පිවිසුම:
මව සහ දරුවා අතර ඇතිවන ආදරයේ සිට විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු හෝ සමලිංගිකයන් දෙදෙනකු (ආදරය සහ ලිංගික තෘප්තිය උදෙසා) අතර ඇතිවන ආදරය දක්වා වූ ක්‍රියාදාමය විවිධාකාර ය.
නමුදු ‘ආදරය’ නමැති වදන සවනත වැකුණු විගස ම සිහිපත් වන්නේ විෂම ලිංගිකයන් දෙදෙනෙකු අතර ඇතිවන ආදරය යි.
විෂම ලිංගිකයන් දෙදෙනකු අතර මෙලෙස ඇතිවන ආදරය අවසන් වන ආකාර ද විවිධ ය.
එනම් බහුතරයක් විවාහ වී, ලිංගික තෘප්තිය ද ලබා එහි අග ඵලය වන දරු සම්පත් ද ලබති.
ඇතැම් අය එක් අයෙකුගේ කැමැත්ත මත හෝ දෙදෙනාගේ ම කැමැත්ත මත විවාහ වන්නට පෙර ම ඔවුන් දෙදෙනා අතර පැවති ආදර සබඳතාවට තිත තබති.
තවත් පුද්ගලයෙක් අනෙකාගේ ආදරය අහිමි වීම හේතුවෙන් සිය දිවි හානි කරගන්නා අතර තවත් විටෙක අනෙකා අහිමි වීමේ දුක දරාගැනීමට නොහැකිවාට වඩා අනෙකා තවකෙකුට අයිතිවීම දරා ගැනීමට නොහැකිව ඔහු හෝ ඇය ඝාතනය කරයි.
මෙහි දී වඩාත් ඝාතනය වන්නේ ස්ත්‍රී පාර්ශ්වය බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ.
සැබැවින් ම ආදරය කිරීම යනු තමාට ආදරය කරන්නා තමා සන්තක කර ගැනීම පමණක් ම ද? ආදරය වෙනුවෙන් තමාගේ අනෙකා අත්හැරීම ආදරය නොවන්නේ ද? එසේ කළ හැකි පුද්ගලයෙක් වේ නම් ඔහු හෝ ඇය සැබෑ ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක නොවන්නේ ද? සැබැවින් ම නම් කිසියම් පුරුෂයෙකු හෝ ස්ත්‍රීයක් තමාට ආදරය කරන පුද්ගලයා වෙනුවෙන් ඒ ආදරය පූජා කළ හැකි නම් එය කෙතරම් වටින්නේ ද?
නමුදු කිසියම් පුරුෂයෙකු හෝ ස්ත්‍රීයක් සිය පෙම්වතා හෝ පෙම්වතිය අත්හැර දැමුවේ තමාට ඇති ආදරය නිසා ම බව ඔහු හෝ ඇය නොදන්නේ නම්... එවන් අවස්ථාවක දී බොහෝ විට සිදුවන්නේ පුරුෂයා ස්ත්‍රීයට ද, ස්ත්‍රීය පුරුෂයාට ද වෛර කිරීම ය.
තාමාට ආදරය කළ අනෙකා තමා අත්හැර දැමුවේ ඇයි ද යන්න පිළිබඳ නිසි ලෙස සොයා බලා තීන්දු තීරණ නොගතහොත් සිදුවන්නේ යට කී ආකාරයේ ඛේදවාචක ම ය.
එබැවින් තමාට ආදරය කළ අනෙකා තමා හැර ගිය පසු ඔහුට හෝ ඇයට වෛර කිරීමට පෙර, ඔහු හෝ ඇය ඝාතනය කිරීමට පෙර, ඔහු හෝ ඇය සමාජ අපවාදයට ලක් කිරීමට පෙර කළ යුතු බොහෝ දෑ පවතී. ‘පනින්නට පෙර සිතා බලන්න’ යන කියමන වඩාත් ප්‍රත්‍යක්ෂ වන්නේ මෙවන් අවස්ථාවල දී ය.
හරසුන් විදෙස් ටෙලි නාට්‍ය සියලු ම රුපවාහිනී නාලිකා ආක්‍රමණය කර සිටින මොහොතක ජාතික රුපවාහිනිය තුළ විකාශනය කළ ‘ඉලන්දාරි හැන්දෑව’ නමැති ටෙලි සිත්තම මා යට සඳහන් කළ පසුබිම පිළිබඳ ඉතා මැනවින් ප්‍රේක්ෂක මනස සංවේදී කළ නාට්‍යයක් ලෙස හැඳින්විය හැකි ය.
2018/ජුලි/16/ සිට 2018/ඔක්තෝබර්/17 දින දක්වා විකාශනය වූ කොටස් පනස් තුනකින් සමන්විත වූ මෙම ටෙලි සිත්ත ම සැබැවින් ම භාවනාවක් සම යැයි පැවසුව ද එය අතිශයෝක්තියක් නොවේ.
කතා සාරාංශය:
සාරංග පුවත්පත් කලාවේදියෙකි, කවියෙකි. ඔහුගේ සිත්ගත් තරුණිය මීනු නම් වේ. ඇය උඩ රට ඉඩම් හිමි වැවිලිකරුවකුගේ දියණියකි, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිසුවියකි. සාරංග පළමුවෙන් ම ඇය නෙතු ගැටෙන්නේ ඔහු, සෞන්දර්ය විශ්වවිද්යාලයේ ම ආචාර්යවරයෙකුගේ ඔපෙරාවක් පිළිබඳ සාකච්ඡාවකට ගිය මොහොතේ දී ය.
එම අවස්ථාවේ දී අදාළ ආචාර්යවරයා සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ඔපෙරාව පුහුණු කරමින් සිටී.
සාරංග බොහෝ කාලයක් මීනු පසුපස හඹා ගිය ද ඇය අවස්ථා කිහිපයක දී ම ඔහු ප්‍රතික්ෂේප කරන්නී ය.
ශාක්යා යනු මීනුගේ හොඳම යෙහෙළිය යි. මීනු වෙතින් ප්‍රතික්ෂේප වන සාරංග කෙරෙහි ශාක්යා ආසක්ත වුව ද කාලයාගේ ඇවෑමෙන් මීනු සාරංග කෙරෙහි බැඳෙන්නී ය. අවසන ඇය සිය පෙම්වතා පිළිබද සිය දෙමාපියන්ට ද පවසන්නී ය. ඔවුන්ගේ අවසරය ලද මොහොතේ දැඩි ලෙස ප්‍රහර්ෂයට පත්වන මීනු සාරංග අමතන්නී ය.
නමුදු එතැන් සිට සාරංග මීනු මගහරින්නේ ය; ඒ සඳහා සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්නට ද ඔහු අසමත්වන්නේ ය. සමස්ත ටෙලි සිත්තමේ ම රහස්‍යභාවය සහ කුතුහලය ආරම්භ වන්නේ එතැන් සිට ය.
ටෙලි සිතුවම් ආකෘතිය:
මෙවැනි කතා සන්දර්භයක් අන්තර්ගත සිනමා නිර්මාණ ද්විත්වයක් මේ වන විට ප්‍රේක්ෂකයා ඉදිරියේ දිගහැරී තිබේ.
ඒ, නාලක විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘අනිත්‍යා’’ සිනමා නිර්මාණය සහ ප්‍රියන්ත කොළඹගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘ආදරණීය කතාවක්’’ යන සිනමා සිත්තම් ද්විත්වය යි.
‘අනිත්‍යා’ සිනමා සිත්තමේ ප්‍රධාන කාන්තා චරිතය: ඇය ආදරය කරන, ඇයට ආදරය කරන තරුණයාගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් ම ඇය පිළිකා රෝගිනියක් බව නොපවසන්නී ය. නමුදු ඇය ඔහු වෙනුවෙන් කළ හැකි සියලු දෑ ඉටු කරන්නී ය. අවසන ඇය මිය යන්නී ඇය අදාරය කළ, ඇයට ආදරය කළ පෙම්වතා හැර ගිය ඔහුගේ අතීත පෙම්වතිය සම්මුඛ කිරීමෙන් ඉක්බිතිව ය.
‘ආදරණීය කතාවක්’ සිනමා සිත්තමේ ප්‍රධාන චරිතය ඔහුට ආදරය කරන තරුණියට ඇති ආදරය හේතුවෙන් ම තමා පිළිකා රෝගියෙක් බව නොපවසයි. ඔහු හැකි සෑම විට ම යත්න දරන්නේ සිය පෙම්වතියගෙන් දුරස් වී සිටීමට ය. ඒ, ඇයට ආදරය නොමැතිව නොවේ. ඇය තමා කෙරෙහි ආසන්න වත් ම තමා ද ඇය කෙරෙහි වඩාත් ආසක්ත වන බැවිනි; එය ඇගේ අනාගතය අගාධයක් වෙත ඇදෙන බැවිනි.
මෙම සිනමා සිත්තම් දෙකෙහි ම චරිත ද්විත්වය තමා ආදරය කරන තරුණයා සහ තරුණිය වෙනුවෙන් තමන්ගේ ආදරය පුද කරන්නෝ වෙති. ‘ඉලන්දාරි හැන්දෑව’ ටෙලිසිත්තමේ සාරංග ද සිය ආදරවන්තිය වෙනුවෙන්, ඇයට ඇති ආදරය වෙනුවෙන් ම ඇගෙන් දුරස් වන්නේ ය.
යට කී සිනමා සිත්තම් ද්විත්වයෙහි අදාළ රහස හෙළිවන්නේ නිර්මාණය අවසානයේ දී ය.
නමුදු ‘ඉලන්දාරි හැන්දැව’ටෙලි සිත්තමෙහි විශේෂත්වය වන්නේ එහි ආකෘතිමය හරඹය හේතුවෙන් ප්‍රේක්ෂකයා විටින් විට, මඳින් මඳ සාරංගගේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්නේ ය. ප්‍රේක්ෂකයා එය එසේ වටහාගත්ත ද සාරංගට ආදරය කළ, වර්තමානයේ ඔහු කෙරෙහි වෛරයෙන් පසුවන මීනු සාරංගගේ ජීවිතයේ යථා තත්ත්වය අවබෝධ කරගන්නේ ඔහුගේ ජීවිතයේ අවසාන සමයේ දී ය.
සමස්ත නිර්මාණය පුරා ම දක්නට ලැබෙන්නේ ‘මුල, මැද සහ අග’ නමැති සාම්ප්‍රදායික රටාවෙන් වියුක්ත වූ ගලා යාමකි. එය ප්‍රේක්ෂක ප්‍රජාව ටෙලි සිත්තම කෙරෙහි ආසක්තව රඳවා ගැනිමට සමත්කම් දක්වා තිබේ.
එකි පසුබිම වඩාත් තීව්ර වන්නේ ටෙලි සිත්තමේ සංස්කරණ ශිල්පියාගේ දක්ෂතාව හේතුවෙන් බව ද සිහිපත් කළ යුතු ය.
කවිය සහ කවියාගේ බලපෑම:
මෙම නිර්මාණයේ තුනෙන් දෙකක පමණ දිගහැරෙන්නේ මීනු, ශාක්යා සහ මාස්ටර්ගේ මුලිකත්වයෙන් ඉදිරිපත් කරන ඔපෙරාවේ දර්ශන ය. එය ටෙලි සිත්තමට දැවැන්ත ආලෝකයක් සපයන බව සඳහන් කළ යුතු ම ය.
එමෙන් ම එම ඔපෙරාව සඳහා රචනා වී ඇති ගේය පද ද මෙතෙක් දෙබස් ඛණ්ඩ මත පමණක් රැඳී තිබූ ටෙලිනාට්‍ය කලාව නව්‍ය ඉමක් කරා රැගෙන යයි. ප්‍රේක්ෂක ප්‍රජාව වෙත එකී රසාස්වාදය උදාකර දෙන්නට මෙහි ඔපෙරා රචක රසික සුරවීරආරච්චි ඉමහත් වෙසෙක් දරා ඇති බව පැහැදිලි ය; ඔහු ද සිය සාහිත්‍ය රචනා ශෛලිය වෙනත් ඉසව්වකට රැගෙන ගොස් ඇත.
ප්‍රධාන චරිතය වන සාරංග කවියෙකි. ඔහුගේ කවිකම ඉස්මතු කෙරෙන්නේ සම්මානලාභී කාව්‍ය රචකයෙකු වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ කාව්‍ය රචනා සහ ගේය පද රචනා (ඇතැම් කවි තුළ කාව්‍යත්මකභාවයක් දක්නට නොලැබුණ ද) සාරංග නමැති කවියාගේ ප්‍රාණය රඳවා තබාගැනීමට මනා පිටිවහලක් වී තිබේ.
මා දන්නා තරමින් මෙවන් සන්දර්භයක් සහිත ටෙලි සිත්තමක් මීට පෙර නිර්මාණය වී නොමැත. මන් ද ගේය පද සහ කාව්‍ය රචකයා (මහින්ද ප්‍රසාද් මස්ඉඹල)ට මෙම නිර්මාණය වෙනුවෙන් සිය සාහිත්‍යත්මය දක්ෂතාව දැවැන්ත ලෙස ආයෝජනය කිරීමට සිදුවී ඇත; ඔහු සිය වගකීම ද උපරිමයෙන් ඉටු කර ඇත.
ඔපෙරා රංගනය:
කොටස් පනස් තුනකින් සමන්විත ටෙලි සිත්තමක් තුළ එහි අන්තර්ගතයෙන් තුනෙන් දෙකක් පමණ වන ඔපෙරා රංගන අධ්‍යක්ෂණය ද සුළුවෙන් තැකිය හැකි කර්තව්‍යයක් නොවේ. මන්ද සමස්ත නිර්මාණයේ ම අරටුව ලෙස ගැනෙන්නේ එකී ඔපෙරා රංගනය යි. ටෙලි සිත්තමේ ඔපෙරා රංග වින්‍යාසයේ වගකීම බාරගත් තනුජා ප්‍රියන්ති බන්දුල නිර්මාණ ශිල්පිනිය ද තම වගකීම මැනවින් ඉටු කර ඇත.
සංගීත සංකලනය:
‘ඉලන්දාරි හැන්දැව’ යනු සාමාන්‍ය ටෙලි සිත්තමක් නොව සමස්ත නිර්මාණය පුරා ම කවි, ගීත මතු නොව ඔපෙරා සංධ්වනි සහිත නිර්මාණයකි. එවන් නිර්මාණයක සංගීත අධ්‍යක්ෂණය බාර ගැනීම ද අභියෝගාත්මක ය.
එකී අභියෝගය ඉතා පහසුවෙන් ජයගන්නට සමන්ත පෙර්රා සංගීතවේදියා සමත් වී ඇත. සංගීතයෙන් මතු නොව ඔහුගේ ගැඹුරු හඬ මුසුව ද සමස්ත නිර්මාණය පුරා ම විහිදුවා ඇත. එකී කර්තව්‍ය ද මෙතෙක් කිසිදු ටෙලි සිත්තමක නොදුටු ආකාරයේ සුවිශේෂත්වයකි.
චරිත තුළ චරිත:
සාරංගගේ මව, මීනුගේ සැමියා වන වජිර, මාස්ටර් සහ ඔහුගේ බිරිඳවන (පෙර ඔහුගේ සිසුවිය) ශාක්යා යන සියලු චරිතයෝ සාරංග පිළිබඳ මනා අවබෝධයකින් යුක්තව කටයුතු කරන අතර විශේෂයෙන් ම මීනුගේ සැමියා වන වජිර සිය බිරිඳ වෙනුවෙන් මෙන් ම ඇගේ පෙර පෙම්වතා වෙනුවෙන් ඉතා මානුෂික මෙහෙවරක යෙදෙන්නේ ය.
ඒ කෙසේ ද යන්න මෙහි දි විග්‍රහ නොකරන්නේ මෙම ටෙලි සිත්තම මෙතෙක් නරඹා නොමැති ප්‍රේක්ෂක ප්‍රජාවට අසාධාරණයක් වන බැවිනි. මන්ද ඔවුන් එය වටහා ගත යුත්තේ ටෙලි සිත්තම තුළින් ම ය.
මීනු සාරංගගේ යථා තත්ත්වය අවබෝධ කරගන්නී ටෙලි සිත්තම අවසාන අවධියේ දී ය. එතැන් සිට ඇය ද සාරංග කෙරෙහි ළෙංගතුවන්නී ය. එකී ළෙංගතුභාවය කෙතරම් දුරක් විහිද ගියේ ද යන්න ටෙලි සිත්තම නැරඹූ ප්‍රේක්ෂක ප්‍රජාව දන්නෝ ය. නොනැරඹූ ප්‍රේක්ෂකයෝ ටෙලි සිත්තම නරඹා ම අවබෝධ කරගන්නේ නම් වටාත් වටින්නේ ය.
සාරංග සිය පෙම්වතිය වන මීනු අත්හැර දමන හේතුව අතීතයේ දී කාව්‍ය නිමැවුමක් හරහා ශාක්යා දැනුවත් කළ ද ඇය එය මීනු හට දැනුම් නොදෙන්නී ය. ඒ හුදෙක් මීනු කෙරෙහි පවත්නා ඊර්ෂ්‍යාව නිසා ම විය හැකි ය. එහෙත් ඇය පෙර දිනක අදාළ නිර්මාණය මීනු අත පත් කළා නම්, සාරංග මීනු අත්හැර දැමුවේ ඇයි ද යන්න සහ එය කෙතරම් පරිත්‍යාගශීලි කටයුත්තක් ද යන්න මීනු වටහා ගන්නී ය.
නමුදු තිර පිටපත වඩ වඩාත් තියුණු වන්නේ එකී රහස මීනු නොදැනගත් බැවිනි. එය තිර රචකයාගේ දක්ෂතාව බව පැවසිය යුතු ම ය.
ටෙලි සිත්තම සඳහා නම යෙදීමේ දී ද නිර්මාණයට සුදුසු ම ආකාරයේ නමක් යොදා ඇති බව ද සඳහන් කළ යුතු ය. දවසක් ආරම්භයේ සිට අවසානය දක්වා එය එක් එක් අවස්ථාවල දී විවිධාකාරයෙන් නම් කරන අතර ‘හැන්දැව’ යනු දවසේ අවසානය සනිටුහන් කෙරෙන සංකේතාර්ථය යි. මිනිස් දිවියේ අවසාන කාල පරිච්ඡේදය හැඳින්වීම සඳහා ද ‘ජිවිතයේ සැඳෑ සමය’ යනුවෙන් භාවිත කෙරේ. සාරංග යනු ඉලන්දාරියෙකි. නමුදු ඔහු ඒ ඉලන්දාරි සමයේ ගෙවමින් සිටින්නේ ඔහුගේ ජීවිතයේ සැඳැ සමය යි. ඉදින් එය වඩාත් අර්ථවත් ලෙස හැඳින්වීමට ‘ඉලන්දාරි හැන්දෑව’ යනුවෙන් හැර වෙන කෙසේ නම් හඳුන්වන්න ද...?
අවසන් වශයෙන් පැවසිය යුත්තේ, ටෙලි නාට්‍ය ලෙස: පවුල් අවුල්, පාසල් ප්‍රේම ජවනිකා, දේපළ බෙදාගැනීමට නොහැකිව එකිනෙකා ඇන කොටාගන්නා නැදෑයෝ, අදහාගත නොහැකි සුරු විරුකම් දක්වන මිත්‍යා චරිත, අතිතයේ විසුවා යැයි විශ්වාස කරන අද්භූත චරිත යනාදිය දෙස දෑස් දල්වා බලා සිටි ප්‍රේක්ෂක ප්‍රජාව වෙත භාවාත්මක ටෙලි නාට්‍ය යනු කුමක් ද යන්න ප්‍රත්‍යක්ෂ කෙරෙන මෙවන් ටෙලි සිත්තම් තව තවත් නිර්මාණය කළ යුතු ය යන්න ය.
එවිට නී රස ටෙලි නාට්‍ය කෙරෙහි ඇබ්බැහි වි සිටින ප්‍රේක්ෂක ප්‍රජාව ද එයින් මුදවාගත හැකි ය; ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය කලාවට ද, කර්මාන්තයට ද සුබදායී අනාගතයක් උරුමවනු ඇත යන්න ය.
මතු දැක්වෙන්නේ මෙම ටෙලි නිර්මාණය සඳහා දායකත්වය සැපයූ පිරිස ය. එහි දී නළු නිළියන්ගේ ලැයිස්තුව ඉතා දිගු වුව ද එය පළ කිරීමට අදහස් කළේ ඔපෙරා කොටසට මේ නළු නිළියෝ බහුතරයකගේ දායකත්වය ලබා දි ඇති බැවිනි. මෙසේ ඔවුන්ගේ නම් සඳහන් කිරීම ඔවුන්ට කරන ගෞරවයක් සේ ම ඔවුන්ගේ අනාගත රංගන මාවත ද හෙළි පෙහෙළි වනු ඇතැයි විශ්වාස කරන බැවිනි.
‘ඉලන්දාරි හැන්දැව’ ටෙලි සිත්තමට විවිධ අංශවලින් දායක වූවෝ:
රංගනය - රොෂාන් රවින්ද්‍ර (සාරංග), සුබුද්ධි බමුණු ආරච්චි (මීනු), චාන්දනී සෙනවිරත්න (සාරංගගේ මව), චින්තක කුලතුංග (වජිර), ප්‍රසන්නජිත් අබේසූරිය (මාස්ටර්), ඉෂාරා සඳමිණි (ශාක්යා), නදීෂා මධුෂාණී, නිල්වලා විශ්වමාලි, කිත්මිණි හේමචන්ද්ර, නයෝමි තක්ෂිලා, රෝහණ ජයසිංහ, රහල් බුලත්සිංහල, කමල් ජයකොඩි, ධර්මදාස ලොකුආරච්චි, ප්‍රසන්න ගුණවර්ධන, රෝයි මැක්වුඩ්, ප්‍රියා විතානාරච්චි, චන්දන වීරසිංහ, ජිනා ගීත්, මිහිරි පතිරණ, විජේ බණ්ඩාර කන්නංගර, සමන්ත කුමාර ගමගේ, ශානිකා දිසානායක, සලූජා පීරිස්, ජයමිණි බුද්ධිකා, සත්‍යා ලක්මාලී, මල්සේයා රුවි දිසානායක, ලක්නි වත්සලා, නෙත්මිණි කලණිකා සුබසිංහ, විනූ උදාර සුබසිංහ, ප්‍රභානි විජේකුලතිලක, අමාවි සඳරු, නදුනි සිගේරා, රංග විජේවික්රම, ගැමුණු වික්‍රමතුංග, විමල් ජයකොඩි ආරච්චි, අසංක කුලතුංග, අංජලී පෙරේරා සහ ආශා විතානගේ.
ආරාධිත රංගනය - ඩග්ලස් රණසිංහ, හයසින්ත් විජේරත්න, ඥානාංග ගුණවර්ධන
ඔපෙරා ගායනය - සමන්ත පෙරේරා, සබුද්ධි බමුණුආරච්චි, එරංදි පෙරේරා, රුවිනි උමයංගනා
ඔපෙරා රංග වින්‍යාසය - තනුජා ප්‍රියන්ති බන්දුල
ඔපෙරා රචනය - රසික සුරවීරආරච්චි
කතා සංකල්පය, කවි සහ ගේය පද - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
සංගීත අධ්‍යක්ෂණය - සමන්ත පෙරේරා
රුපවාහිනී රචනය - ලාල් වසන්ත කරුණාරත්න
නිෂ්පාදනය - කිත්සිරි ඇලෙක්සැන්ඩර් කුරේ
අධ්‍යක්ෂණය- ප්‍රියන්ත ප්‍රනාන්දු

නිදහස් ලේඛක
ආලින්දයෙන් ඔබ්බට අනෙකුත් ලිපි :
##################
THE LEADER TV
අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ
සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා