පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ මත ගැටුමක් නිර්මාණය වී ඇති අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඊට සහාය

නොදැක්වීමේ ස්ථාවරයක සිටින බව වාර්තා වේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පෙරේදා (03) රාත්‍රී පැවැති අතර, විසිදෙවැනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එහිදි විරෝධය පළ කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස් බී දිසානායක, ආචාර්ය සරත් වීරසේකර, සිසිර ජයකොඩි යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් අදහස් දක්වා තිබිණ.

විසිදෙවැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කරන්නේ පක්ෂය තුළවත් සාකච්ඡා නොකර බව පවසා ඇති එම මන්ත්‍රීවරුන් මෙය කාගේ වුවමනාවට ගෙන එන්නේද යන්න ගැටලුවක් බව සඳහන් කර ඇත.


එහිදී අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයටත්, විසිවැනි  සංශෝධනයටත් සහාය දුන් මන්ත්‍රීවරුන්ට රෙද්දක් ඇඳගෙන විසිදෙවැනි සංශෝධනයට ඡන්දය දිය හැකි දැයි ප්‍රශ්න කර ඇත.


පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසි ගණනක් තමාට දුරකථනයෙන්  කතා කර, විසිදෙවැනි සංශෝධනයට විරුද්ධව ඡන්දය දෙන බව ප්‍රකාශ කර ඇතැයි  කාරියවසම් එහිදී ප්‍රකාශ කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක, ජනාධිපතිවරයා සතු විධායක බලය අත් නොහැරිය යුතු බව සඳහන් කර තිබේ.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස 89 භීෂණයට මුහුණ දුන්නෙත්, මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කළේත් පසුගියදා ඇතිවූ ගැටුම්වලදී පාර්ලිමේන්තුව බේරාගත්තේත් ජනාධිපතිවරයා සතු විධායක බලය තිබුණු නිසා බවද  දිසානායක මන්ත්‍රීවරයා අවධාරණය කර ඇත.

එබැවින් විධායක බලය ඉවත් කෙරෙන සංශෝධනයට සහාය දියනොහැකි බව ඔහු පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

මේ අතර අදහස් දක්වා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර, ආණ්ඩුකාරවරුන් වරුන් සතු බලතල, පළාත් සභාවල බලතල එසේ තිබියදී ජනාධිපතිවරයා සතු බලතල අඩු කිරීම ගැටලුවක් බව සඳහන් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කරනු ඇති බවයි.

 

එහිදී අදහස් දක්වා ඇති ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ සඳහන් කර ඇත්තේ, මෙය තමා ඉදිරිපත් කළ ද මෙය සකස් කළේ තමාගේ උවමනාට නොව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ද අදහසකට අනුව බවයි.
 

විසිදෙවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව ද ඔහු සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් පාර්ලිමේන්තුවේදී අද (05) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

මේ අතර 22  වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය හෙට(06) සහ අනිද්දා (07) පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්