ව්‍යාපාරික ධම්මික පෙරේරා, පොහොට්ටු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායකවරයා ඉදිරියේ හෙට (ජුනි 21) දිනයේ දිවුරුම්දීමට නියමිතව සිටියද එය කල් දැමීමට සිදුව ඇත.

තමන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව ලැබෙන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ හෝ අමාත්‍ය ධූරයක දිවුරුම් නොදෙන බව ව්‍යාපාරික ධම්මික පෙරේරා අද (ජූනි 20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ක් විභාගයට ගත් අවස්ථාවේදී මේ බව දැනුම් දී ඇත.

ධම්මික පෙරේරා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෙම දැනුම් දීම සිදු කර තිබේ.

ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලිණ.

අදාළ පෙත්සම් හෙට (ජූනි 21) නැවත විභාගයට ගැනීමට නියමිත ය.



'ජනඅරගල ව්‍යාපාරය'ත් පෙත්සමක් ඉදිරිපත් කරයි




නීත්‍යානුකූලව ධම්මික පෙරේරාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලබාදීම අභියෝගයට ලක් කරමින් ජන අරගල ව්‍යාපාරයේ දුමින්ද නාගමුවගේ නමින් අද ජුනි 20 ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීම සිදු කරන ලදී. එම නඩුවට අදාළව මෙම කරුණු ඇතුළත් විය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව අනුව ලංකාවේ පරමාධිපත්‍යය බලය ලංකාවේ ජනතාව සතු වන අතර ඡන්ද බලය පරමාධිපත්‍ය බලයට ඇතුලත් වේ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාව අනුව ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත් කරගනු ලබන පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99A වන ව්‍යවස්ථාව අනුව නාම යෝජනා කාලය ඇතුලත සියලුම පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් විසින් ඡන්ද විමසීමෙන් අනතුරුව තම පක්ෂයට හිමි විය හැකි ජාතික ලැයිස්තු ආසන සඳහා පත්කිරීම සඳහා සුදුසුකම් ඇති ලැයිස්තුවක් මැතිවරණ කොමසාරිස් වෙත ලබා දිය යුතුය (mandotory). මැතිවරණ කොමසාරිස් වරයා විසින් එකී ලැයිස්තු ගැසට් පත්‍රයේ හා භාෂා තුනෙන් පුවත්පත්වල පළ කල යුතුය.


යම්කිසි පක්ෂයකට යම් ජාතික ලැයිස්තු ආසන ප්‍රමාණයක් හිමි වී ඇති බවට මැතිවරණ කොමසාරිස් වරයා විසින් දැනුම් දුන් පසු අදාළ පක්ෂයේ ලේකම් වරයා විසින් එම ආසන සඳහා පෙර කී ජාතික ලැයිස්තුවේ ඇතුලත් නම්/නමක් හෝ ඕනෑම දිස්ත්‍රික්කයක නාම යෝජනා පත්‍රයක ඇතුලත් නම් ලැයිස්තුවක් අදාළ ආසන පිරවීම සඳහා නම් කල හැකිය.

නමුත් පාර්ලිමේන්තු මැතිවරණ (1 of 1981). පනතේ 64(5) වගන්තිය අනුව යම්කිසි ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයක් පුරප්පාඩුවක් ඇති විට වූ විටක අදාළ පක්ෂයේ සාමාජිකයෙකුගේ නමක් ඒ සඳහා යෝජනා කිරීමට එකී පක්ෂ ලේකම් වරයාට බලය ඇති බව දක්වා ඇත.

නමුත් මෙම පක්ෂ සාමාජිකයා අදාල පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද ජාතික ලැයිස්තුවේ ඇතුලත් නම්/නමක් හෝ ඕනෑම දිස්ත්‍රික්කයක නාම යෝජනා පත්‍රයක ඇතුලත් පක්ෂ සාමාජිකයෙක් විය යුතු බව අපගේ තර්කයයි. නැතහොත් ජනතාව නොදන්නා ජනතාව ඉදිරියට නොගිය ඕනෑම පුද්ගලයෙක් පත්කිරීමට පක්ෂ ලේකම් වරයෙකුට බලය ලැබෙයි මෙය ජනතාවගේ පරමාධිපත්‍ය බලය පැහැරගැනීමක් වන අතර එය ආණ්ඩුක‍රම ව්‍යවස්ථාවට පටහැනිය.


ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91e අනුව රජය සමග ගිවිසුම් ඇති පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්කරනු ලැබීමට සුදුසුකම් නොලබයි. එයට බලපාන හේතුව වන්නේ රාජ්‍ය ආයතන සමග ව්‍යාපාර කටයුතු කරන අයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වුවහොත් එම මහජන නියෝජිත බලය ව්‍යාපාර කටයුතු සඳහා අවභාවිතා විය හැකි බැවිනි.


මීට පෙර ඩිලාන් පෙරේරා විසින් පැනවූ නඩුවකින් රාජිත සේනාරත්නගේ මන්ත්‍රීධුරය අහෝසි කිරීමට අධිකරණ තීන්දුවක් දෙනු ලැබුවේ එම නීතියට අනුවය.

ධම්මික පෙරේරා අධ්‍යක්ෂක ධුරයක් දැරූ ආයතනයක් වන හේලීස් සමූහයේ සමාගමක් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ව්‍යාපාර කටයුතුවල නිරත බව අධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සමේ සඳහන්‍ වේ. එලෙස රජය සමග ගිවිසුම් මගින් ලාබ උපයමින් සිටින සමාගම් හිමිකරුවෙකු වන ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම වලක්වන නියෝගයක් නිකුත් කරන ලෙස එම පෙත්සම ඉල්ලා සිටී.

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්