සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ජීවිත කතාව ඡායාරූපයෙන් කියන ග්‍රන්ථයක් නිකුත් වෙයි.


1960 ජූලි මාසයේ දී ලොව ප්‍රථම අගමැතිනිය ලෙස තේරී පත්වෙමින් ඉතිහාසගත වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දීර්ඝ හා කීර්තිමත් මහජන ජීවිතය පිළිබඳ දුර්ලභ ඡායාරූප රැසක් සහිත SRIMAVO: Streering the Destiny of a Nation නම් ඡායාරූපමය චරිතාපදානය (Coffee table bool) ලෝක කාන්තා දිනය සමරන මාර්තු 08 වනදා ප්‍රකාශයට පත්වේ.

මෙම කෘතිය මගින් ජාතික සහ ජාත්‍යන්තර ක්ෂේත්‍රයන්හි නව මංපෙත් දැල්වූ රාජ්‍ය නායිකාවගේ අසාමාන්‍ය චරිත කතාව නැවුම් ආකෘතියක් ඔස්සේ ඉදිරිපත් කරයි.

බණ්ඩාරනායක කෞතුකාගාරය, ජාතික ලේඛණාරක්ෂණාගාරය හා එක්සත් ජාතීන්ගේ ලේඛනාගාරය ඇතුළු විවිධ ආයතනවලින් ලබා ගත් ඓතිහාසික වටිනාකමක් ඇති ඡායාරූප 300 කට ආසන්න ප්‍රමාණයක් මෙම පොතේ ඇතුළත්ය. බොහෝ ඡායාරූප මීට පෙර කිසිදා ප්‍රසිද්ධියට පත්ව නොතිබීම ද විශේෂත්වයකි.


ඡායාරූපවලට මුල් තැන දෙමින්, ඒවායේ සන්ධර්භය සැකෙවින් විස්තර කරන පෙළ සටහන් විස්තර කරන්නේ බණ්ඩාරනායක මැතිනිය අනපේක්ෂිතව දේශපාලනයට පිවිසුණත්, එතැන් පටන් අධිෂ්ඨානශීලී සහ දූරදර්ශී ලෙසින් දෙස් විදෙස් අභියෝග රැසක් කළමණාකරණය කර ගත් ආකාරයයි.


ඇය මුහුණ දුන් අදේශීය අභියෝග අතර 1962 ජනවාරියේ අසාර්ථක වූ හමුදා කුමන්ත්‍රණය, 1971 අප්‍රෙල් සන්නද්ධ තරුණ නැගිටීම, සහ 1970 දශකය මුලදී ගෝලීය ඉන්ධන සහ ආහාර අර්බුදයන් මුල්තැන ගනී.

ශ්‍රී ලංකාවේ විදෙස් සබඳතා අභිමානවත් වූ යුගයක් පිළිබඳ විදේශීය ඡායාරූප රාශියක් සාක්ෂි දරයි. සීතල යුද්ධයේ උච්චතම අවධියේ ඇමෙරිකානු සහ සෝවියට් බල කඳවුරු දෙක සමගම සබඳතා තුලනය කර ගත් බණ්ඩාරනායක මැතිනිය, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ලෙසද වසර 12 ක් කෘතහස්තව සේවය කළ හැටි ඡායාරූපවලින් නිරූපණය වෙයි.

SRIMAVO: Streering the Destiny of a Nation ග්‍රන්ථයේ පෙරවදන ලියා ඇත්තේ බණ්ඩාරනායක මැතිනියගේ දෙවන ධූර කාලයේ අගමැති ලේකම් ලෙස කටයුතු කළ විශ්‍රාමික පරිපාලන නිලධාරී දේශමාන්‍ය එම්.ඩී.ඩී. පීරිස් විසිනි.


බණ්ඩාරනායක මැතිනියගේ වැදගත් රුවන්වැකි 22 ක්ද, ඇය සමඟ වැඩ කළ ජ්‍යේෂ්ඨ නිළධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින්, ස්වාධීන විද්වතුන් සහ විදේශීය මාධ්‍යවේදීන් ඇතුළු ඇයගේ සමීපතමයින්ගේ ප්‍රකාශයන් 21 ක් ද කෘතියේ අඩංගු වේ.


සිය සැමියාගේ ඝාතනයෙන් ටික කලකට පසු මැතිවරණ දේශපාලනයට පිවිසි බණ්ඩාරනායක මැතිනිය තෙවරක් ශ්‍රී ලංකාවේ (1960-1965, 1970-1977 සහ 1994-2000) අගමැති ලෙස කටයුතු කළාය. ඇයගේ පළමු සහ දෙවන ධූර කාලය තුළ සමගාමීව ආරක්ෂක අමාත්‍යවරිය සහ විදේශ කටයුතු අමාත්‍යවරිය ද වූවාය. ඇය අවස්ථා දෙකෙකදී (1965-1970 සහ 1989-1994) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකාව වූවාය.

මෙම දුරලභ ඡායාරූප රාශියක් වසර ගණනාවක් තිස්සේ සංරක්ෂණය කොට පිටපත් කරන ලද්දේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී සරත් පෙරේරා විසිනි. පෙළ සහ ඡායාරූප සටහන ලේඛක නාලක ගුණවර්ධනගේය.

මෙම කෘතියේ දෘෂ්‍ය සංකල්පනය හා මුද්‍රණ අලංකරණය ඩබ්ලිව්. එම්. කේ. විජයබණ්ඩාර විසින් සිදුකළ අතර, සුනේත්‍රා බණ්ඩාරනායක ගේ මග පෙන්වීම යටතේ මෙම කාර්යය සම්බන්ධීකරණය කරන ලද්දේ ජාත්‍යන්තර සබඳතා සඳහා වන බණ්ඩාරනයක මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය රංජිත් කබ්රාල් ය.

SRIMAVO: Streering the Destiny of a Nation කෘතිය පිටු 444 කින් සමන්විත වන අතර ඝණ කවරයක් ද සහිතය. එය බණ්ඩාරණයක කෞතුකාගාර කමිටුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

සීමිත සංස්කරණයේ මිල රුපියල්, 3,000 ක් වන අතර එය බෙදා හරිනු ලබන්නේ සරසවි පොත්හල විසිනි.

 

 

Leader Whats app

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්