කුවේට් රාජ්‍යයේ ඉරාන දේශසීමාව ආසන්නයේ පිහිටි කාන්තාරයක පවත්වා ගෙන ගිය ගොවිපළක බලහත්කාරයෙන් රදවා ගනිමින්, පහර දෙමින්, ආහාර සහ වැටුප් ලබා නොදෙමින් වැඩ ගනිමින් සිටි ශ්‍රී ලාංකික තරුණයන්

06 දෙනෙකු බලවත් පරිශ්‍රමයක් දරා එයින් බේරා ගෙන අද (09) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

මොවුන් සියලු දෙනා ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වූහ.

මොවුන් පිරිස කින්නියා ප්‍රදේශයේ නීත්‍යානුකූල නොවන තැරැව්කරුවෙකු මාර්ගයෙන් කුවේටයේ මෙම රැකියා සදහා ගොස් තිබු අතර එම පිරිස කුවේට් රාජ්‍යයේ ෂේක්වරයෙකු විසින් පවත්වා ගෙන යනු ලබන ගොවිපළක මෙසේ සේවයේ යොදවා තිබුණි.

 මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙම ගොවිපළේ සිට කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රාත්‍රී කාළයේ ලබා දුන්  දුරකථන ඇමතුමක් අනුව ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම සකස් කර ඇත.

අතිශය දුෂ්කර මංමාවත් නොමැති මෙම කාන්තාර ප්‍රදේශයේ පිහිටි මෙම ගොවිපළේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවීය. කුවේට් රාජ්‍යයේ ප්‍රබල ෂේක්වරයාගේ බලපෑම සහ පරිසරයේ පවතින දුෂ්කරතා වලට මුහුණ දීම සදහා කුවේටයේ ඉහළම ආරක්ෂක අංශ ප්‍රධානී මේජර් ජනරාල්වරියගේ සහාය ලබා ගැනීමෙන් විශේෂ හමුදාමය මෙහෙයුමක් දියත් කර මෙම පිරිස බලවත් පරිශ්‍රමයකින් පසුව බේරා ගෙන තිබිණ.

එසේම එම  නිලධාරීවරියගේ සහ එරට රජයේ සහාය මත මෙසේ මෙම පිරිස ශ්‍රී ලංකාවට එවීම සදහා වීසා ලබා ගැනීමට ද හැකි වී තිබේ .

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවන තානාපති නිලධාරී අබ්දුල් හලීම් සහ එහි තෙවන ලේකම් ජනක සමරසේකර මෙම ශ්‍රී ලාංකික තරුණයන් පිරිස බේරා ගැනීමට මහත් උනන්දුවකින් කටයුතු කර ඇත.

මෙසේ මෙම ගොවිපළේ මේ ආකාරයට රදවා ගෙන සිටි ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පදිංචි තවත් තරුණයන් තිදෙනකු මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඔවුන් ඇසුරෙන් මේ වනවිට ත්‍රිකුණාමලය ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මෙම නීතිවිරෝධී තැරැව්කරුවන් සහ මෙම සිද්ධිය  පිළිබඳව විමර්ශනයක් අරඹා තිබේ.

මෙම තරුණයන් පිරිස අද 09 දින අලුයම 03.30 ට කුවේට් සිට අල් ජසීරා ගුවන් සේවයේ ජේ.- 9551 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

 කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම තරුණයන් පිරිස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් භාර ගෙන, ඔවුන්ගේ නිවෙස් වෙත යැවීමට පියවර ගෙන තිබේ.


( ටී.කේ.ජී.කපිල - lankadeepa.lk)

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්