දිවයිනේ සියලුම පොලිස් ස්ථාන සඳහා, පොලිස් ස්ථානාධිපති (OIC) තනතුරු වෙනුවෙන් අයදුම්පත් බාර ගැනීම ජුනි 17 දා අවසන් වනු ඇතිබව මහජන
ආරක්ෂක අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
පොලිස් ස්ථානාධිපතිවරුන් විධිමත් පරිදි අලුතින් පත්කිරීමට අවශ්‍ය කටයුතු කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සිය තනතුරේ රාජකාරි ආරම්භ කළ දිනයේම පොලිස්පතිවරයාට නියෝග කර තිබිණ.
සැම පොලිස් ස්ථානයක් සඳහාම අලුතින් අයදුම්පත් කැඳවන ලෙසත්, එහිදී වඩාත් සුදුසු නිලධාරීන් තෝරාගැනීමේ දී අනුගමනය කරන ලකුණු දීමේ ක්‍රියාපටිපාටිය ප්‍රසිද්ධියට පත්කරන ලෙසත් අමාත්‍යවරයා, පොලිස්පතිට වැඩිදුරටත් උපදෙස් දී තිබිණ.
ඒ අනුව දැනට පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස්පරීක්ෂකවරුන් (CI) මෙන්ම අනෙකුත් ප්‍රධාන පොලිස්පරීක්ෂකවරුන්ට ද අලුතින් අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස පොලිස් මුලස්ථානය විසින් දුන් දැනුම්දීමට අනුව මේවනවිට අයදුම්පත් රාශියක් ලැබී ඇතැයි වාර්තාවේ.
විෂයබාර අමාත්‍ය ටිරාන් අලස් මෙසේ දිවයිනේ සෑම පොලිස් ස්ථානයක් සඳහාම අලුතින් ම පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට තීරණය කර ඇත්තේ, අදාල බල ප්‍රදේශයේ දේශපාලන නායකත්වයේ නිදේශය මත කිසිඳු සුදුසුකමක් නොමැති පොලිස් ස්ථානාධිපතිවරු රැසක් ම පත්කර ඇතැයි නැඟුණ චෝදනා සලකා බලමිනි.
2021 වර්ෂයේදී පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කරනු ලැබුවේ අදාල පොලිස් බලප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගේ රෙකමදාරුව පමණක් සලකා බලමිනි. 2021 වසරේ ජනවාරි මස 01 වනදා සිට නොවැම්බර් 03 වනදා දක්වා වූ කාලයට අදාළව පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස තේරීපත්වූ 126 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයක් සඳහා හෝ සහභාගී නොවූ නිලධාරීන් බව මේවනවිට අනාවරණ වී ඇත.
එම කාරණය අනාවරණය වී ඇත්තේ, පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කේ ජගත් අල්විස් වෙත යොමුකළ ලිපියකිනි.
2021 වසරේ ජනවාරි මස 01 වනදා සිට නොවැම්බර් 03 වනදා දක්වා වූ කාලය තුළ පත්කර ඇති පොලිස් ස්ථානාධිපති තනතුරු සංඛ්‍යාව 184 කි.
මීට අමතරව සම්මුඛ පරීක්ෂණයට සහභාගී වී පොලිස් ස්ථානාධිපති ධූරයක් සඳහා නිර්දේශ නොවූ නිලධාරීන් අතරින් 03 දෙනෙකු ද ස්ථානාධිපතිවරුන් ලෙස පත්ව ඇතැයි එම ලිපියේ සඳහන් වේ.
පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස තමන්ගේ හිතවතුන් පත්කරන්නැයි ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පොලිස්පතිවරයාට යොමුකර තිබු ලිපි කිහිපයක පිටපත් පහත පළවේ.
සබැඳි පුවත් :