මා ඉදිරියේ පොත් දෙකක් තිබේ. එකක් කේ. කේ ශ්‍රීනාත් විසින් රචිත 'බුදුන්ගේ රස්තියාදුව' යන කෘතිය යි. අනෙක කේ.කේ සමන් කුමාර විසින් රචිත 'නේරංජනේ ස්නානේ' යන කෘතිය යි. තිස්ස ජනනායක නම් ප්‍රසිද්ධ ජීව විද්‍යා ගුරුවරයා බුදුන්ගේ රස්තියාදුව නමැති කෘතිය කේ.කේ .සමන් කුමාර නම් නිරාගමිකයකු විසින් රචිත යැයි තතු හරි හැටි නොදැන ප්‍රකාශ කරයි.
කේ. කේ. සමන්කුමාරට එරෙහි ව අවි ඔසවන්නෝ
''සර්පයෙකු හා සටන් වැද'', ''නගා මැරුඅල'' යනාදි වශයෙන් වූ කේ. කේ සමන් කුමාර ගේ බොහොමයක් කෘති මා කියවා ඇත. ඒවායේ වෙනම මානයන් පවතින බව සැබෑ ය. ඒවා ගැඹුරින් අධ්‍යයනය කළ යුතු කෘති බව කිවයුතු ය. 'නේරංජනේ ස්නානේ' කෘතියේ ස්ත්‍රියක ගේ බුද්ධත්වය සමග බැඳුණු සංකීර්ණතා අන්තර්ගත ය. කෙටියෙන් කිවහොත්, "නේරංජනේ ඉස්නානේ" යනු හුදු විනෝදාස්වාදය සඳහා ලියැවුණු කතාවක් නොව, ස්ත්‍රීත්වය, ආශාව, ආගමික සම්මතයන් සහ සමාජ සදාචාරය, දේශපාලනික හා දාර්ශනික දෘෂ්ටියකින් ප්‍රශ්න කරන අසම්මත ගණයේ රැඩිකල් සාහිත්‍ය නිර්මාණයකි. එබැවින් මෙම නිර්මාණ සම්බන්ධයෙන් සාම්ප්‍රදායික මත දරන්නනෝ කේ.කේ සමන් කුමාරට එරෙහිව අවි ඔසවති.
සුජිත් අක්කරවත්ත ඒ පිළිබඳව මෙසේ ප්‍රකාශ කර ඇත.
"එක් අතකින් මාරක අත්හදා බැලීමක් සමන් කරන්නේ ස්ත්‍රියකට බුදු විය හැකි යැයි ද ස්ත්‍රිය බුදු විය යුතු යැයි ද පතමින් සිතමින් තන්ත්‍රයානික සදාර්ශනිකත්වයේ බහා ගොතන නේරංජනේ ස්නානේ ඔස්සේය. එය එකල සිංහල බෞද්ධ අන්තයේ පිළිකුලට ලක් විය. එනමුත් ජාතිකවාදය ඇතුළත හුන් නූතන ජාතිකවාදී ගෝත්‍රය සැබවින්ම එයින් ප්‍රහර්ෂයට පත් වූ බව සිහි කළ යුතු ය. මෙම පොත එළිදැකීමත් සමග ස්ත්‍රීවාදය හා බෞද්ධත්වය අතර ගැටීමක් මැද වුව ද බැඳීමක් ඇති වූයේ ය."
සමන්, ටෙනිසන් සහ සයිමන්
කේ.කේ සමන් කුමාර
තෙරවාදීමහාවංශික හෝ මහා විහාරික සම්ප්‍රදාය තුළ ස්ත්‍රියකට සම්මා සම්බුද්ධත්වයට පත්විය නොහැකි ය. ඒ සඳහා පුරුෂයකු වශයෙන් පාරමිතා පිරිය යුතුය යන මතය තදින් මුල් බැසගෙන ඇත. සමන්ගේ කෘතිය තුළ මෙය අභියෝගයට ලක්වේ. ටෙනිසන් පෙරේරා ගේ 'සක්වල දඩයම' කෘතිය තුළ මෙම සාම්ප්‍රදායික මත අභියෝගයට ලක් කර ඇත. තව ද සයිමන් නව ගත්තේගම ගේ කෘති තුළද මෙම ප්‍රඥා මාර්ගික බුදුදහම ඉදිරියට ගලා යයි. යථාර්ථවාදී නවකතාවක් වූ මාර්ටින් වික්‍රමසිංහ ගේ බව තරණය කෘතිය තුළ ද බුදුන් වහන්සේ වටා වූ ඇතැම් මිථ්‍යා ප්‍රශ්න කෙරේ. බුදුරජාණන් වහන්සේ ගේ අසමසම ප්‍රඥා මහිමය, කරුණාව, දයාව, මුදිතාව, උපේක්ෂාව සහ ලෝක සත්ත්වය කෙරෙහි අනන්ත කැපවීම නිරූපණය කරමින් උන්වහන්සේ කෙරෙහි පවත්නා භක්තිය සිය දහස් වර්ග වරකින් ඔප් නං වන ''අමා වැස්ස'' නවකතාව ජයසේන ජයකොඩි විසින් නිර්මාණය කරබු ලැබ ඇත. එය සද්ධා මාර්ගික බුදු දහම නියෝජනය කරන කෘතියකි.
සාහිත්‍යකරුවන්ට මෙම නිර්මාණ එළිදැක්වීමට සම්පූර්ණ නිදහස තිබේ. සමාජය කළ යුත්තේ ඒවා මැනවින් හදාරා ඒ පිළිබඳ සංවාදයකට යෑම ය.
බුදුන්ගේ රස්තියාදුව සහ කේ. කේ. ශ්‍රීනාත්

බුදුන්ගේ රස්තියාදුව කේ. කේ. ශ්‍රීනාත් ගේ කෘතියකි. කෘතියේ නම දුටු සැණින් බොහෝ දෙනෙකු තුළ ඇති වූයේ ආගමික විරෝධී ආකල්පයක් වුව ද, ලේඛකයාට අනුව මෙහි "රස්තියාදුව" යන්නෙන් අදහස් කරන්නේ "බුදුන්ගේ අභිනිෂ්ක්‍රමණය යන්නයි. කිසියම් උතුම් අරමුණක් හෝ සත්‍යයක් සොයා ස්ථාවර තැනක නොරැඳී යන ගමන ඔහු රස්තියාදුව ලෙස අර්ථ දක්වයි. මෙම පොතෙහි අන්තර්ගත ඇතැම් වචන මාලා සහ සිද්ධාර්ථ කුමාරයා ගේ උපත හා සම්බන්ධ සිදුවීම් විග්‍රහ කර ඇති ආකාරය බුදු දහමට සහ බුද්ධ චරිතයට නිගරුවක් වන බව පවසමින් දේශපාලන සහ ආගමික නායකයින් මෙයට දැඩි ලෙස විරෝධය දැක්වූහ. එම හේතුවෙන් කෘතිය ප්‍රකාශයට පත් වූ මුල් වකවානුවේ දී ම පොලිස් පරීක්ෂණ සහ නීතිමය තහනමකට ද ලක් විය.
විශාලතම ඛේදවාචකය
ඉතින් මා ඔබට ආරාධනා කරන්නේ මෙම කෘති කියවන ලෙස ය. මේවායේ අඩංගු සංඥාර්ථ ඔස්සේ මතු කරන ගැඹුර වටහා ගැනීම එකවර අපහසු විය හැකි ය. මේවා සාම්ප්‍රදායික ආගමට එරෙහිවූ තර්ජන ලෙස බොහෝ දෙනකුට දැනෙන්නට එය ද එක් හේතුවක් වී ඇතැයි සිතේ.

තිස්ස ජනනායක ගේ අදහස් දැක්වීමෙන් පෙනෙන්නේ ඔහු මේ කෘති පිළිබඳව හොඳින් හදාරා නොමැති බව යි. තව ද බුද්ධත්වය පිළිබඳව සමාජය ඇත්තේ පටු අදහසකි. බුද්ධ යන්නෙහි මුල් අර්ථය වන්නේ අධ්‍යාත්මිකව පූර්ණ ලෙස අවදි වූ ස්වභාවයයි. එම ස්වභාවයට පත් වූ තැනැත්තා බුදුවරයෙකි. නමුත් අපේ සමාජය බුද්ධ යැයි කියූ පමණින් එයට දෙන එකම අර්ථය වන්නේ සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ ය. නමුත් උන්වහන්සේ එක් බුදුවරයෙක් පමණි. බුද්ධ ස්වභාවය සෑම මිනිසෙකුගේම අභ්‍යන්තරයේ අවිද්‍යාවෙන් වැසී පවතී. එම අවිද්‍යාව දුරු කිරීමෙන් ඕනෑ ම අයෙකුට බුද්ධ ස්වභාවය අත්දැකිය හැකි ය. නමුත් මෙම සත්‍යය වෙනත් මතවාද රැසකින් වසා දමා ඇත.
විශාලතම ඛේදවාචකය වන්නේ එය යි.
උපුටා ගත්තේ Senarath Bandara ගේ face book පිටුවෙන්




