තරුණ සහ කාන්තා නියෝජනය සහතික කිරීම සඳහා මෙන්ම ආබාදිත ප්‍රජාවගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නීති කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීන්

කණ්ඩායමක් පසුගිය සිකුරාදා මැතිවරණ කොමිසම හමුවේ අවධාරණය කළේය.

ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චරිත හේරත්, ඩිලාන් පෙරේරා මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා, නීතිඥ උදයන කිරිඳියගොඩ, මහාචාර්ය ගුණපාල රත්නසේකර, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර ප්‍රමුඛ මන්ත්‍රීන් දහසය දෙනෙකු රාජගිරිය මැතිවරණ කොමිසමේ මූලස්ථානයේ දී සභාපතිවරයා ප්‍රමුඛ කොමිසම මුණගැසී මෙම ඉල්ලීම කරන ලදී.

මේ මොහොතේ සියලු මහජන නියෝජිතයින් ගේ ප්‍රධාන වගකීම විය යුත්තේ මැතිවරණ ඉල්ලා උද්ඝෝෂණය කිරීම නොව යුත්ති සහගත මැතිවරණ ක්‍රමයක් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම සඳහා නීති රීති සම්පාදනය කිරීම බව එම මන්ත්‍රී කණ්ඩායමේ අදහස විය.


''ජනතාව දරිද්‍රතාවයේ අසීරුම අවස්ථාවක පසුවන මෙවැනි කාලයක රටේ සංවාදය විය යුත්තේ ඔවුන් එයින් මුදවා ගැනීමයි. ඒ අතරම නීති සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදුකරගැනීමට ද කටයුතු කළ යුතුයි.'' ඩලස් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.




බඩගින්නේ සිටින මිනිසුන්ගේ ඡන්දය ලබාගැනීමේ සටකපට උපක්‍රමවලට වඩා වැදගත්වන්නේ සර්ව සාධාරණ, යුත්ති සහගත මැතිවරණයකින් සුදුස්සන් තෝරාපත්කර ගෙන, එම වංචාකාරී නොවන මහජන නියෝජිතයින් ලවා ආර්ථික අර්බුදයට ස්ථිරසාර විසඳුමක් සොයා ගැනීම බව මෙම මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ගේ අදහස විය.



''පක්ෂ පිළිබඳව තොරතුරු දැනගැනීමේ අයිතිය නොපමාව ජනතාවට දෙන්න''



මැතිවරණ කොමිසම සතු ශ්‍රී ලංකාවේ සියලු ලියාපදිංචි දේශපාලන පක්ෂ පිළිබඳ තොරතුරු අධ්‍යයනය සඳහා මහජනතාවට විවෘතව ඉඩ ලබාදීම, ඡන්ද ක්‍රමයේ සංශෝධන කඩිනම් කිරීම, තරුණ සහ කාන්තා නියෝජනය පළාත් පාලන ආයතනවල සිට පාර්ලිමේන්තුව දක්වාම සහතික කිරීම, ආබාදිත ප්‍රජාවට නිදහස් ඡන්දය වෙනුවෙන් ඇති බාදා ඉවත් කිරීම සහ අධිවියදම් මැතිවරණ ප්‍රචාරණය පාලනය සඳහා අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණු විය.

කළු සල්ලි යොදා ගනිමින් අධිවියදම් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘති නතර කිරීම සඳහා මීට වසර ගණනාවකට පෙර යෝජනා වූ නීති රීති බලාත්මක කිරීම ප්‍රමාද වන්නේ ඇයි දැයි ඩලස් අලහප්පෙරුම මතුකළ ප්‍රශ්නයට උත්තරදුන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා සිටියේ, අදාල කෙටුම්පතට නීතිපතිවරයා ගේ අනුමැතිය පවා හිමි වී ඇති බවයි.  

ඇමති මණ්ඩලයේ අනුමැතිය හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ වගකීම් ඇත්තේ ආණ්ඩුවට බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.



පොහොට්ටුවේ නිලධාරී මණ්ඩලය රහසක් !




ශ්‍රී ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ හැත්තෑවක් තිබෙන නමුත් එකී පක්ෂවල ව්‍යවස්ථාව, පක්ෂ ව්‍යුහය හෝ නිලධාරීන් පිළිබඳව තොරතුරු දැනගැනීමට සියලු ඡන්ද දායකයන් සතු අයිතිය තහවුරු කරන්නැයි ඉල්ලා සිටි මන්ත්‍රීවරුන් උදාහරණ ලෙස පවසා සිටියේ ඔවුන් නියෝජනය කරන ශ්‍රී ලංකා‌ පොදුජන පෙරමුණේ තිදෙනෙකු හැර අන් නිලධාරීන් කවුදැයි අද දක්වාම නොදන්නා බවයි.


තරුණ අසහන කොමිසමේ නිර්දේශ ලෙස පළාත් පාලන ආයතන සඳහා ව්‍යවස්ථාපිත සුදුසුකමක් වූ 30% තරුණ නියෝජනය අහෝසි කිරීම අපගේම ආණ්ඩුවක් වෙතින් සිදුවූ බරපතල වරදක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරුන්, එය වහාම නිවැරදි කොට තරුණයන්ගේ විශ්වාසය ද සහභාගීත්වය ද ප්‍රතිපත්ති සම්පාදනයට ලබාගත යුතු බැවින් පක්ෂ නීති රීතිවලට යට නොවී එය නිවැරදි කිරීම සඳහා හැකි සෑම මැදිහත්වීමක් ම ලබාදීමට ආණ්ඩුපක්ෂය තුළ පමණක් පනහකට (50) ආසන්න මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බව ද විපක්ෂය තුළ ද පක්ෂ බේදයකින් තොරව එවැනි අනාගතවාදී ව්‍යාපෘති සඳහා එක්වීමට බොහෝ තරුණ මන්ත්‍රීන් කැමැත්තෙන් සිටින බව ද මෙහිදී ප්‍රකාශ කළේය.

එමෙන්ම, අප්‍රමාදව විද්‍යුත් ක්‍රමයට ඡන්දය ප්‍රකාශ කිරීමේ පසුබිම සඳහා නීති රීති ද සම්පාදනය කිරීමට ද මෙහිදී අවධානය යොමු විය.

පක්ෂ ලේකම්වරුන් පමණක් කැඳවා මැතිවරණ කොමිසම විසින් කරනු ලබන පැහැදිලි කිරීම් පක්ෂ අභ්‍යන්තරයට ප්‍රේෂණය නොවන බව පෙන්වාදුන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීන් සඳහා වැඩමුළුවක් පවත්වා යෝජිත ප්‍රතිසංස්කරණ පිළිබඳ සියලු පැහැදිලි කිරීම් කරන ලෙස ද වූ ඉල්ලීමට ද කොමිසමේ එකඟත්වය පළ විය.


WhatsApp Image 2022 06 14 at 8.26.08 AMWhatsApp Image 2022 06 14 at 8.26.03 AM

 

{gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්