ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වන අතර ලබන සැප්තැම්බර් 07 වනදා දක්වා ක්‍රියාත්මකයි.
මෙවර ආසියානු තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබුණද රටේ පවතින තත්ත්වය හේතුවෙන් තරඟාවලිය පැවැත්වීමට එක්සත් ආරාබි එමිර් රාජ්‍යය තෝරා ගැනිණ.
කෙසේ වෙතත් තරඟාවලියේ සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි.
මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පකිස්තානය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ හොංකොන් යන කණ්ඩායම් එක් වේ.
ඒ කාණ්ඩය යටතේ ඉන්දියාව, පකිස්තානය සහ හොංකොන් යන කණ්ඩායම් තරඟ වඳී. ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය තරඟ වදින්නේ බී කාණ්ඩයේ.
තරඟාවලිය ආරම්භ කරමින් පළමු තරඟය අද පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතරයි. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර මෙම තරඟය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 07 යි 30 ටයි.
අද තරඟයට සූදානම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු භානුක රාජපක්ෂ මෙලෙස අදහස් පල කළේය.
මෙම තරගාවලියේ, තරගාවලි අධ්‍යක්ෂ ලෙසින් කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති රවීන් වික්‍රමරත්නට තරගාවලිය සංවිධානය කිරීමේ කටයුතු වලට සහභාගිවීමේ අවස්ථාව අහිමිකර තිබේ.
තරඟාවලිය ඇරඹීමට දින 10ක් තරම් ආසන්නයේ හෙවත් පසුගිය 17 වැනිදා එහි පූර්ව සංවිධාන කටයුතු වෙනුවෙන් විදේශගත වීමට රවීන් වික්‍රමරත්න ගුවන්තොටුපලට පැමිණ සිටියදී, තම අනුමැතියෙන් තොරව එසේ විදෙස්ගත විය නොහැකි බව පවසමින් දුරකථන ඇමතුමක් හරහා එම ගමන වලකාලීමට ක්‍රීඩා ඇමතිවරයා ක්‍රියා කර තිබිණ.
එම සිද්ධිය සම්බන්ධයෙන් සති අග අරුණ (2022/08/21) පුවත්පතේ ඉන්ද්‍රජිත් සුබසිංහ නමින් පලවී ඇති පුවත්පත් වාර්තාවේ මෙසේ සඳහන්වේ.
''ආසියානු කුසලාන යනු එමීර් රාජ්‍යයේ පැවතුනිද අපේ 'මගුල් ගෙදරකි'. එහි සංවිධාන කටයුතුවලට පත්කළ අප නිලධාරියා අවසන් මොහොතේ එයින් වලක්වාලීම අපේ නීතිය ක්‍රියාත්මක කිරීමකට වඩා මෙරට දේශපාලනය මැදිහත්ව සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙසින් ආසියානු ක්‍රිකට් කවුන්සිලය හරහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට වාර්තා වුවහොත් එහි ප්‍රතිවිපාක දරුණු වනු ඇත.
එසේම තමන් විසින් මේ කටයුතු කරන්නෙ රටේ ක්‍රීඩා නීතිය ක්‍රියාත්මක කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුතුව වුවද, තමන් නොදැනී හෝ අන් අයෙකුගේ උවමානවක් ඉටුවන පරිදි අන් අයෙකුට අවශ්‍ය ලෙසින් යෙදවෙන්නේ දැයි ක්‍රීඩා ඇමතිවරයා සිහිනුවනින් විමසා බැලිය යුත්තේය.
නිල නොවන ක්‍රීඩා ඇමති !
පසුගිය දිනකිහිපයේ සමරහක් අවස්ථාවලදී 'නිල නොවන ක්‍රීඩා ඇමති' ලෙසින් කටයුතු කළේ අර්ජුණ යැයි කියැවේ.
එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් ආසියානු කුසලානට යන නිලධාරී ලැයිස්තුව ගෙන්වාගත් ඔහු එයට ඇතුළත්ව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්ධන ඒකකයේ දෙදෙනාද, එහි අළෙවි අංශයේ අයෙක්ද ආදී වශයෙන් කිහිප දෙනෙක්ගේම නම් කපා දමා තිබුණේ 'මේ අය යන්නේ මොකටද?'යි අසමිනි.
නමුත් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ යම් අකටයුත්තක සේයාවක් හෝ අනාගතයේ දිනක වාර්තා වුවහොත් 'ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්ධන ඒකකයක් ඇත්තේ කුමටදැයි' පළමු විවේචනය නගන්නේ අන් කිසිවෙක් නම් නොවේ.
එසේම ඩුබායි හී පැවැත්වෙන තරගාවලියක් වෙත ඇදී එන අනුග්‍රාහකයන් ආදිය සමග මනා සබඳතාවක් පවත්වාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අළෙවි අංශයට ලැබෙන අවස්ථාව වලකාලීම නුවනක්කාර කමක් වේද?
මෙවර එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ විධායක සභාවට ඇතුළත් වීම සඳහා පැවැති ඡන්දයේදී මහේල ජයවර්ධන එහි පළමු තැනට පැමිණෙන විට තමන් එහි 9 වැනි තැනට පත්වූයේ තමන්ගේ කුමන අඩුවක් නිසාද යන්න අර්ජුණ විසින් සිතා බැලිය යුතුය. එසේ වුවහොත් අර්ජුණ නැමැති සවිබලැති එන්ජිමට 'එක ගියර් මාරුවකින්' මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොව සමස්ත ක්‍රීඩාවම පසුපසට අදින 'රිවස් ගියරයේ' සිට 'ටොප් ගියරයට' දැමීමට හැකිවනු නියතය.
එසේම අභ්‍යන්තර දේශපාලනයට මැදිව මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තැලෙන්නට නොදිය යුතු බව ක්‍රීඩා ඇමතිවරයා විසින් නුදුරේදීම වටහාගනු ඇතැයි මෙරට ක්‍රිකට් ක්ශේත්‍රයේ ඇසූ පිරූ තැන් ඇත්තෝ බලාපොරොත්තුවෙන් පසුවන බවද සඳහන් කළ යුතුය.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය දෙවිවරුන් වැනි පියවරුන් මිස 'ගෝඩ් ෆාදර්ස්' ලා නොවන බව ක්‍රීඩා ප්‍රේමීන්ගේ අදහසය. ''
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.