ආර්ථික අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාවට එයින් ගොඩ ඒම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉදිරි සති කීපය තුල ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් දිවයිනට පැමිණීමට නියමිත වුවත් එමගින් රටට අවශ්‍ය

ආධාර ලැබෙන බවට සහතිකයක් නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින සාකච්ඡා අවසන් වූ පසු ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සදහා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් වරයා ශ්‍රී ලංකාවේ අගමැති සමග පැවති දුරකතන කතා බහකදී එකඟ වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකාවේ අගමැතිවරයා වර්තමාන දේශපාලන හා ආර්ථික අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව තහවුරු කරන රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන පරිදි රාජ්‍ය ලේකම් ඇන්ටනි ජේ බ්ලින්කන් අවධානය යොමු කර ඇත්තේ දේශපාලන ප්‍රතිසංස්කරණ කෙරෙහිය.


"මේ අභියෝගාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඇති කැපවීම රාජ්‍ය ලේකම්වරයා විසින් තහවුරු කරන ලද අතර ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ මානව හිමිකම් ඇතුළු සකල ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සලකා බලන ප්‍රතිසංස්කරණවල වැදගත් කමත් අවධාරණය කරන ලදී," යි රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් නිවේදනය කර තිබේ.


ශ්‍රී ලංකාව සමග මැයි මාසයේ පවත්වන ලද තාක්ෂණික සාකච්ඡා පෙරට ගෙන යාම දිවයිනට පැමිණීමට නියමිත නියෝජිත පිරිසේ අරමුණ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) පවසයි.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ කැඳවීමෙන් අරලියගහ මන්දිරයට පැමිණි පිරිස් ජනාධිපතිවරයාට ගෙදර යාමට බලකරන ගාලුමුවදොර උද්ඝෝෂකයන්ට පහර දීමට ගොස් බැට කෑ දිනයේ මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ මුල්‍ය බලධාරීන් සමග ආරම්භ කළ තාක්ෂණික සාකච්ඡා හමාර වූයේ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය භාරගෙන සති දෙකකට ආසන්න කාලයක් ගතවීමෙන් අනතුරුවය.

නව අගමැතිවරයා, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සමග අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද එම සාකච්ඡාවලදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) නියෝජනය කරන ලද්දේ පීටර් බ්‍රෙයර් සහ මසාහිරෝ නොසාකි විසිනි.


ශ්‍රී ලංකාවට පැමිණෙන නියෝජිතයන් සමග සාකච්ඡාවලින් අනතුරුව කාර්ය මණ්ඩල මට්ටමින් සාකච්ඡා පැවැත්වෙනු ඇති අතර ශ්‍රී ලංකාවට ආධාර දිය යුතුදැයි අවසානයේ තීරණය වනු ඇත්තේ එළැඹෙන එකඟතා IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලද හොත් පමණි. ඒ සඳහා ණය ගෙවාගැනීම වෙනුවෙන් පිළිගත හැකි ආර්ථික සැලසුමක් ලංකාණ්ඩුව විසින් ඉදිරිපත් කළ යුතුය.


"ශ්‍රී ලංකාවේ ණය දරාගත හැකි මට්ටමක නැති බවට තක්සේරු කර ඇති නිසා, මේ බව අපි කලිනුත් කියා තිබෙනවා, කවර වැඩසටහනකට වුව අපේ මණ්ඩලයේ අනුමැතිය ලැබීමට නම් ණයබර නැවත දරා ගත හැකි තත්වයට පත් කළ යුතු," බව IMF ප්‍රකාශක ජෙරී රයිස් ඉකුත් සතියේ වොෂින්ටනයේදී පැවසුවේ මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීම්වලට පිළිතුරු දෙමිනි.  

පසුගිය අඟහරුවාදා අගමැති රනිල් වික්‍රමසිංහ සමග දුරකතනයෙන් කතාබහ කළ IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ගියොගේවා "මේ දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදීමට ඇති කැපවීම" සහතික කළ බවද අරමුදලේ ප්‍රකාශකයා මාධ්‍යවේදීන් හමුවේ සිහිපත් කර දුන්නේය.


ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු ණය වාරික සඳහා ඉදිරි මාස හය තුලදී ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් අවශ්‍ය බව පවසන අගමැති රනිල් වික්‍රමසිංහ රටේ සංචිත ඉහළ නැංවීම සඳහා තවත් ඩොලර් බිලියනයක් අවශ්‍ය බව ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, ඒ තරම් කෙටි කාලයක් තුලදී මුදල් ලබාගත හැකිවේදැයි IMF සහතිකයක් දෙන්නේ නැත.


"මේ ඉහල යන ආහාර සහ බලශක්ති මිළ විසින් ශ්‍රී ලංකාවේ ජනතාව කෙරේ ඇති කරන බලපෑම හමුවේ අපට උපකාර කළ හැක්කේ කෙසේද කියා බලාගැනීම පිණිස අපි හැකිතාක් දුරට, හැකිතාක් ක්‍රියාකාරීව ගනුදෙනු කරමින් සිටිනවා. ඒත්, මුදල් ලබා දීමේ හැකියාවේ පරිමාණය හෝ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති විය හැකි නැතිනම්  එය අධ්‍යක්ෂ මණ්ඩලයට යැවෙන දිනයක් හෝ සාකච්ඡා කිරීමට තවම කල් වැඩියි," යනුවෙන් ජෙරී රයිස් ප්‍රකාශ කර තිබේ.

ණය ආපසු ගෙවීම සඳහා තිරසාර මුල්‍ය සැලැස්මක් ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කිරීම ඒ සඳහා අනිවාර්ය බව IMF ප්‍රකාශකයා අවධාරණය කර තිබේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුව මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය හා නීති උපදේශකයන්ගේ සේවය ලබාගැනීම ආරම්භ කොට තිබේ.

අර්බුදයෙන් ගොඩ ඒමට උපකාර වන ඕනෑම මුල්‍යමය සැලසුමක් රඳා පවතින්නේ IMF සමඟ එළඹෙන ගිවිසුමක් මත පමණක් බව අගමැති රනිල් වික්‍රමසිංහගේ විශ්වාසයයි.

 

 {gallery}radicalcenter2022531{/gallery}
 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්