ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර එක්දින තරගාවලියේ 3 වන තරගයේදී ශ්‍රී ලංකාවේ පැතුම් නිශ්ශංක 2022 ජූනි 19 වන දින කොළඹ දී ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පන්දුවට පහර දෙමින්.


මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් වැනි සුපිරි ක්‍රීඩකයින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමත් සමග පසුගිය වසර 7ක පමණ කාලය තුල ශ්‍රී ලංකාව දැඩි පසු බෑමකට ලක්විය.

එම අඳුරු යුගය මකා දමමින් යළි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් දසුන් ශානකගේ නායකත්වයෙන් පසුගිය වසරේ සිට හිස ඔසවන්නට පටන්න ගත්තේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට ලක්ව සිටින ශ්‍රී ලංකා වැසියන්ට සැනසුම් සුසුමක් එක් කරමිනි.

IPL තරගාවලියත් සමග ලැබුණු ජාත්‍යන්තර ක්‍රිකට් විරාමයෙන් පසු ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියේ විස්සයි විස්ස තරග 3ක්, එක්දින තරග 5ක් සහ ටෙස්ට් තරග දෙකක දීර්ඝ සංචාරයක් සදහායි.

විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකාව තරග 2-1ක් ලෙස පරාජය වුවද අවසන් තරගයේදී දසුන් ශානක නොදැවී ලකුණු 54ක් ලබා ගනිමින් සුපිරි ඉනිමක් ක්‍රීඩා කර ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාම විස්සයි විස්ස තරගාවලි පරාජය අමතක කරන්නට තරම් හේතුවක් විය.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ එක්දින තරගාවලියේ පළමු තරගය පරාජය වුවත් පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ දෙවන තරගය ජයගන්නට ශ්‍රී ලංකාව සමත් විය. පළමු තරගයේදී කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 86ක් වාර්තා කරමින් ලකුණු අතරට පිවිසීමත් ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ ලකුණු විය.

තීරණාත්මක තරගයක් වූ පසුගිය 19වෙනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ පැවති තුන්වන තරගය විශිෂ්ඨ ලෙස ජයග්‍රණය කල ශ්‍රී ලංකා කණ්ඩයම ඓතිහාසික තරගාවලි ජයග්‍රහණයක් සදහා පදනම සකස් කර අවසන් බව ක්‍රිකට් විචාරයෝ පවසති.

අවසන් තරගයේදී පැතුම් නිස්සංක ලකුණු 137ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට නව බලාපොරොත්තුවක් එක් කරද්දී කුසල් මෙන්ඩිස් සිය රිද්මය රඳවා ගනිමින් ලකුණු 87ක් වාර්තා කළේය. පන්දුවෙන් දස්කම් දැක්වූ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 3ක් දවාගැනීමත් විචාරකයින්ගේ පැසසුමට ලක්විය.



වාර්තා අලුත්වන තරගාවලිය


ශ්‍රී ලංකාව අද(21) පැවැත්වෙන හතරවන තරගය ජයග්‍රහණය කළහොත් එය ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කරන හතරවන එක්දින තරගාවලි ජයග්‍රහණය බවට පත්වනු ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාව අවසන් වරට ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලියක් ජයග්‍රහණය කලේ 2010 වසරේදී ඔස්ට්‍රේලියාවේදී පැවති තරග තුනකින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කරමිනි.

මව් රටේදී ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව අවසන් වරට පරාජය කලේ 1992 වසරේදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙනි.

මේ අනුව අද තරගය හෝ ලබන සිකුරාදා පැවැත්වෙන අවසන් තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කලහොත් ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලියක් ජයගන්නේ වසර 30කට පමණ පසුව වන අතර ඔස්ට්‍රේලියාව එක්දින තරගාවලියකදී ශ්‍රී ලංකාව හමුවේ පරාජය වන්නේ වසර 12කර පසු වීම ද විශේෂත්වයකි.


 125542724 af8fc103 7d3f 4f0e bef1 bd058bf71608.jpg

කණ්ඩයම් දෙකේම ක්‍රීඩකයින්ට ආබාධ


මේ දක්වා ඕස්ට්‍රේලියා කණ්ඩායම ක්‍රීඩකයින් හත් දෙනෙකු අබාධවලට ලක්වීම නිසා දැඩි අසීරුතාවකට ලක්ව සිටියි.

එම ක්‍රීඩකයින් වන්නේ මිචෙල් ස්ටාක්, ඇස්ටන් ඒගර්, ස්ටීව් ස්මිත්, මාක්ස් ස්ටෝයිනිස්, කෙන් රිචඩ්සන්, ෂෝන් ඇබොට් සහ මිචෙල් මාෂ් ය.

කෙසේවුවත් මිචෙල් මාෂ්ගේ ආබාධය සුව වීම හේතුවෙන් ඔහු ජුනි(19) තරගයට ක්‍රීඩා කළ අතර අනෙක් ක්‍රීඩකයින් අද (21) පැවැත්වෙන හතරවන තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩයමේ ද නුවන් තුෂාර, කසුන් රාජිත, ධනුෂ්ක ගුණතිලක සහ වනිඳු හසරංග ආබාධවලට ලක්ව සිටිති. වනිඳුගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වෛද්‍යවරුන් පවසයි.

මේ අතර තුන්වන තරගයේ පන්දුවට පහරදෙමින් ලකුණු 87ක් ලබා සිටියේදී පාදයේ අබාධයක් නිසා පිටියෙන් ඉවත් වූ කුසල් මෙන්ඩිස්ගේ තත්ත්වය යහපත් බවට වෛද්‍යවරුන් පවසයි.

මේ අනුව අද තරගයට තුන්වන තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ම එක්වීමට වැඩි ඉඩක් ඇති බව ක්‍රිකට් විචාරකයෝ පෙන්වා දෙති.

මේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව අදහස් දැක්වූ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසුරිය පැවසුවේ ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකරුවන් විශිෂ්ඨ පරිණතභාවයක් මේ තරගාවලියේදී පෙන්නුම කල බවයි.

යම් අවස්ථාවලදී පන්දු රැකීම දුර්වල වුවත් පිතිහරඹය සහ පන්දු යැවීම ඉහල මට්ටමක තිබීම මේ ජයග්‍රහණයට හේතු වූ බවට ඔහු පවසයි.

"අපේ පිතිකරුවෝ ස්මාර්ට් විදිහට ක්‍රීඩා කළා. මේ තත්ත්වය පවත්වාගැනීම තමයි වැදගත්." ජයසුරිය පැවසුවේය.

දුනිත් වෙල්ලාලගේ වැනි යොවුන් ක්‍රීඩකයින් කළමනාකරණය කරගැනීම වගකීමක් බව පැවසූ සනත් ජයසුරිය ඔහුව රැකගැනීම සමාජ මාධ්‍ය හසුරුවන ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ වගකීමක් බවද පැවසුවේය.

ඕස්ට්‍රේලියා කණ්ඩායමට මීළඟ තරගය ජයග්‍රහණය කිරීමට නම් විශේෂඥ පන්දු යවන්නන් හතර දෙනෙකු සමග තරගයට පිවිසිය යුතු බවයි ජයසුරියගේ අදහසය.

"ඔවුන් තුන්වන තරගයට ක්‍රීඩා කලේ විශේෂඥ පන්දු යවන්නෝ තුන්දෙනයි අනෙක් අය බාග පන්දු යවන්නෝ, අපේ තණතීරු ඒ වගේ පන්දු යවන්නෝ එක්ක තරග ජයග්‍රහණය කරන්න අමාරුයි." ජයසුරිය පැවසීය.

එමෙන්ම ශ්‍රී ලාංකිකයන් ආර්ථික අර්බුදය ලක්ව තිබෙන අවස්ථාවේදී එම පීඩනයෙන්, මානසික ආතතියෙන් ඉවත්වීමට යම් තරමකට මේ ජයග්‍රහණයේ සතුට ඉවහල් වන බවයි ජයසුරියගේ අදහසයි.

"හැම තිස්සෙම අපිට ඇහෙන්නේ අහිමිවීම් විතරයි. මිනිස්සු ඉන්නේ දුකෙන්. එහෙම රටක මෙහෙම ජයග්‍රහණයක් ලොකු සහනයක්," ජයසුරිය පැවසීය.

තුන්වන තරගයේ ජයග්‍රහණයෙන් පසු ට්විටර් පණිවිඩයක් තබමින් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනල්ඩ් පවසන්නේ අර්බුද මැද සිටින ශ්‍රී ලාංකිකයන්ගේ මුහුණට සිනහාව ගෙන ඒම විශිෂ්ඨ බවයි.

Rasal 2022.09.21


මේ අතර ආර්ථික සහ දේශපාලන අර්බුදයකට ශ්‍රී ලංකාව ලක්ව රටේ සාමාන්‍ය ජන ජීවිතය අස්ථාවර වී ඇති අවස්ථාවක ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණීම ගැන ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රණාමය ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට හිමි වූ අතර "ThankYou Team Australia for visiting Sri Lanka" වැනි පාඨ ලියු පෝස්ටර් ක්‍රීඩාංගනයෙදී දැක ගත හැකි විය.

Dineth 2022.07.21


(BBC සිංහල සේවය)

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්