ඉදිරියෙදී ඉන්ධන අර්බුදය තව තවත් බරපතලවීමේ තර්ජනයක් මතු වි ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
ජනාධිපතිවරයා අතුරුදහන්ව ඇති තත්ත්වයක් තුළ නියමිත පරිදි ඊයේ (11) දිනයේ කැබිනට් මණ්ඩල රැස්වීමක් නොපැවැත්වීම නිසා මෙවැනි තත්ත්වයක් උදාවී ඇතැයි එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
කෙසේවුවද ඒ සඳහා පක්ෂ නායක රැස්වීමේදී ආවරණ අනුමැතියක් ලබාගැනීමට අග්‍රාමාත්‍යවරයා උත්සහකර ඇතත් විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට විරෝධය පළකර ඇත.
රටේ අවශ්‍යතාවට සරිලන පරිදි ඉන්ධන සපයා ගැනීම සඳහා කඩිනමින් ගත යුතු පියවර කිහිපයක් සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ඊයේ (11) අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කර ඇත.
ඇමතිවරයා කියා සිටින පරිදි,
# ජුනි මස 15-17 සහ 23-24 යන දිනවල දී, ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත ඉන්දියානු තෙල් සමාගමේ නෞකා දෙකකට (02) ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් සම්පූර්ණයෙන් ම මුදල් ගෙවා ඇත.
# සිංගප්පූරු විටෝල් ආසියා පුද්ගලික සමාගමේ ජුලි 15-17 සහ 16-19 යන දිනවල දී පැමිණිමට නියමිත ඛනිජ තෙල් නෞකා දෙකක් (02) සඳහා අත්තිකාරම් මුදල් මේවන විට ගෙවා ඇත.
# මේ සඳහා වන ඉතිරි මුදල ජූලි මස 11 සහ 12 යන දිනවල දී ගෙවිය යුතුය.
එක්සත් අරාබි ජනරජයේ කොරල් එනර්ජි සමාගමෙන් ඇණවුම් කරන ලද ඛණිජ තෙල් තොග රැගත් නෞකා තුනක් (03) සඳහා නෞකා වරායට පැමිණීමට ප්‍රථම සම්පූර්ණ මුදල ගෙවිය යුතුය.
# එම නෞකා ජූලි මස 12-15, 15-17 සහ 16-18 යන දිනවල දී ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතය. එම නෞකා තුන (03) සඳහා ජූලි මස 12 දින ඩොලර් මිලියන 61.72ක් (රුපියල් බිලියන 22,650ක්) එදින ම තවත් ඩොලර් මිලියන 28.26ක් (රුපියල් බිලියන 10,371ක්) සහ ජූලි මස 17 දින ඩොලර් මිලයන 89.04ක් (රුපියල් බිලියන 32,678ක්) ගෙවීමට ඇත.
# දැනටමත් පවත්නා පැය 03ක විදුලිය කපා හැරීම දිර්ඝ කිරීමකින් තොරව එලෙසම පවත්වා ගැනීම සඳහා මෙම තෙල් තොගය ලබා ගැනීම අවශ්‍ය වී තිබේ.
# පසුගිය සතියේ මෙම ගෙවීම් සඳහා අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 03ක් ඉදිරිපත් කළ බව ද විදුලිබල ඇමතිවරයා පෙන්වා දෙයි.
# මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහබැංකුවේ සහයෝගය ඇතිව, දේශීය බැංකු හරහා මේ සඳහා ආසන්න වශයෙන් ඩොලර් මිලියන 128ක් ලබා ගැනීමට නියමිතව තිබුණි.
මේ තත්ත්වය යටතේ ඇමතිවරයා ඉල්ලා ඇත්තේ, 2022.07.11 දින ම මෙම ගෙවීම් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත යුතු බවයි. මෙම ගෙවීම් කිරීමට නොහැකි වුවහොත්, මෙම තෙල් නැව් සඳහා ඉදිරිපත් කළ ඇණවුම් අවලංගු වන අතර තෙල් සැපයුම තවදුරටත් ප්‍රමාද වනු ඇත.
# මීට අමතරව නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල් අඟුරු ලබා ගැනීමට කැබිනට් අනුමැතිය අවශ්‍යව තිබේ.
# සාමාන්‍යයෙන් කැබිනට් රැස්වීම් පැවැත්වෙන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බැවින්, මේ අවස්ථාවේ මෙම ගෙවීම් සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනිමට නොහැකි විය.
ඒ අනුව, ඊයේ (11) සවස් වරුවේ පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රුස්වීමේ දී, ඉදිරියේ දී පත්වන අමාත්‍ය මණ්ඩලයකින් මෙම ගෙවීම් කිරීමට අනුමැතිය ලබා දීමේ පදනම මත, මෙම තෙල් තොග මිළ දී ගැනිමේ කටයුතු කර ගෙන යාමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත අවසර ලබා දීම සුදුසු බවට අග්‍රාමාත්‍යවරයා විසින් පක්ෂ නායක රුස්වීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
පක්ෂ නායක රුස්වීමට සහභාගී වූ රාවුෆ් හකීම්, එම්. ඒ. සුමන්දිරන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවට සිය බලවත් විරෝධය පළ කළේය. ඒ මෙම ඉන්දන ගෙන්වීම පිටුපස බරපතල වංචාවක් සිදුව ඇතිබවට තොරතු ලැබී ඇතැයි පවසමිනි.
කෙසේ වුවද ඉදිරියේ දී රටේ ඇති විය හැකි ඛනිජ තෙල් අර්බුදය සහ ප්‍රමාණවත් පරිදි විදුලිබලය ජනනය කිරීමට නොහැකි වීමේ ගැටලුව බරපතල විය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශ ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.