රටේ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය උවදුර කුමන හෝ ක්‍රමයකින් පාලනය කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා අවශ්‍ය ඕනෑ ම තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා තමාට උපදෙස් දී ඇති බව ද හෙතෙම කීය.

අනාගත දරු පරපුර විනාශ කිරීම වහා නතර කරන ලෙස තමා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔවුන් එසේ නොකරන්නේ නම් කුමන ආකාරයකින් හෝ නතර කිරීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේ ය.

මත්ද්‍රව්‍ය උවදුර හා පාතාලය මැඩලීම වැනි කාරණා පාලනය කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීම පිළිබඳව මේ වසරේ විශේෂ අවධානය යොමු කර ඇති බව ද ඇමතිවරයා පැවැසීය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා එබව අවධාරණය කර සිටියේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදීය. මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය හමුව බත්තරමුල්ලේ අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණි.



“මත්ද්‍රව්‍ය-මිනීමැරුම්-ස්ත්‍රී දූෂණවලට මරණ දඬුවම දිය යුතුයි”



මත්ද්‍රව්‍ය, ස්ත්‍රී දූෂණ හා මිනීමැරුම්වලට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කලයුතු බව තමාගේ පෞද්ගලික මතය බවද ඔහු සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ බොහොමයක පාතාල ක්‍රියාකාරකම් වැඩි වී ඇති බවත් ඒ සියල්ල මුලිනුපුටා දැමිය යුතු බවත් හෙතෙම සඳහන් කළේ ය.

මෙවැනි අපරාධ සිදු කරන පිරිස මේ සියල්ල වහා නතර කිරීමට පියවර නොගන්නේ නම් ඔවුන් කොහේ හෝ සැඟව සිටිමින් මේ ව්‍යාපාර මෙහෙයවුවත් ඒ සියලු දේ විනාශ කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවැසීය.

තව ද මෙවැනි අපරාධ සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබා දීමට 118 ක්‍ෂණික දුරකතන අංකය ඔස්සේ හැකියාව තිබෙන බවත් මේ සම්බන්ධයෙන් මහ ජනතාවගේ සහයෝගය ඉතා වැදගත් බවත් ඇමතිවරයා තවදුරටත් පැවසුවේ ය.

 


නිලන්ත ගැන විනය පරීක්ෂණයක්



මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට අමාත්‍යවරයා මෙසේ ප්‍රතිචාර දැක්විය.

ප්‍රශ්නය :
"පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ලවන නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් අරන් තිබෙන පියවර මොකක්ද මේ අවස්ථාවේදී ?"


අමාත්‍යවරයා :
"විනය පරීක්ෂණයක් කරන්න කියලා තිබෙනවා. මාස 6ක් තුළ දැනුම්දෙන්න කියලා. විනය පරීක්ෂණය කරනවා."



ප්‍රශ්නය :
 "ජුලි 9 වනදා ජනාධිපති මන්දිරයේ තිබිලා හම්බුණු කෝටියකට අධික මුදල නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු මහතා විසින් කොටුව පොලීසියට උපදෙස් දීලා තිබෙනවා ඔබතුමාට ගෙනල්ලා දෙන්න කියලා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා දැනුවත්ද ?"


අමාත්‍යවරයා :
 "දැන් දැනුවත් මෙහෙම කතාවක් තිබීම නිසා. එතුමා උපදෙස් දුන්නද මම දන්නේ නැහැ. එක නිලධාරියෙක් මොනවහරි දාපු සටහනක් තිබෙන්නේ. විමර්ශන CID යට භාරදීලා තිබෙනවා. CID වාර්තාව ආවහම බලාගන්න පුළුවන් ඇත්ත නැත්ත."


ප්‍රශ්නය:
 "DIG තෙන්නකෝන් මහතාට කවුරුහරි ඒ සම්බන්ධව උපදෙස් දීලා තිබෙනවද ?"

අමාත්‍යවරයා :
"නැහැ."


ප්‍රශ්නය :
 "DIG තෙන්නකෝන් මහතාව පොලිස්පති කිරීමේ සැලැස්මක් තිබෙනවද ?"

අමාත්‍යවරයා :
 "තාම පොලිස්පති ඉන්නවනේ."


ප්‍රශ්නය :
 "දැන් ළඟදි ඉඳන් පුපුරන ද්‍රව්‍ය සොයාගැනීම් එහෙම වැඩියි. ඒ සම්බන්ධව මොකක්ද අදහස ?"

අමාත්‍යවරයා :
 "පුපුරන ද්‍රව්‍ය දාලා සොයාගන්නවා කියලා හිතනවාද? එවැනි දේවල් වෙන්නේ නැහැ. පොලිස්පති එවැනි දේවල් කරන්නේ නැහැ. පුපුරණ ද්‍රව්‍ය දවස් දෙකක් හමුවුණා. ඊයේ රෑත් හමුවුණා. අරගලය තිබුණ කාලයේ පොලීසියට වෙන වැඩක් තිබුණේ නැහැ. අරගලය විතරයි තිබුණේ. පොලීසිය දැන් අනිත් රාජකාරීවල නිරතවෙලා ඉන්නවා. පොලීසිය අරගලය මැඩපවත්වන්න ඇදලා ගත්තා. කිසිම වැඩක් වුණේ නැහැ."

 

 

  JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්