කුමන්ත්‍රණකාරීව රට බංකොළොත් කළ ආර්ථික ඝාතක රාජපක්ෂ කල්ලියේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි

ගාලුමුවදොර ජනඅරගල භුමියේ අඛණ්ඩ විරෝධතාවයක නිරතව සිටින 'සර්වපාක්ෂික අරගලකරුවෝ' රජයට බලකර සිටියි.

'සර්වපාක්ෂික අරගලකරුවෝ' විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එම කාරණය අවධාරණය කර තිබේ. එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව ඊයේ (25දා) දිනයේදී සිදු කළ විමර්ශනය අතරතුරදී පසුගිය සමයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ වගකීම දැරූ ඉහළ පෙළේ දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකිරීම් සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් අනාවරණය විය.

එහිදී වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ගේ අදහස් දැක්වීම අනුව හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ආර්ථික කළමනාකරණ ක්‍රියාවලිය සඳහා ඍජු මැදිහත්වීමක් සිදුකර ඇති බවත්, එම මැදිහත් වීමේ ස්වරූපය සැකසහිත බවත් 'සර්වපාක්ෂික අරගලකරුවෝ'  වශයෙන් අපගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

එමෙන්ම මුදල් මණ්ඩල සාමාජිකයෙකු වන ආචාර්ය රාණි ජයමහ මහත්මිය පළ කළ අදහස් අනුව ශ්‍රී ලංකාවේ විදේශ සංචිත කළමනාකරණය කිරීමේදී කිසිදු අන්‍යොන්‍ය එකඟතාවක් මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයන් අතර නොපැවැති බව පැහැදිලිව පෙනී යයි.



එසේම 2020 වර්ෂයේදී කෝවිඩ්-19 වසංගතය නිසා ලෝකයේ රටවල් රැසක ආර්ථික අස්ථායිතා ඇති වෙමින් තිබියදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට හැකියාව තිබිණි. නමුත් ඒ සම්බන්ධයෙන් වන තාක්ෂණික ඇගයීම්කරණ ක්‍රියාවලිය ආරම්භ වූ පසු  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව ගැටලුසහගත බව මෙරට නියෝජිතයන්ට දන්වා ඇති අතර, එමනිසා  උපදේශකයන් පත් කරන ලෙස නිර්දේශ කර ඇත.

නමුත් එවකට  ආර්ථික කළමනාකරණය සිදුකළ කණ්ඩායම එම නිර්දේශවලට විරුද්ධතාව පළකර තිබේ.

මෙම කෝප් විමර්ශනය අතරතුරදී හෙළි වූ ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් වූ සංවේදී කරුණු හා පුද්ගල මැදිහත්වීම් කෙරෙහි මේ රටේ ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතුය.



අද වනවිට රටේ ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයෙන් මිලියන ගණනාවක ශ්‍රී ලාංකිකයන් පීඩා විඳින අතර, නුදුරේදීම ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක්ද පැමිණීමට නියමිතව තිබේ.

අදූරදර්ශී පාලනය විසින් ජාතික ආර්ථිකය මහ පොළොවට සමතලා කර තිබේ. උද්ධමනය නොසිතූ විරූ ලෙස ඉහළ ගොස් ඇති අතර විරැකියාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ. දරිද්‍රතාව නිසා සමාජ අසහනය පාලනය කළ නොහැකි තත්ත්වයකට වර්ධනය වෙමින් ඇත.

ඊට වගකිවයුතු පාර්ශ්ව කවුද යන්න දැන් හෙළිදරව් වී තිබෙන අතර, එක්සත් ජනපද පුරවැසියෙකු වන හිටපු මුදල් අමාත්‍ය පා.ම. බැසිල් රාජපක්ෂ, පා.ම. මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් යන පාර්ශ්ව ජාතික ආර්ථිකය විනාශ කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීමේ වරද මත වහාම අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවේ තත්කාලයේ පවත්නා නෛතික ප්‍රතිපාදනවලට අනුව ලබාදිය හැකි ඉහළම දඬුවම් ලබාදිය යුතු බවට 'සර්වපාක්ෂික අරගලකරුවෝ' වශයෙන් අප මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත දැඩි ලෙස බලකර ඉල්ලා සිටිමු.


එසේම ඊට අනුබල හා පහසුකම් සැලසූ වගකීම් පැහැරහැරි නිලධාරීන්ට මුදල් නීති පනත යටතේ විනය ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම ඊට උපදෙස් දුන් දේශපාලන අධිකාරියට මෙන්ම දඬුවම් ලබාදීම සිදුවිය යුතු බවද සර්වපාක්ෂික අරගලකරුවන් ලෙස අපි තරයේ විශ්වාස කරමු.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්ති ප්‍රකාරව මහජන මුදල් පරිපාලනය පිළිබඳ සම්පූර්ණ වගකීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සතුවන වගකීමක් වන අතර, මේ තත්ත්වය යටතේ එම වගකීම පැහැරහැර ඇති බව අපගේ මතයයි.

තවද තම බලය නිසියාකාරව වගවීමෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට බාධාවක් වන පරිදි පාර්ලිමේන්තුව නොමඟ යැවීම හා නොසලකා හරිමින් කටයුතු කිරීම නිසා රටේ ජනතාව දැඩි ආර්ථික පීඩාවකට පත් කරමින් අප මාතෘභූමිය අසාර්ථක රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර පුලන්නෙකු බවට පත් කිරීම සම්බන්ධව මෙම ආණ්ඩුව යටතේ පෙර මුදල් අමාත්‍ය ධුර දැරූ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අජිත් නිවාඩ් කබ්‍රාල් සහ හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන අය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභා විනිශ්චයකින් පසු ඔවුන්ගේ ප්‍රජා අයිතිය වහා අහෝසි කළ යුතු බවට අපි යෝජනා කරමු.

එසේම හිටපු මුදල් ඇමති අලි සබ්‍රි මහතා ප්‍රකාශ කළ පරිදි ගන්නා ලද ඓතිහාසික තීන්දු මගින් වැරදි සිදු කළ ආණ්ඩුවට නායකත්වය දුන් අසාර්ථක පාලකයා වන නන්දසේන ගෝඨාභය රාජපක්ෂ විසින්ද උක්ත කාරණා පිළිගෙන රට යථා තත්ත්වයට පත් කිරීමේ ව්‍යවස්ථානුකූල ප්‍රවේශයකට ඉඩ සලසමින් වහා ධුරයෙන් ඉවත් වන ලෙස අපි බලකර සිටිමු.


එමෙන්ම පාර්ලිමේන්තුව තුළ ජාතියට යුක්තිය ඉෂ්ට කිරීමට පාර්ලිමේන්තු නියෝජිතයන් අපොහොසත් වුවහොත් පීඩිත සමස්ත මහජනතාව වෙනුවෙන් සර්වපාක්ෂික අරගලකරුවන් ලෙස අපි අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද පසුබට නොවන බවද තරයේ සිහිපත් කරමු.


සර්වපාක්ෂික අරගලකරුවන් වෙනුවෙන්

01. මංජුල සමරසේකර - මාධ්‍යවේදී / සමාජ ක්‍රියාකාරී
02. විබීතක ආර්.එස්. පොද්දුවගේ - ප්‍රමාණ සමීක්ෂක / සමාජ ක්‍රියාකාරී
03. සමිත් බෝධිපක්ෂ - මාධ්‍යවේදී / සමාජ ක්‍රියාකාරී
04. නිරාශාන් විතානගේ - නීතිවේදී / සමාජ ක්‍රියාකාරී
05. ෂේන් ප්‍රියවික්‍රම - සමාජ ක්‍රියාකාරී
06. බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න  - සමාජ ක්‍රියාකාරී
07. කෞශාල් රණසිංහ -  නීතිවේදී/ මානව හිමිකම් ක්‍රියාකාරී
08. ඉනෝක ජීවන් - සමාජ ක්‍රියාකාරී
09. පාලිත වික්‍රමරත්න - පරිසරවේදී / සමාජ ක්‍රියාකාරී
10. මනිෂ් ගලප්පත්ති - සමාජ ක්‍රියාකාරී
11. ගයාන් ගාල්ලගේ - මාධ්‍යවේදී / සමාජ ක්‍රියාකාරී
12. කැලුම් අමරතුංග - සමාජ ක්‍රියාකාරී


ApF

සබැඳි පුවත් :

'ආර්ථික ඝාතකයින්ට' එරෙහිව පරීක්ෂණයක්!

බැසිල් මෙහෙයුම පරදවමු !- 'සර්වපාක්ෂික අරගලකරුවෝ'

 

 


Leader Whats app

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්