නැවතත් වරක් ජනාධිපතිවරණයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.



සමගි ජන බලවේගය ඊයේ (15) කොළඹදී පැවැත්වූ දැවැන්ත විරෝධතා පෙළපාලිය අමතමින් සජිත් ප්‍රේමදාස ඒ බව අවධාරණය කළේය.

"රට විනාශයි - දැන් ඇති - තවත් වනසන්න දෙන්න බෑ" යන තේමාව යටතේ මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති රැළිය ඇමතු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේ සඳහන් කළේය.

"එදා කිව්වේ අතිගරු ජනාධිපතිතුමා කියලා. අද කියන්නේ ඇති ගරු ජනාධිපතිතුමා කියලා. දැන් අවුරුදු 2ක් ජනතාව දුක්විඳිනවා. තවත් මේ දුක උහුලන්න පුළුවන්ද ? අපි ආවේ රට කාබාසිනියා කරපු ආණ්ඩුවට ගෙදර යන්න කියන්න. ආණ්ඩුව ගෙදර යවන්න ඔබ සූදානම්ද?"

"දැන් එක එක්කෙනා එනවා අපිත් එක්ක දේශපාලන ඩීල් දාන්න. මෙච්චරකල් ඔය දාපු ඩීල් සිදුවුණේ කොහොමද? ඇමතිකම්, සභාපතිකම්, නිලතල දීම මත ඩීල් දේශපාලනය සමගි ජන බලවේගය කරන්නේ නෑ."

"මම අවසාන ඉල්ලීමක් කරනවා. කරුණා කරලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ ජනතාව අනාථ කරන්නැතුව පිං සිද්ධවෙයි.. එක්කෝ ගෙදර යන්න. එහෙම නැත්තම් ජනතාවට ඒ තීන්දුව ගන්න ජනාධිපතිවරණයක්.."

 

"අපිට ඕනේ නැවතත් වරක් ජනාධිපතිවරණයක්. වෙන මොනවත් නෙමෙයි. පුළුවන් නම් ජනාධිපතිවරණය පවත්වන්න.. එදාට රටේ ජනතාව වැඩ පෙන්වයි. මේ ආණ්ඩුවට මේ රටේ වෙන විකල්පයක් නෑ. සමගි ජන බලවේගයයි විකල්පය."

 

2019 වසරේ නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ හමුවේ, සජිත් ප්‍රේමදාස විශාල ඡන්ද සංඛ්‍යාවකින් පරාජයට පත්විය. ව්‍යවස්ථානුකුලව යලිත් මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇත්තේ 2025 වසරේදීය.




 

''ආණ්ඩු මාරු කරන එක නෙමෙයි දැන් කරන්න ඕනේ'' - රනිල්


සජිත් ප්‍රේමදාස හදිසි ජනාධිපතිවරණයක් ඉල්ලා මෙසේ උද්ඝෝෂණ සිදුකරද්දී, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ රට මුහුණදී සිටින අර්බුද විසඳීමට සියලු පක්ෂ එක්වී පොදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර වසර දෙකක් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් පසු මැතිවරණවලට යා හැකි බවයි.

'' ආණ්ඩු මාරු කරන එක නෙමෙයි දැන් කරන්න ඕනේ. මේ තියෙන තත්ත්වය විසඳ ගන්න. නැත්නම් ඊළඟ මාස කිහිපයේ අපිට රටක් නැති වෙයි. මෙතෙන්ට ඕනේ  ජාතික ආණ්ඩු නෙමෙයි. ජාතික එකඟතාවක්. අපේ දේශපාලනය කුමක් වුනත් මේක අපේ රට. අපි පළමුවෙන්ම රට බේරා ගන්න ඕන ...'' හිටපු අගමැතිවරයා එබව කියා සිටියේ, පසුගිය 13 දා කිරුළපන පැවති එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනට එක්වෙමිනි.

රට ගොඩනැගීමට නම් වහාම කළ යුත්තේ ජාතික ආණ්ඩු සෑදීම නොව ජාතික එකඟතාවක් ඇති වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම බව ඔහු එහිදී අවධාරණය කළේය.




සබැඳි පුවත්


රනිල්ගෙන් බරපතල අනතුරු ඇඟවීමක් - 'මෙහෙම ගියොත් අපිට රටක් නැතිවෙවි '

 
 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්