නිසි අවධානයක් නැති වෘත්තීයක්
සාහිත්ය කෘතියක් බිහිවන්නේ ලේඛකයාගේ පරිකල්පනය, අත්දැකීම්, භාෂා හැකියාව සහ නිර්මාණශීලීත්වය මත ය. එහෙත්, ලේඛකයා අතින් ලියැවුණු අත්පිටපතක් පාඨකයා අතට පත්වන ප්රකාශිත ග්රන්ථයක් බවට පත් වන තෙක් එය ගමන් කරන්නේ සංකීර්ණ ක්රියාවලියක් ඔස්සේ ය. එහි දී සංස්කාරකට හිමි වන්නේ අතිශය වැදගත්, එහෙත් බොහෝවිට නිසි අවධානයට ලක් නොවන වෘත්තීය භූමිකාවකි.
සංස්කාරක යනු අක්ෂර වින්යාසය නිවැරදි කරන, විරාම ලකුණු යොදන හෝ ව්යාකරණ දෝෂ නිවැරැදි කරන පුද්ගලයා නොවේ. ඔහු හෝ ඇය කෘතියේ ව්යුහය, ආඛ්යාන ශක්තිය, චරිත නිරූපණය , තේමාත්මක ගැඹුර, භාෂා භාවිතය සහ පාඨකයා සමග කෘතිය ගොඩනගන සම්බන්ධතාව පිළිබඳව විමසිලිමත් වන වෘත්තිකයෙකි.
එබැවින් මූලික ප්රශ්නය වන්නේ සංස්කාරකවරයා කෘතියක දෝෂ නිවැරදි කරන්නේ ද යන්න නොව, කතුවරයා ගේ නිර්මාණාත්මක අනන්යතාව ආරක්ෂා කරමින් කෘතියේ සාහිත්යමය ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ඔහුට හෝ ඇයට කළ හැක්කේ කුමක්ද යන්නයි.
1) අත්පිටපතේ සිට සාහිත්ය කෘතිය දක්වා
විශ්ව සාහිත්යයේ ප්රකාශන ඉතිහාසය දෙස බලන විට, සංස්කරණය යනු හුදෙක් මුද්රණයට පෙර සිදුකරන තාක්ෂණික පිරිසිදු කිරීමක් නොවන බව පැහැදිලි වේ. විශේෂයෙන් නවකතා, කෙටිකතා, කවි, නාට්ය සහ චරිතාපදාන යනාදි ප්රභේදවල දී සංස්කාරකවරයා කෘතියේ සන්නිවේදන ශක්තිය සහ කියවීමේ අත්දැකීම වැඩිදියුණු කිරීමට දායක වෙයි.
අත්පිටපතක අන්තර්ගතය වැදගත් වුවත්, එහි අදහස් පාඨකයා වෙත ගලා යන ආකාරය ද ඒ තරමට ම වැදගත් ය.

කතාවක ආරම්භය ප්රමාණවත් ආකර්ෂණයක් ඇති කරන්නේ ද?
චරිතයක හැසිරීම එහි මානසික පසුබිමට ගැළපේ ද?
සිදුවීම් අතර සම්බන්ධය විශ්වාසනීය ද? අනවශ්ය විස්තර නිසා ආඛ්යානය දුර්වල වී තිබේ ද?
කෘතියේ අවසානය එහි තේමාව සමග සාර්ථකව සම්බන්ධ වේද?
මේවා සංස්කාරක විමසා බැලිය යුතු ප්රශ්න කිහිපයකි.
එහෙත් සංස්කාරක ගේ අරමුණ කෘතිය තමන් කැමති ආකාරයට නැවත ලිවීම නොවේ. කතුවරයා ඉදිරිපත් කිරීමට උත්සාහ කරන නිර්මාණාත්මක අරමුණ වඩාත් සාර්ථකව පාඨකයා වෙත ගෙන යෑමට අවශ්ය මැදිහත්වීම සිදු කිරීමයි.
2) කෘතියේ ව්යුහය හා ආඛ්යානය විමර්ශනය කිරීම
සාහිත්ය සංස්කාරක ගේ වැදගත්ම කාර්යයක් වන්නේ අත්පිටපතේ ව්යුහාත්මක ශක්තිය විමසා බැලීමයි. මෙය ඉංග්රීසි ප්රකාශන ක්ෂේත්රයේ Structural Editing හෙවත් Developmental Editing ලෙස හැඳින්වේ.
නවකතාවක: සිදුවීම් අනුපිළිවෙළ, ආඛ්යාන දෘෂ්ටිකෝණය, චරිතවල වර්ධනය, කාලය හා අවකාශය භාවිත කිරීම සහ තේමාව ගොඩනැගීම පිළිබඳව සංස්කාරක විමසිය යුතු ය. කතාවේ ප්රධාන ගැටුම ප්රමාද වී මතුවන්නේ නම්, චරිතයක ක්රියාකලාපය අවිශ්වාසනීය නම් හෝ අවසානය කෘතියේ අභ්යන්තර තර්කයට නොගැළපේ නම්, ඒවා පෙන්වා දීම ඔහුගේ වගකීමකි.
උදාහරණයක් ලෙස , අභිරහස් නවකතාවක අපරාධකරු හඳුනාගැනීමට අවශ්ය ඉඟි ප්රමාණවත් නොවන්නේ නම්, පාඨකයාගේ විමර්ශන අත්දැකීම දුර්වල විය හැකි ය. ඓතිහාසික නවකතාවක යුගයට නොගැළපෙන හැසිරීම් හෝ තොරතුරු ඇතුළත් වී තිබේ නම්, එහි විශ්වසනීයත්වය පළුදු විය හැකි ය.
එහෙත් මෙහිදී සංස්කාරකවරයා කතුවරයාට නියෝග දෙන අධිකාරියක් නොව, කෘතියේ ශක්තිය සහ දුර්වලතා හඳුනාගැනීමට උපකාර කරන විචාරශීලී සහකරුවෙක් ලෙස ක්රියා කරයි.
3) භාෂාව, ශෛලිය සහ කතුවරයා ගේ/ කතුවරිය ගේ අනන්යතාව

කතුවරයා ගේ/ කතුවරිය ගේ භාෂාව යනු ඔහු ගේ නිර්මාණාත්මක අනන්යතාවේ මූලික කොටසකි. එබැවින් සංස්කරණයේ දී භාෂාමය නිවැරදිභාවය පමණක් නොව, ලේඛකයා ගේ/ ලේඛිකාව ගේ හඬ, වාක්ය රිද්මය, වචන තේරීම සහ ප්රකාශන ශෛලිය ද සැලකිල්ලට ගත යුතු ය.
මෙය Stylistic Editing ලෙස හැඳින්වේ. වාක්යයක අපැහැදිලි අර්ථයක් පැහැදිලි කිරීම , අනවශ්ය පුනරුක්ති ඉවත් කිරීම , සංවාදවල ස්වාභාවිකත්වය වැඩිදියුණු කිරීම සහ පාඨක ප්රජාවට අවශ්ය අර්ථය වඩාත් නිවැරදිව සන්නිවේදනය කිරීම එහි අරමුණු වේ.
එහෙත් සෑම ලේඛකයකු ගේ/ ලේඛිකාවක ගේ ම භාෂාව එකම ප්රමිතියකට ගෙන ඒම සංස්කරණය නොවේ. ප්රාදේශීය ව්යවහාර, සමාජ පන්ති අනුව වෙනස් වන කථන රටා , චරිතයකට අනන්ය වූ භාෂාව සහ අත්හදාබැලීම් සහිත ආඛ්යාන ශෛලි කෘතියේ කලාත්මක අරමුණට අයත් විය හැකි ය.
එබැවින් සංස්කාරක නිවැරදි කළ යුත්තේ දෝෂය මිස, අවශ්යයෙන් ම නොවන වෙනස්කමක් හරහා කතුවරයා ගේ/ කතුවරිය ගේ අනන්යතාව නොවේ.
4) තොරතුරු, අඛණ්ඩතාව සහ සදාචාරාත්මක වගකීම
විශේෂයෙන් ඓතිහාසික, දේශපාලනික, විද්යාත්මක සහ චරිතාපදාන ග්රන්ථවල දී කරුණු පරීක්ෂා කිරීම අත්යවශ්ය වේ. එනම්: දින, ස්ථාන, සිදුවීම් සහ උපුටා දැක්වීම් නිවැරදි ද යන්න විමසා බැලීමෙන් කෘතියේ විශ්වසනීයත්වය ආරක්ෂා කළ හැකි ය.
නවකතාවක දී පවා චරිතයක: වයස, පවුල් සම්බන්ධතා, කාලරේඛාව සහ පෙර සිදුවීම් සමග පසු සිදුවීම් ගැළපේ ද යන්න සංස්කාරක පරීක්ෂා කළ යුතු ය.
ඊට අමතරව, සොරකම් කළ අදහස්, අවසර නොලත් උපුටා දැක්වීම්, ප්රකාශන හිමිකම් උල්ලංඝනය, පෞද්ගලිකත්වයට හානි සහ අපහාසාත්මක ප්රකාශ යනාදි කරුණු පිළිබඳව ද අවධානය යොමු කළ යුතු ය. මේ සියල්ල සංස්කාරක ගේ වෘත්තීය සහ සදාචාරාත්මක වගකීම්වලට අයත් වේ.
කෙසේ වෙතත්, සංස්කාරක නීතිඥයකු ගේ හෝ විශේෂඥ කරුණු පරීක්ෂකවරයකු ගේ කාර්යය සම්පූර්ණයෙන් ම භාරගන්නා බවක් මෙයින් අදහස් නොවේ. අවදානම් හඳුනාගෙන, අවශ්ය තැන්වල කතුවරයා ගෙන් පැහැදිලි කිරීම් ඉල්ලා, සුදුසු විශේෂඥ සහාය ලබාගැනීමට යොමු කිරීම ද වැදගත්ය.
5) ප්රකාශන ක්රියාවලියේ ගුණාත්මකභාවය

අත්පිටපතේ සංස්කරණය අවසන් වූ පසුවත් සංස්කාරක ගේ කාර්යභාරය ඇතැම් අවස්ථාවල දී අවසන් නොවේ. මුද්රණයට පෙර සෝදුපත් කියවීම, පිටු අංක, පරිච්ඡේද ශීර්ෂ, පටුන සහ පාඨයේ සැකැස්ම පරීක්ෂා කිරීම ද වැදගත් ය.
වෘත්තීය ප්රකාශන ක්රියාවලියේ දී: ව්යුහාත්මක සංස්කරණය, ශෛලිමය සංස්කරණය, පිටපත් සංස්කරණය සහ සෝදුපත් කියවීම එකිනෙකට සම්බන්ධ වුවද වෙනස් කාර්ය ලෙස සැලකේ
එමෙන්ම සංස්කාරක: ප්රකාශකයා, කතුවරයා , නිර්මාණ ශිල්පියා සහ මුද්රණ කණ්ඩායම අතර සම්බන්ධීකරණය පවත්වාගත යුතු ය. එහෙත් වෙළෙඳපොළ ඉල්ලුම හෝ අලෙවි අපේක්ෂාව පමණක් මත කෘතියේ සාහිත්යමය වටිනාකම තීරණය කිරීම සංස්කාරක ගේ කාර්ය නොවිය යුතු ය.
6) සංස්කාරක ගේ ස්වාධීනත්වය සහ වෘත්තීය ගෞරවය
මෙහි දී මූලික ප්රශ්නයක් පැන නගී. කතුවරයා ගේ/ කතුවරිය ගේ අභිමතය, ප්රකාශක ගේ වාණිජ අරමුණු සහ සංස්කාරක ගේ වෘත්තීය විනිශ්චය අතර ගැටුමක් ඇති වුවහොත් කුමක් සිදුවිය යුතු ද
සංස්කාරකට ස්වාධීන විනිශ්චයක් නොමැති නම්, ඔහු ගේ/ ඇය ගේ කාර්යය කතුවර හෝ ප්රකාශක ගේ කැමැත්තට අනුව දෝෂ නිවැරදි කිරීමකට සීමා විය හැකි ය. එවිට කෘතියේ දුර්වලතා පෙන්වා දීමට , අසාර්ථක කොටස් සංශෝධනය කිරීමට යෝජනා කිරීමට හෝ සාහිත්යමය අවදානම් පිළිබඳව අවංකව අදහස් දැක්වීමට ඇති ඉඩකඩ අඩු වේ.
එහෙත් ස්වාධීනත්වය යනු කතුවරයා ගේ/ කතුවරිය ගේ අවසාන නිර්මාණාත්මක තීරණය පැහැරගැනීම නොවේ. එය සාක්ෂි, තර්ක සහ සාහිත්යමය අවබෝධය මත පදනම්ව අදහස් ඉදිරිපත් කිරීමටත්, ඒවා පිළිබඳ සාධාරණ සංවාදයක නිරත වීමටත් ඇති වෘත්තීය නිදහසයි.
එබැවින් ප්රකාශන ආයතන සංස්කරණයට ප්රමාණවත් කාලයක් සහ සම්පත් වෙන් කළ යුතු අතර, සංස්කාරක ගේ දායකත්වය නිසි ලෙස පිළිගැනීමත්, ඔහු ගේ/ ඇය ගේ කාර්යභාරය පැහැදිලිව නිර්වචනය කිරීමත් අත්යාවශ්ය වේ.
විශ්ව සාහිත්යයේ වෘත්තීය සංස්කරණ සම්ප්රදායන් අපට පෙන්වා දෙන්නේ උසස් ග්රන්ථයක් බිහිවීම ලේඛකයා ගේ/ ලේඛිකාව ගේ දක්ෂතාවට පමණක් සීමා නොවන බවයි. එයට විචාරශීලී සංවාදයක්, නිවැරදි සංස්කරණ ක්රියාවලියක් සහ නිර්මාණාත්මක ස්වාධීනත්වයට ගරු කරන ප්රකාශන සංස්කෘතියක් අවශ්ය වේ.
දක්ෂ සංස්කාරකවරයකු/වරියක කතුවරයා/ කතුවරිය වෙනුවට ලියන්නේ නැත. ඔහු/ ඇය කරන්නේ කතුවරයා/ කතුවරිය ලියා ඇති දෙයෙහි සැබෑ ශක්තිය හෙළි කරගැනීමට උපකාර කිරීමයි. ඔහු ගේ/ ඇය ගේ සාර්ථකත්වය මැනිය යුත්තේ කෘතිය තුළ ඔහු ගේ/ ඇය ගේ හඬ කොතරම් ඇසෙන්නේ ද යන්නෙන් නොව, කතුවරයා ගේ/ කතුවරිය ගේ හඬ වඩාත් පැහැදිලිව, ප්රබලව සහ කලාත්මකව පාඨකයා වෙත ළඟා වන්නේ ද යන්නෙනි.
ඒ අනුව සංස්කාරක ග්රන්ථ නිෂ්පාදන ක්රියාවලියේ අතුරු චරිතයක් නොවේ. ඔහු සාහිත්යයේ ගුණාත්මකභාවය ආරක්ෂා කරන, කතුවරයා ගේ/ කතුවරිය ගේ නිර්මාණාත්මක ගමනට විචාරශීලී සහාය සපයන සහ පාඨක ප්රජාවට වඩාත් සාර්ථක කියවීමේ අත්දැකීමක් ලබාදීමට දායක වන වෘත්තීය සහකරුවෙකි.
සාහිත්ය ක්ෂේත්රයක් පරිණත වන්නේ ලේඛක ලේඛිකාවන් වැඩි වීමෙන් පමණක් නොවේ. ලේඛකයා ගේ/ ලේඛිකාව ගේ නිර්මාණශීලීත්වයට ගරු කරන අතර ම, කෘතියේ දුර්වලතා අවංකව පෙන්වා දිය හැකි, දැනුමෙන් සන්නද්ධ හා ස්වාධීන සංස්කාරකවරුන්ට එම ක්ෂේත්රය තුළ නිසි ස්ථානයක් හිමි වූ විට ය.
සටහන - චතුරංග අමරතුංග
උපුටා ගත්තේ Chathuranga Amarathunga ගේ face book පිටුවෙන්



