theleaderlk 01

ඉරානය පුරා විරෝධතා රැල්ලකට තුඩු දී ඇති 22 හැවිරිදි යුවතියක් වන මහ්සා අමීනිගේ පියා බලධාරීන් සාවද්‍ය ප්‍රකාශ කරන බවට චෝදනා කරයි.

 


පර්සියානු බීබීසී සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අම්ජාඩ් අමීනි කියා සිටියේ, තම දියණියගේ මරණ පරීක්‍ෂණ වාර්තාව බැලීමට තමාට අවසර නොදුන් බවත් ඇය අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බව ප්‍රතික්ෂේප කළ බවත්ය.

පොලිස් අත්අඩංගුවේ දී ඇයට පහර දුන් බව සාක්ෂිකරුවන් පවුලේ අයට පැවසූ බව ඔහු පැවසීය. ඉරාන බලධාරීන් මෙය ප්‍රතික්ෂේප කර ඇත.

හිජාබය පැළඳීම සම්බන්ධයෙන් නීති කඩ කළ බවට චෝදනා කරමින් මහ්සා අමීනි අත්අඩංගුවට ගනු ලැබීය.

mahsa amini e3

වයඹ දිග නගරයක් වන සාකේස් හි දී මෙම කුර්දි ජාතික කාන්තාව දින තුනක් කෝමා තත්ත්වයේ ගත කර, පසුගිය සිකුරාදා ටෙහෙරානයේ රෝහලේදී මිය ගියාය.


අත්අඩංගුවට ගැනීම

ඉරාන බලධාරීහු පවසන්නේ මහ්සා ටෙහෙරානයේදී එරට සදාචාරාත්මක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයට "හදිසි හෘදයාබාධයක්" ඇති වූ නමුත් ඇයට හිරිහැර නොකළ බවයි.

නමුත් අමීනි පැවසුවේ ඇය රඳවා සිටින විට එහි සිටි 17 හැවිරිදි ඇගේ සොහොයුරා වන කියාරාෂ් ඇයට පහර දුන් බව දැක ඇති බවයි.

"මගේ පුතා ඇය සමඟ සිටියා. වෑන් රථයේදී සහ පොලිසියේදී ඇයට පහර දුන් බව සමහර සාක්ෂිකරුවන් මගේ පුතාට කියලා තිබුණා," ඔහු පැවසීය.

"මගේ පුතා ඇයව රැගෙන නොයන ලෙස ඔවුන්ගෙන් අයැද සිටියා, නමුත් ඔහුටත් පහර දුන්නා, ඔහුගේ ඇඳුම් ඉරා දැමුවා"

"ආරක්ෂක නිලධාරීන්ගේ ශරීර කැමරා මට පෙන්වන්න කියලා මම ඔවුන්ගෙන් ඉල්ලා සිටියා, ඔවුන් මට කිව්වා කැමරාවල බැටරිය බැහැලා කියලා."
ඉරාන බලධාරීහු පවසා ඇත්තේ මහ්සා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අවිනීත ලෙස ඇඳුම් ඇඳ සිටි බවයි.

කෙසේ වෙතත්, අමීනි පැවසුවේ, ඇය සෑම විටම දිගු කබායක් ඇඳ සිටි බවයි.


රෝහලෙනුත් බාධා

අමීනි පැවසුවේ රෝහල් කාර්ය මණ්ඩලය තම දියණියගේ දේහය දැකීම වැළැක්වූ බවයි.

"මට මගේ දුව බලන්න ඕන වුණා. ඒත් එයාලා මට ඇතුලට යන්න දුන්නේ නැහැ".

මරණ පරීක්ෂණ වාර්තාව බැලීමට අවශ්‍ය බව ඔහු පැවසූ විට වෛද්‍යවරයා කියා ඇත්තේ, "මට ඕන දේ මම ලියනවා. ඔයාට ඒක අදාළ නැහැ." යනුවෙනි.

zdfdft4මහ්සා අමීනිගේ මරණය සම්බන්ධයෙන් විරෝධතා ඉරානයේ ප්‍රධාන නගර 20 කට වැඩි ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත වී තිබේ.


මරණ පරීක්ෂණය පිළිබඳ කිසිදු තොරතුරක් පවුලේ ඥාතීන් වෙත නිකුත් කර නොමැති බව ඔහු පැවසීය.

අමීනි තම දියණියගේ දේහය දුටුවේ එය භූමදාන කිරීම සඳහා සුදානම් කිරීමෙන් අනතුරුවය.එහි පෙනෙන්නට තිබුණේ ඇගේ පාද සහ මුහුණ පමණකි.

"ඇගේ පාදවල තැලීම් තිබුණා," ඔහු පැවසීය.

"මම ඇගේ පාද පරීක්ෂා කරන ලෙස වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියා."

තුවාලවලට හේතුව සොයා බලන බවට බලධාරීන් පොරොන්දු වූ නමුත් කිසිදු ප්‍රතිචාරයක් නොලද බව අමීනි මහතා පැවසීය.


"එයාලා මාව නොසලකා හැරියා. දැන් බොරු කියනවා."

ටෙහෙරාන් පළාතේ අධිකරණ වෛද්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් මෙහ්දි ෆරුසේෂ් මීට පෙර ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, "මහ්සා අමීනිගේ හිසෙහි හෝ මුහුණෙහි තුවාලයක්, ඇස් වටා තැලීම් හෝ හිස් කබලේ හෝ පාදයේ අස්ථි බිඳීම් කිසිවක් නිරීක්ෂණය වී නොමැත."

අභ්‍යන්තර තුවාල පිළිබඳ කිසිදු සලකුණක් නොමැති බව ද බලධාරීහු පවසති.


සෞඛ්‍ය ගැටලු

මරණයට හේතු විය හැකි සෞඛ්‍ය ගැටලු තම දියණියට තිබූ බවට වන ප්‍රකාශයන් ද අමීනි විවේචනය කළේය.

ටෙහෙරාන් පළාතේ අධිකරණ වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මහ්සාට වයස අවුරුදු අටේදී මොළයේ සැත්කමක් කර ඇති බවයි.


"ඔවුන් කියන්නේ බොරු," අමිනී පැවසීය.


"ගෙවුණු අවුරුදු 22දි ඇය සෙම්ප්‍රතිශ්‍යාව ආශ්‍රිත රෝග කිහිපයකට හැර වෙනත් කිසිම හේතුවකට රෝහලකට ගිහින් නැහැ"

"ඇයට කිසිදු සෞඛ්‍ය ගැටලුවක් තිබුණේ නැහැ. ඇයට කවදාවත් ශල්‍යකර්මයක් කරලා නැහැ."



ferමහ්සා අමිනීගේ මරණය ඉරානයේ සහ ලොව පුරා විරෝධතා රැල්ලකට තුඩු දී තිබේ.


බීබීසීය අමීනිගේ පන්තියේ මිතුරන් දෙදෙනෙකු සමඟ කතා කරමින් විමසූ විට ඔවුන් ද පවසා ඇත්තේ ඇය මීට පෙර රෝහල්ගත කර ඇති බවක් ඔවුන් නොදැන සිටි බවයි.

මහ්සාගේ සෞඛ්‍යය පිළිබඳ තවත් ප්‍රකාශයක් ද අමීනි ප්‍රතික්ෂේප කළේය. එනම්, ඇය මෑතකදී සාප්පුවක වැඩ කරමින් සිටියදී කිහිප වරක් සිහිසුන් වූ බව ය. ඔහු එය "අසත්‍ය" ලෙස විස්තර කරයි.


සරසවි සිහිනය

ඇගේ පවුලේ අය පවසන පරිදි මහ්සා ලබන සතියේ විශ්ව විද්‍යාලයේ ඉගෙනීම ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

ඔවුන් ටෙහෙරානයට යන ගමන ඇයගේ පාඨමාලාව ආරම්භ කිරීමට පෙර ඇයගේ අවසන් නිවාඩුව විය.

"එයාට ක්ෂුද්‍ර ජීව විද්‍යාව හැදෑරීමට අවශ්‍ය වෙලා තිබුණේ," අමිනී පැවසීය.

"එයාට වෛද්‍යවරියක් වෙන්න අවශ්‍ය වුණා. - ඒක සැබෑ වෙන්නෙ නැති සිහිනයක් වුණා"

"අම්මත් ගොඩක් ලෙඩ වෙලා ඉන්නේ. අපිට ඇය නැතුව පාළුයි"

"හරිනම් ඊයෙ එයාගෙ 23 වැනි උපන්දිනේ"

 

 
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

නවතම පුවත්