හෙට (08) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ සිව් වන සභා වාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී නොවීමට සමගි ජනබලවේගය හා නිදහස ජනතා සභාව තීරණය කර ඇත.

සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ පාර්ලිමේන්තුව වාර අවසාන කර නව සැසිවාරයක් ආරම්භ කිරීමේ තීරණය පිටුපස වෙනත් න්‍යාය පත්‍රයක් පවතින බවයි.


පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම හේතුවෙන් ඇතිවන තත්ත්වයන් පිළිබඳව ද පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක 'නෙත් නිව්ස්' වෙත මෙසේ අදහස් පළ කළේය.

 

නිදහස ජනතා සභාවත් වර්ජනයට එක්වේ


මේ අතර නිදහස ජනතා සභාව ද පාර්ලිමේන්තුවේ නව සභාවාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් ඊයේ (06) ප්‍රකාශ කළේය.

'' මේ රටේ තිබෙන දූෂණ වංචා ජනතාවට එපා වෙලා. ගසා කෑම් ගැන අතිශය පිලිකුලක් තිබෙනවා. රටේ මුදල් පරිපාලනයට සම්බන්ධ වෙන පාර්ලිමේන්තුවේ  කමිටු 3 ක් තිබුනා. නමුත් දැන් මේ කමිටු වල වැඩපිලිවෙලවල් කඩා වැටිලා. සැසි වාරය අවසන් කිරීම නිසා ඒ සියල්ල නැවතුනා. කමිටු 40 ක් අහෝසි උනා.
රජය බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තු බහුතරය භාවිතා කර විරුද්ධ පක්ෂයේ අය කමිටු වලින් ඉවත් කරන්නයි. ඉවත් කර රජයට හිතවත් අය පත් කරයි.''

''පෙබරවාරී 8 වෙනිදා පාර්ලිමේන්තුවේ තිබෙන සංදර්ශනයට අපි සහභාගී වෙන්නේ නෑ.''  මහාචාර්ය ජී එල් පීරිස් එහිදී අවධාරණය කර සිටියේය.


ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට ප්‍රකාශයට


නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය හෙට (08) විවෘත කිරීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ  ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය විවෘත කිරීමට අදාළ සියලු කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

සභාවාරය විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට පෙ.ව 10.00ට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

නව සභාවාරය විවෘත කිරීමේ අවස්ථාව චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති බවත් ඒ අනුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බවත් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු  පැවසුවේය.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව අනිද්දා පෙ.ව 9.30 දක්වා සභාව කල්තැබීමට නියමිතය.

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්, හිටපු ජනාධිපතිවරුන්, අගවිනිසුරුතුමා, උපරිමාධිකරණ විනිසුරුවරුන්, නීතිපතිතුමා ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසකට ඇරයුම් කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු  සඳහන් කළේය.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්