ක්‍රීඩාව සහ සාහිත්‍ය කලා ආදී ක්ෂේත්‍ර ඔස්සේ තම සංස්කෘතික උරුමය, දර්ශනය සහ ශක්තිය පිළිබඳ පාලකයින්ට වටිනා පණිවිඩ ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.


උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, 'යුතුකම' ජාතික සංවිධානයේ සභාපති, ගෙවිඳු කුමාරතුංග එබව කියා සිටියේ, සැප්තැම්බර් 28 දින පැවැති 'උත්තර ලංකා සභාග' මාධ්‍ය හමුවේ දී ය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.


''අපි උත්තර ලංකා සභාගය පිහිටවූයේ මේ රටේ ප්‍රශ්නවලට මේ රටේ ම උත්තර සොයා ගැනීමේ අපේක්ෂාවෙන්. සම්මත දැනුමින් එහෙමත් නැත්නම් සම්මත නිර්වචනවලින් ඔබ්බට ගිහින් අපේ ජනතාවත් එක්ක මේ රටේ ගැටලුවලට විසඳුම් සොයන්න පුළුවන් කියන බලාපොරොත්තුවේ පණිවිඩය ලැබෙන සිද්ධි දෙකක් පසුගිය  දා අපි අත්වින්දා.


කොරෝනා වසංගත කාලේ මේ රටේ ගම්බද පළාත්වල මන්දපෝෂණ තත්ත්වය අඩු වූ බව මන්දපෝෂණය පිළිබඳ සිදු කළ පාර්ලිමේන්තු විවාදයේ දී තහවුරු වුණා. සම්මත දැනුම තුළ බොහෝ දුරට උපකල්පනය කළේ වසංගත අභියෝගයත් එක්ක මන්දපෝෂණ තත්ත්වය ඉහළ යයි කියලා.

එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාව තුළ නිර්දේශිත පෝෂ්‍යදායී ආහාර දුලබ වන විට ජනතාව දේශීය ආහාරපාන සඳහාත් දේශීය වෛද්‍යවරුන් නිර්දේශ සමග හුමාලය ඇල්ලීම සහ කොත්තමල්ලි වැනි ඖෂධීය පාන වර්ග භාවිතයටත් නැඹුරු වුණා. මේ නිසා ජනතාව කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වුණා වගේ ම, නීරෝගී වූ බව පැහැදිලි යි.



ඒ කාලයේ දී උණ- සෙම්ප්‍රතිශ්‍යාව සෑදීම බොහෝ දුරට පාලනය වූ බව අපි අත්දුටු සත්‍යයක්. අපට නිරෝගීභාවය, පෝෂණය වෙනුවෙන් අපේ ම වූ අනන්‍ය මාවතක් ඇති බව මේ හා සම්බන්ධ දත්ත සංඛ්‍යා ලේඛන පරික්ෂා කිරීමේ දී පැහැදිලි වෙනවා.

book fair1 1
ඒ වගේ ම අපේ රටේ ජනතාව ආර්ථික වශයෙන් දැඩි පීඩාකාරී යුගයක් පසු කරන අවස්ථාවක ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය ඉතා ම අභීත තීන්දුවක් අරගෙන බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙහි දී දින 10ක් පුරා පොත් සල්පිලක් පවත්වනවා.

මා දකින විදිහට නම් මෑත කාලයේ පැවැති සාර්ථක ම ප්‍රදර්ශනය මේක. ඒ සඳහා ඈත ගම් දනව්වල හුදී ජනතාව තමන් ගේ දුවා-දරුවා එක්ක ඇවිල්ලා පොත් මිලට ගත්තා.

දැඩි සාගතයෙන් අහේනියෙන් පෙළෙන ජනතාවක් සිටින වෙන රටක නම් මේ විදිහට ජනතාව එයි ද?



ඒත් අපේ ජනතාව බත් පැකට්එකට වඩා පොතට, ආර්ථිකයට වඩා සංස්කෘතියට ප්‍රමුඛතාව දීලා තමන් අමාරුවෙන් ඉතිරි කරගත් මුදලින් පොත් මිලට ගත්තා. මෙහි දී දින 10 ඇතුළත එහි තිබූ පොත්හල් කුටි 200ක පමණ රු. මිලියන 400ක විතර පොත් අලෙවි වුණා ය යි දළ සාමාන්‍යයක් ලෙස අප කළ සොයා බැලීම් අනුව ප්‍රකාශ කළ හැකි යි.



ඒ සඳහා රජයෙන් කිසිදු දිරිදීමක් හෝ පෙළඹවීමක් සිදු වුණේ නෑ. පුස්තකාල සඳහා ප්‍රතිපාදන ලබා දීම ඔස්සේ හෝ රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණේ නෑ. එ වැනි පසුබිමක, මේ සංස්කෘතික බුද්ධිමය ක්‍රියාදාමය ඔස්සේ අවසානයේ ආර්ථික ක්‍රියාවලියත් ශක්තිමත් වුණා.

මේ රටේ ඉන්නේ දැනුමට ගරු කරන තමන් ගේ දරුවන්ට දැනුම ලබා දීම වෙනුවෙන් ඕනෑ ම පරිත්‍යාගයක් කරන්න සූදානම් ජනතාවක්. මේ සංස්කෘතික උරුමයන්ට ඇමතීම මඟින් ඒ උරුමය පණ ගන්වන අතර නොසිතූ විරූ ආර්ථික ප්‍රතිඵලත් අත්පත් කරගන්න පුළුවන් බව තමයි, මේ සිද්ධිය මඟින් කියාපාන්නේ.


මේ සිදුවීම් දෙක නිරීක්ෂණයේ දී සම්මත දැනුමින් ඔබ්බට ගිහින් අපේ රටේ සංස්කෘතිය පදනම් කරගත් මාර්ග ඔස්සේ මේ රටේ ආර්ථික අර්බුදයටත් විසඳුම් සෙවිය හැකි බව අපි විශ්වාස කරනවා.


අපේ ක්‍රීඩාව, සාහිත්‍ය, කලාව ආදී ක්ෂේත්‍රවලත් මේ තත්ත්වය දකින්න පුළුවන්.

රට ම හතර ගාතෙන් වැටිලා තිබුණත් ක්‍රිකට් ක්‍රීඩාව, දැල්පන්දු ක්‍රීඩාව, මලළ ක්‍රීඩාව, සිනමාව තුළ අපේ ක්‍රීඩකයෝ, කලාකරුවෝ ජය කෙහෙළි නංවමින් ශ්‍රී ලංකා දජය ඉහළට ඔසවමින් ඉන්නවා.

ඒ නිසා අපේ හර පද්ධතිය, සංස්කෘතිය පදනම් කරගත්, අපේ ජීවන දර්ශනය හඳුනාගත් වැඩපිළිවෙළක් දියත් කළොත් එ මඟින් ආර්ථික ජයග්‍රහණත් අත්පත් කරගත හැකි බව අපි විශ්වාස කරනවා.

මේ රටේ ජනතාව ගේ චින්තනය හඳුනා ගැනීමට අසමත් වූ, බටහිර දැනුම පමණක් දැනුම විදිහට සලකන දේශපාලනඥයින් විසින් අපේ රට ආර්ථික සහ දේශපාලන වශයෙන් නැවත හිස එසවිය නොහැකි අනාථ ජාතියක් බවට පත් කිරීමේ ජාත්‍යන්තර සැලැස්මක සිරකොට තිබෙනවා.



මෙ වැනි දුෂ්කර අවස්ථාවක පවා අපේ ජනතාව අපට අනන්‍ය චින්තනයක්, සංස්කෘතික උරුමයක් ඇති බවත්, අපේ උරුමය මත පය තැබුවහොත් අපට නැවත දෙපයින් හිටගන්නට පුළුවන් බවත් පෙන්නා දී තියෙනවා. උත්තර ලංකා සභාගය විදිහට මේ පණිඩිඩය ගැඹුරින් සලකා බලමින් උත්තර සොයන්නට අපි මැදිහත් වෙනවා.


ඒ වගේ ම ආර්ථික අර්බුදයට එක ම විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෙස සලකා තව දුරටත් කටයුතු කරන්නේ දැ යි ගැඹුරින් කල්පනා කරන ලෙස අපි මේ රටේ පාලකයින් ගෙන් ඉල්ලා සිටිනවා.

අපේ ජනතාව ගේ ශක්තිය, සභ්‍යත්ව උරුමය සහ දැනුම මත විශ්වාසය තබමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැවත නැඟී සිටීම සඳහා යොදා ගන්නා එක ආධාරකයක් විදිහට පමණක් යොදා ගන්නා ලෙසත් අපි පාලකයින් ගෙන් ඉල්ලා සිටිනවා.

ක්‍රීඩාව සහ සාහිත්‍ය කලා ආදී ක්ෂේත්‍ර ඔස්සේ තම සංස්කෘතික උරුමය, දර්ශනය සහ ශක්තිය පිළිබඳ පාලකයින්ට වටිනා පණිවිඩ ලබා දෙන අපේ රටේ ජනතාවට අපි ස්තූතිවන්ත වෙනවා.''

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්