leader s

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වර්තමාන රජය දේශපාලන තීන්දු ගැනීම හේතුවෙන් ජන ජීවිතයට හානිකර ලෙස බලපාන සිදුවීම් රැසක් හටගෙන ඇති බවට බැංකු ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතියක් චෝදනා කරයි.


 විදුලිබලය, බල ශක්තිය ඇතුළු භාණ්ඩ හා සේවා රැසක හිඟයට මෙම තීරණ බලපා ඇති බවයි ලංකා බැංකු සේවක සංගමය පවසන්නේ.

''මෙයට මූලික හේතුව වන්නේ රජයේ ආනයන ප්‍රතිපත්තිය සහ කෘතිමව රුපියලේ අගය පවත්වාගෙන යාමට දරන උත්සාහයයි.''



 අර්බුද පවතින මෙවැනි අවස්ථාවක ආනයන, ප්‍රමුඛතා මත පෙළගස්වනවා වෙනුවට හදිසියේ ඇතිවන අවශ්‍යතා මත ඒවා පෙළගැස්වීමෙන් දැනට හිඟව පවතින විදේශ විනිමය මෙන්ම දේශීය රුපියල් හිඟයට ද දොර ඇරී ඇති බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක පවසයි.



විශේෂයෙන්ම විදේශ මුදල් සංචිත පවත්වාගෙන යන රාජ්‍ය බැංකුවල සංචිත මෙම ක්‍රියාවලිය හරහා තර්ජනයට ලක්ව ඇති අතර රුපියලේ අගය කෘතිමව ස්ථාවර කිරීමට ගන්නා උත්සාහය තුළ විදේශ ප්‍රේෂණ සහ ඍජු විදේශ ආයෝජන හිඟ වී ඇති බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ.

 මෙවැනි තත්වයන් තුළ මතභේදයට තුඩුදුන් පොහොර නැවට ණයවර ලිපි විවෘත කිරීම හරහා මහජන බැංකුව අසාදුගත ලේඛනයට ඇතුළත් වීම, හදිසි තත්වයන් තුළ රටට ගෙන්වන තෙල් නැව්වලට ගෙවීමට සිදුවීම් නිසා ලංකා බැංකුවේ විදේශ මුදල් සංචිත තර්ජනයට ලක්වීම ආදිය නිසා දීර්ඝ කාලීන ආර්ථික අර්බුදයකට මෙන්ම ජන ජීවිතයට පීඩනය එල්ල වන තත්වයන් නිර්මාණය වෙමින් පවතින බවත් නිවේදනයක් නිකුත් කරමින් වෘත්තිය සමිති නායකයා පෙන්වා දී තිබේ.

 එම නිවේදනය  හරහා ලංකා බැංකු සේවක සංගමය රජයට බලකර ඇත්තේ පවතින ආර්ථික අර්බුදයට සාධාරණ විසඳුමක් ලබාදී ඒ සඳහා නිසි සැලසුම් සකසා ආනයන ප්‍රමුඛතා පෙළගස්වා, රුපියල බලහත්කාරයෙන් ස්ථාවර කර ගැනීමට දරන උත්සාහයන් වහා නවත්වා මෙතැන් සිට හා දැනටමත් ස්ථාවරව පවතින බැංකු පද්ධතියේ මූල්‍ය ස්ථාවරත්වය තර්ජනයට ලක් කිරීම නවත්වන ලෙසයි.

 
 

  

 Leader Whats app

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්