අව්වේ වේලෙමින් වැස්සට තෙමෙමින් අපේ රටේ බහුතර ජනතාව අද ඩීසල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල, බෙහෙත් පෝලිම්වල දුක් විඳින බව පවසන හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල,  ජනතාවටට එසේ දුක් ගැහැට විඳින්න

සිදු වුයේ  මුදල් ඇමතිගේ වරදින් බවට චෝදනා කර සිටියි.

ඔහු එබව කියා සිටියේ, බොරැල්ල එන් එම්එම් පෙරේරා මධ්‍යස්ථානයේ අද (16) පැවති 'මුළු රටම හරිමගට' මාධ්‍ය හමුවේ දීය.

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල එහිදී මෙසේද සඳහන් කළේය.


අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය 



''පසුගිය වසරේ අපේ ආනයන වියදම ඩොලර් බිලියන 20.6යි.  ඒක ඉතිහාසයේ වාර්තා වුණු ඉහලම ආනයන අගයක්. එයින් ඛනිජතෙල්, ගල් අඟුරු, ගෑස්, ඖෂධ සහ වෛද්‍ය උපකරණ යන අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට වැය කරලා තිබෙන්නේ ඩොලර් බිලියන 4.6යි.  අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සඳහා ඩොලර් බිලියන 6කට ආසන්න මුදලක් වැය කරලා.

2020 ඔක්තෝම්බර් මාසයේ 20 වෙනිදා ඉදන් ආණ්ඩුවට කියූ ආකාරයට අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආණයනය සීමා කලා නම් අද අත්‍යාවශ්‍ය භාණ්ඩ සදහා පැයගණන් නෙවෙයි දවස් ගණන් මෙ රටේ ජනතාවට පෝලිම් වල දුක් විදින්න වෙන්නේ නෑ.

2020 ඔක්තෝම්බර් මාසයේ 26 වෙනිදා ඒවකට රාජ්‍ය අමාත්‍ය නිවාඩ් කබ්රාල්, අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ කලා ආර්ථික අර්බුදයක් කරා යමින් ඉන්නවා ඉන් ගොඩ ඒමට ගත යුතු පිළියම්. ඒම නිර්දේශයන්හි 26 වෙනි පිටුවේ නිර්දේශ කරන්නේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සීමා කල යුතුයි කියන එක.



ඒදා ඒ දේ නොකල නිසා පිළිකා රෝගයට‌, හෘද රෝගයට ‌බෙහෙත් නැතිව මේ රටේ කවුරුන් හෝ මිය යනවනම් ඒ සෑම මරණයකම වගකීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ බාරගත යුතුයි. පෝලිම් වල දුක් විදින ජනතාවගේ අදෝනා වලට වගකීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ භාරගත යුතුයි.



2021 ඔක්තෝම්බර් 1 දා මහ බැංකුව විසින් ආර්ථිකය ගොඩ දාන මාස හයක සැලසුමක් හදලා මුදල් ඇමතිට දුන්නා, මේකට ඇමති මණ්ඩල අනුමැතිය අරන් දෙන්න කියලා. මම අමාත්‍ය දූරයේ සිටිය දී විදේශ ගතවූ ඒක් අවස්ථාවක් හැර සෑම අමාත්‍යමණ්ඩල රැස්වීමකටම සහභාගී වුනා. අද දක්වාම මේ වාර්ථාව ඇමතිමණ්ඩලයේ අනුමැතිය සදහා මුදල් අමාත්‍යවරයා විසින්  ඉදිරිපත් කර නෑ.

ඒ නිසා තමයි අපි කියන්නේ, මේ රටේ ආර්ථිකය කඩා බිද දැමීම සදහා මුදල් අමාත්‍යවරයා සිතා මතා සැලසුම් සහගතව කටයුතු කරණවා කියන චෝදනාව අපි එල්ල කරන්නෙ මේ වගේ කරුණු නිසයි.  


රුපියල කඩා වැටීමට හේතු පොකුරක්


ඉන්ධන මිල ඉහල නැංවීමට වඩාත් බල පෑ රුපියල පා කිරීමේ දී මෙතරම් දරුණු කඩා වැටීමක් සිදු වුණේ රුපියලේ විනිමය අනුපාතය වසරකට වඩා වැඩි කාලයක් කෘතිමව අල්ලා ගෙන සිටීමේ ප්‍රතිඵලයක් ලෙසයි. දැවැන්ත ඩොලර් කළු කඩයක් බිහි වුණා. බැංකු පද්ධතිය හරහා මේ රටට ඩොලර් ඒවූ විදෙස්ගත ශ්‍රමිකයන් මේ කළු කඩය හරහා ඩොලර් එවන්නට පටන් ගත්තා.



මැද පෙරදිග රස්සාව කරන ලාංකිකයෙක් ඒ රටේ දී කළු වෙළඳපොලට ඩොලර් සීයක් දුන්නොත් පැය කිහිපයක් ඇතුලත ලංකාවේ ගමේ ඉන්න අම්මාට දුරකතන ඇමතුමක් ලැබෙනවා. ඊට පස්සේ තාත්තාගේ බෙහෙත් තුණ්ඩුව වට්ස්ඇප් කර ගන්නවා. අම්මාගේ කඩෙන් ගන්න බඩු ලැයිස්තුව වට්ස්ඇප් කර ගන්නවා. දවස ඇතුලත බඩුත් අරගෙන ගෙදරට යනවා.  

ඉතිරි සල්ලි අම්මා අතට දීලා ලදුපතක් අත්සන් කර ගන්නවා.  ඊට පස්සේ අම්මා තාත්තා එක්ක ඉඳලා සෙල්ෆියක් අරගෙන සෙල්ෆියයි බිල් ටිකයි අම්මා අත්සන් කල ලදුපතයි පුතාට වට්ස්ඇප් කරනවා. මේ සියල්ලටම යන්නේ පැය විසි හතරයි.


කළු කඩෙන් ලබා දෙන සේවය බැංකුවලට ලබා දෙන්න පුළුවන් ද?



දැන් බැංකුවෙන් ඩොලරයට රු275ක් ගෙවනවා කියලා මේ තරුණයා නැවත බැංකු පද්ධතිය හරහා ලංකාවට සල්ලි එවයි ද?  කළු කඩෙන් ලබා දෙන සේවය බැංකුවලට ලබා දෙන්න පුළුවන් ද?

බැංකුවට සල්ලි එව්වාම සල්ලි එවලා දවසක් දෙකක් බලාගෙන ඉන්න වෙනවා ගිණුමට සල්ලි එනතුරු.  සල්ලි බැංකුවෙන් ගන්න අම්මාට පෝලිමේ ඉන්න වෙනවා. ඊ ලඟට ෆාමසියේ සුපිරි වෙලඳසැලේ පෝලිම්වල ඉන්න වෙනවා. වයසක අම්මාට ඒ දුක දෙනවාට වඩා හොර ක්‍රමයට සල්ලි එවන්න පුතා කැමැතියි.

දැන් රුපියල පා කළ පමණින් එදා බැංකු පද්ධතිය හරහා ගනුදෙනු කළ අය නැවත බැංකු පද්ධතිය වෙත පැමිණේවියැයි කියලා අප නම් හිතන්නේ නැහැ. නැති කරගන්න එක ලේසි ආපහු ගෙන්න ගන්න එක නම් අමාරුයි.


බරපතල ලෙස මුදල් අච්චු ගැසීම...



මේ හේතු වලට අමතරව බරපතල ලෙස මුදල් අච්චු ගැසීම, උද්ධමන වේගයට වඩා අඩු අනුපාතයකින් පොලිය පවත්වා ගෙන යෑමෙන් ජනතාව ඉතිරි කිරීම වෙනුවට පරිභෝජනය පෙලැඹීම, අපනයන ආදායම සහ ආනයන වියදම අතර දැවැන්ත පරතරයක් පවත්වා ගෙන යෑම සහ ආනයන භාණ්ඩ මත රැඳෙන වැඩ ලක්ෂය වැනි නව ව්‍යාපෘති ඇරඹීම වැනි ආර්ථික විද්‍යාත්මක කාරණා ගණනාවක් රුපියල බරපතල ලෙස කඩා වැටීමට බල පා තිබෙනවා.

වත්මන් ආණ්ඩුවත් 77 සිට බලයේ සිටි සෑම ආණ්ඩුවක් ම මේ රුපියල බරපතළ ලෙස කඩා වැටිලා උද්ධමනය ඉහළ යාමට වගකීම භාරගන්න සිද්ධ වෙලා තියෙනවා.



 අපි අනුගමනය කරපු වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසයි රුපියල කඩා වැටිල දැවැන්ත උද්ධමනයකට මුහුණ පාන්නට සහ පීඩනයට ලක් වන්නට අපේ රටේ ජනතාවට සිද්ධවෙලා තියෙන්නේ කියලා අපි සිහිපත් කරන්නට ඕන.


 

 
 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්