පවතින අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා කඩිනම් පියවරක් ලෙස සියලු දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි පත්කළ ඇමතිවරු පහළොස් දෙනෙකුගෙන් සමන්විත කෙටි කාලීන අන්තර්කාලීන ජාතික ආණ්ඩුවක් පිහිටුවිය
යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසයි.
රට වැටී තිබෙන බැරෑරුම් තත්ත්වය තේරුම් ගෙන ජනපතිවරයාගේ සිට සියලු දෙනා මේ මොහොතේ රට වෙනුවෙන් යම්කිසි පරිත්‍යාගයක් කළ යුතුව තිබෙන බවත් මෙය සියලු දේශපාලන පක්ෂ එකට එකතු වී කටයුතු කළ යුතු මොහොතක් බවත් ඔහු කියා සිටියි.
රටේ ආර්ථික හා දේහාපාලන අර්බුදයට විසඳුම් ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉදිරිපත් කර තිබෙන කරුණු 13කින් යුත් යෝජනාවලිය මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමට පිළිගැන්වීමෙන් අනතුරුව ඊයේ (මැයි 3) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සාලිය පීරිස්මේ බව ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා වරලත් ගණකාධිකාරී ආයතනය නියෝජනය කරමින් ද නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
එහිදී නීතිඥ සංගමයේ සභාපතිවරයා මෙලෙස අදහස් පළ කළේ ය.
අගමැති කව්ද ?
“රට පත්වෙලා තිබෙන ඉතාමත් ම බරපතළ තත්ත්වයෙන් මුදා ගැනීමට කරුණු 13ක් යටතේ අපි යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. දේශපාලනික වශයෙන් කළ යුතු වෙනස්කම් සහ ආර්ථික වර්ධනය උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහි සඳහන් වෙනවා.
අපි මේකට වෘත්තිය සංගම් ගණනාවක් එකතු කරගෙන තිබෙනවා. රට වෙනුවෙන් කැපකිරීමක් කරන්න කියලා සියලු දේශපාලනඥයින්ගෙන් අපි ඉල්ලා සිටිනවා. මේ වෙලාවේ දේශපාලනඥයින් රාජ්‍ය තාන්ත්‍රිකයින් ලෙස කටයුතු කළ යුතු බව තමයි අපේ විශ්වාසය.
20 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා වහා ම දහනව වන ව්‍යවස්ථා සංශෝධනය ගේන්න ඕන කියන එක අපේ එක් යෝජනාවක්. ඇමතිවරු පහළොස් දෙනෙකුගෙන් යුතු ජාතික ආණ්ඩුවක් කඩිනමින් ගොඩනැගිය යුතු අතර එහි අගමැති විය යුත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල එකඟත්වය ඇතිකර ගන්න පුළුවන් පුද්ගලයා යි.
ඇමති මණ්ඩලයට උපදෙස් දෙන්න 15 දෙනෙකුගෙන් සමන්විත විද්වත් උපදේශක සභාවක් අපි යෝජනා කරනවා. විධායක ජනපති ක්‍රමය නිශ්චිත කාලයකදී අහෝසි කළ යුතු ය. මාස 6ක් තුළ අවශ්‍යය කරන නීති ගෙනල්ලා ඒක ක්‍රියාත්මක කරන්න ඕන. උපරිමයෙන් මාස 15ක් ඇතුළත විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතු බව අපේ අදහස යි.
විශ්වාසභංග යෝජනාව සම්මත වුණත් නැතත් අපි යෝජනා කරන්නේ ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න කියලයි. විශ්වාසභංග යෝජනාව සම්මත වුණත් මේ යෝජනාවලිය ක්‍රියාත්මක කළ හැකියි.
රටේ ආර්ථිකය වැටී තිබෙන තත්ත්වය සම්බන්ධව ගොඩක් දෙනෙකුට නිසි අවබෝධයක් නැහැ. මේ නිසා ඉතා ඉක්මනින් මේ යෝජනා ක්‍රියාත්මක කළ යුතුයි. දේශපාලන ස්ථාවරභාවයක් නොමැතිව ආර්ථික ස්ථාවර භාවයක් ඇති කරන්න විදිහක් නැහැ.
මේ රටේ ජනතාව සාධාරණ ලෙස උද්ඝෝෂණ කරන්නේ, ඒ අයට තිබෙන ප්‍රශ්න නිසයි. ඒ විසම්මුති අයිතිය අපි ආරක්ෂා කරන්න ඕන.ඒකට අපි ඇහුම්කන් දෙන්න ඕන. එහෙම වුණොත් තමයි මේ අර්බුදය විසදන්න පුළුවන්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩපිළිවෙළක් තමයි අපි යෝජනා කරන්නේ. මේකේ තියෙන කරුණු සලකලා බලලා පවතින බරපතලකම තේරුම් ගන්න කියලා අපි හැමෝගෙන් ම ඉල්ලනවා. අවසානයේ මේ රටේ මිනිස්සුන්ට වාසිදායක දෙයක් කෙරෙන්න ඕන. තව ත් ජනතාව අසරණ තත්ත්වයට පත් කරන්න බැහැ.”