක් දෙනෙක් නැරඹිය යුතු සහ ගොඩක් දෙනෙක්ට නරඹන්න සැලසිය යුතු චිත්‍රපටයක් කියලා. 
 
මොකද මේකේ එන සමහර සමාජීය, දේශපාලන කාරණා සමාජයට ගොඩක් වැදගත් වෙයි කියන අදහසින් මෙම සිනමාපටය ප්‍රේක්ෂකයා ඉස්සරහට ගෙන ඒමේ අවශ්‍යතාවය අපිට තියෙනවා. ඒ නිසා ඊට සුදුසු කාලයකුත් තෝරාගන්න ඕන. 
 
මේ ටීසර් එකත් එක්ක මුලික වශයෙන් අපිට ඕන වුනේ මෙවැනි වූ චිත්‍රපටයක් අපි කරලා තියෙනවා කියන පණිවිඩය ගෙනියන්න. 
 
මොකද අපි මේ චිත්‍රපටය රූගත කිරීම් පටන් ගත්තේ 2018 දී 2019 වෙද්දී චිත්‍රපටයේ වැඩ අවසන් කළා. එතකොට 2020 තමයි මේක ඇත්තටම තිරගත වෙන්න නියම වෙලා තිබුණේ මේ තත්වය උඩ කල් ගියාට. 
 
කොහොම නමුත් මේ කාරණා සලකා බලා චිත්‍රපටය ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙනගොස් ඔවුන්ට මෙය නැරඹීමට ආසාවක් ඇතිකර ඒ ඔස්සේ චිත්‍රපට ශාලාවලට ප්‍රේක්ෂකයා ගෙන්වා ගන්න අපි උත්සහ කරනවා.
 
 
ඒ කියන්නේ චිත්‍රපටය එළිදක්වන්නේ මේ වසර මැද හෝ අග?   
 
වසර මැද වගේ තමයි බලාපොරොත්තු වෙන්නේ.
 
 
අවසාන වශයෙන් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් "ආයු" ගැන විශේෂ යමක් කියන්න තියෙනවා ද ?
 
“ආයු” කියන්නේ ජිවිතයේ අපි අතරමං වෙන තැන්වලදී, අපි අනාථ වෙන තැන්වල දී අපි කවුද කියන එක හොයන්න උත්සහ කරන ඒවගේම, ජිවිතයේ අරුත මොකක්ද කියන එක හොයන්න උත්සහ කරන මේ තැන්වලදී අපි කවුද කියන එක, අපේ ඊළඟ තීරණය මොකක්ද කියලා තෝරාගන්න උත්සහ කරන එක ඇතුලේ පවතින කතාවක්. 
 
මම හිතන්නේ හැමෝටම අත්විඳින්න ලැබුණු, හැමෝටම සමීප වෙන්න ලැබුණු, හැමෝටම ගෝචර කතාවක්. මම හිතනවා ප්‍රේක්ෂකයන් එය ධනාත්මකව වැළඳ ගනියි, එතනින් තව කෙනෙක්ට සම්ප්‍රේෂණය වෙන විදියට සිනමාපටය ගෙනියයි කියලා.
 
මේ චිත්‍රපටයේ ආඛ්‍යානය හරි වෙනස්. මම හිතනවා මේ ඇතුලේ නිරන්තරයෙන් ප්‍රේක්ෂකයා පුදුමයට පත් කෙරෙන කතාවක් ඇති බව. 
 
ඉතින් මම කැමතියි ප්‍රේක්ෂකාගාරයට ඇවිල්ල චිත්‍රපටය නරඹලා එකෙන් එන අවංක සිතිවිල්ලත් එක්ක ප්‍රේක්ෂකයා ගෙදර යනවනම්. 
 
අන්තිම ෆ්‍රේම් එක දක්වා අපි ප්‍රේක්ෂකයා ගෙනියනවනේ යම්කිසි චාරිකාවක, මට හිතෙනවා ඒ චාරිකාවම සාමාන්‍ය ජීවිතයේත් පොඩ්ඩක් හරි කන්ටිනිව් කරන්න පුළුවන් වෙයි කියලා. 
 
අපිට ආපස්සට හැරිලා හිතන්න පුළුවන් තැනක් එහිදී ඉතිරි කරන නිසා. මම විශ්වාස කරනවා සිනමාව ඇතුලින් එවැනි බලපෑමක් කරන්න පුළුවන් කියන එක. මොකද සිනමාපට මගේ ජිවිතයට  එහෙම බලපෑ අවස්ථා තියෙන නිසා. 
 
මට ඕන ඒ කියන බලය මගේ නිර්මාණ තුලින් තව කෙනෙකුට දෙන්න. දැනට ලැබුණු ප්‍රතිචාර හමුවේ මම හිතනවා අපි යම්කිසි දුරකට සාර්ථකයි කියලා.  
 
සටහන : අභිෂේකා වාසල බණ්ඩාර

 

 

 


 

 
ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?
 

ජාතිකවාදීන් අන්දන මහින්දගේ ඩබල් ගේම
  

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58