2021 වසරේ ජනවාරි මස 01 වනදා සිට නොවැම්බර් 03 වනදා දක්වා වූ කාලයට අදාළව පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස තේරීපත්වූ 126 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයක් සඳහා හෝ සහභාගී නොවූ නිලධාරීන් බව

අනාවරණ වී ඇත.

එම කාරණය අනාවරණය වී ඇත්තේ, පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කේ ජගත් අල්විස් වෙත යොමුකළ ලිපියකිනි.

2021 වසරේ ජනවාරි මස 01 වනදා සිට නොවැම්බර් 03 වනදා දක්වා වූ කාලය තුළ පත්කර ඇති පොලිස් ස්ථානාධිපති තනතුරු සංඛ්‍යාව 184 කි.

මීට අමතරව සම්මුඛ පරීක්ෂණයට සහභාගී වී පොලිස් ස්ථානාධිපති ධූරයක් සඳහා නිර්දේශ නොවූ නිලධාරීන් අතරින් 03 දෙනෙකු ද ස්ථානාධිපතිවරුන් ලෙස පත්ව ඇතැයි එම ලිපියේ සඳහන් වේ.



කිසිඳු පොලිස් ස්ථානයක ස්ථානාධිපතිධූරයක් නොදැරූ නිලධාරීන් 13 දෙනෙකු, ඒ 1 හෝ ඒ 2 පොලිස් ස්ථානයක ස්ථානාධිපතිධූරයට පත්ව ඇති බවත්, එවැනි තවත් නිලධාරින් 21 දෙනෙකු එකවර ඒ 3 පොලිස් ස්ථානයක ස්ථානාධිපතිධූරයට පත්ව ඇති බවත් පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමු කළ ලිපියේ සඳහන් වේ.



බී හෝ සී ශ්‍රේණියේ පොලිස් ස්ථානයක ධූරයක් දැරූ නිලධාරීන් 19 දෙනෙකු නියමිත පටිපාටියෙන් තොරව එකවර ඒ 2 සහ ඒ 1 ශ්‍රේණියේ ස්ථානාධිපතිවරයෙකු ලෙස ද පත්ව ඇත.

පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කේ ජගත් අල්විස් වෙත 2021 වර්ෂයේ දෙසැම්බර් මස 06 වන දිනැතිව මෙම ලිපිය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලනය පවත්වාගෙන යාම සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමිනි. ඒ, රහසිගත ලිපියක් ලෙසයි.

නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා මෙන්ම පොලිස් ස්ථානය තුළ විනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වැදගත්ම තනතුර වන්නේ පොලිස් ස්ථානාධිපති තනතුර බව එහි දැක්වේ.

 එමෙන්ම එම තනතුරට අනන්‍ය වූ වගකීම් රැසක් ඇති බව ද පොලිස්පතිවරයා අදාළ ලිපියේ දක්වා තිබේ.

එමෙන්ම පොලිස් බලකායක සාර්ථකත්වය සඳහා, ඵලදායී බව හා වගවීම යනුවෙන් කරුණු 02 ක් බලපාන බවත් පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් ය.

 පොලිස් ස්ථානාධිපති ධූරයෙන් අපේක්ෂිත කාර්ය්‍යභාරයත්, ධූරය දරන්නාගේ ධාරිතාවය අනුව ඉටු කරන කාර්ය්‍යභාරයත් අතර පරතරය අවම කිරීම සඳහා එම ධූරවලට සුදුසුකම් සහිත නිලධාරීන් පත් කිරීම අනිවාර්ය්‍ය බව එම ලිපිය මගින් පෙන්වාදී ඇත.


ඉහත කරුණු සැලකිල්ලට ගැනීමේදී පොලිස් සේවයක සාර්ථකත්වය සඳහා ක්ෂේත්‍රයේ ප්‍රධානතම සාධකය වනුයේ පොලිස් ස්ථානාධිපතිධූරයයි. එබැවින් යහපත් හා සාර්ථක පොලිස් සේවයක් සඳහා පරිනත ස්ථානාධිපතිවරුන් ඔවුන්ගේ දක්ෂතාවය හා හැකියාව අනුව නිසිපරිදි තෝරා ස්ථානගත කිරීම අවශ්‍ය වේ.




''ස්ථානාධිපතිවරයෙකු පරිනතභාවය ලබාගන්නේ විවිධ අංශ, විවිධ ශ්‍රේණිවල සේවය කර ලබා ගන්නා අත්දැකීම් මගින්. එවැනි අත්දැකීම් නොමැති නිලධාරින් ඉහළ ශ්‍රේණියක පොලිස් ස්ථානයක ස්ථානාධිපති තනතුරට ඍජුව පත් කළහොත් පරිනතභාවය නොමැතිවීම හේතුවෙන් පරිපාලනය දුර්වලවී නිලධාරීන් දූෂිත ක්‍රියාවලට යොමුවනවා ..'' යයි  පොලිස්පතිවරයා යොමු කළ ලිපියේ සඳහන් වේ.

මේ අතර 2021 වසර තුලදී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධීන් 283 ක් සහ පොලිස් නිලධාරීන් විවිධ විෂමාචාරවලට සම්බන්ධ වීමේ සිද්ධි 359 ක්ද තමන්ට වාර්තා වී ඇති බව පොලිස්පතිවරයා යොමුකළ ලිපියේ දැක්වේ.

අදාළ කාලය තුලදි පොලිස් නිලධාරීන් 21 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්ව ඇති බවත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පොලිස් නිලධාරීන් 156 ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන බවට තවත් නිලධාරීන් 130 දෙනෙකු පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී ඇති බවත් පොලිස්පතිවරයා පවසයි.

එම නිලධාරීන් සම්බන්ධයෙන් බුද්ධ අංශ අනාවරණ කර ගන්නා තුරු එම තොරතුරු අනාවරණ කර ගැනීමට පොලිස් ස්ථානාධිපතිවරුන් අසමත්ව ඇති බව ද පොලිස්පතිවරයා යොමු කළ ලිපියේ සඳහන් වේ.



විශ්‍රාමික මේජර් ජෙනරාල් ගෙන් පොලිස්පතිට පිළිතුරු ලිපියක් :



මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට පොලිස්පතිවරයා එම රහස් ලිපිය යොමුකරනුයේ ඉකුත් දෙසැම්බර් 06 වෙනිදාය. පොලිස්පතිවරයාට ඊට පිළිතුරු ලිපියක් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ ජගත් අල්විස් විසින් යොමුකර ඇත. ඒ 2021 දෙසැම්බර් 13 වෙනිදාය.


මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එකී පිළිතුරු ලිපිය මගින් පොලිස්පතිවරයාට අවධාරණය කර ඇත්තේ, එම ලිපියෙහි අන්තර්ගත කරුණු අතරින් අවධානයට ලක්කර ඇති පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීම් ගැන බැවින් ශ්‍රී ලංකා පොලීසියේ අකාර්යක්ෂමතාවයට හේතුව ස්ථානාධිපතිවරුන් මතම බැර කිරීම කොතරම් යුක්ති සහගතද යන්න සොයා බැලිය යුතු බවය.

එම ලිපියෙහි මහජන ආරක්ෂක ලේකම්වරයා අවධාරණයකර ඇත්තේ ස්ථානාධිපතිවරුන් පත් කිරීමේදී පොලිස් මූලස්ථානයේ නිර්දේශ ප්‍රධාන සාධකයක් වන බැවින් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමේදී උක්ත ලිපියෙහි කරුණු කෙරෙහි අවධානය යොමුකරන ලෙසය.

පිටු දෙකකින් සමන් විත එම පිළිතුරු ලිපියෙහි මෙසේද සඳහන්ය.

“දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත්කර එම ලිපියෙන් ඔබ පෙන්වා දීමට උත්සහ කර ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියේ මෙවන් අකාර්යක්ෂම තත්වයකට වැටීමට ප්‍රධානතම හේතුව ස්ථානාධිපතිවරුන්ගේ අකාර්යක්ෂමතාවය යන්නයි.




ස්ථානාධිපතිවරුන් ඇතුළුව පරීක්ෂක ශ්‍රේණියේ මෙන්ම සෙසු නිලධාරීන්ගේ දැනුම හා කුසලතාවයන් වර්ධන කර ඒ අය නිසි මාර්ගයට යොමු කිරීම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වගකීම බව පෙන්වා දෙමි. එමෙන්ම නිලධාරීන් විසින් සිදුකරන විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ද නිසි පියවර ගැනීමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සතු වගකීමකි.



මෙම පසුබිම තුළ ජ්‍යෙෂ්ඨ අධික්ෂණ නිලධාරීන් තම වගකීම නිසියාකාරව ඉෂ්ට කිරීමෙන් ප්‍රශස්ථ මහජන සේවයක් ලබාදීමේ හැකියාවක් ඇති බව මා විශ්වාස කරමි.

ඉහතින් පෙන්වා දී ඇති කරුණු අනුව ශ්‍රී ලංකා පොලීසියේ අකාර්යක්ෂමතාවයට හේතුව ස්ථානාධිපතිවරුන් මතම බැර කිරීම කොතරම් යුක්ති සහගතද යන්න සොයා බැලිය යුතුයි.

තවද ස්ථානාධිපතිවරුන් පත් කිරීම සිදුකිරීමේදී පොලිස් මූලස්ථානයේ නිර්දේශ ප්‍රධානතම සාධකය වන බැවින් එම නිර්දේශ ලබාදීමේදී උක්ත ලිපියේ සඳහන් කර ඇති කරුණු කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කර නිර්දේශ ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස දන්වා සිටිමි.

පවතින තාක්ෂණික දියුණුව ආයතනයේ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමට උපයෝගීකර ගත යුතු බව මා පිළිගන්නා අතර ඒ සඳහා තාක්ෂණය මෙන්ම ශ්‍රී ලංකා පොලීසියේ සමස්ථ විෂයානුබද්ධ කාර්යයන් පිළිබදව ප්‍රතිව්‍යූහගත ඉදිරි දැක්මක් සහිත සැළැස්මක් අනිවාර්යෙන්ම සිදුවිය යුතු බව අවධාරණය කරමි.



පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකළ ලිපිය මෙන්න


CDC latter 2022.05.19


සබැඳි පුවත් :
පොලිස්පතිගේ කතාවෙන් මැති ඇමතිවරුන්ගේ කටවල් වැසේ ! 

 

Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්