දේශපාලනික වශයෙන් පැහැදිලි අර්බුදයක ගිලී සිටින්නේ එක්සත් ජාතික පක්ෂයයි. ඔවුන් මුහුණ දී සිටින්නේ ජනාධිපතිවරණය පරාජය වීමේ අර්බුදයට පමණක් නොවේ. පක්ෂයක් ලෙස අනාගත පැවැත්ම පිළිබඳ අර්බුදයකටද ඔවුන් මැදිවී ඇතැයි සිතිය හැක.
ආණ්ඩුවට දැනට ඇත්තේ අර්බුද නොව අභියෝගයන්ය. ආණ්ඩුව කරන කිසිදු දෙයක හොඳ නොදැකීමේ මෙන්ම ආණ්ඩුව සම්බන්ධ දැයි නැද්දැයි තවමත් පැහැදිලි නැති නරක සිද්ධීන් පවා ආණ්ඩුව මත පැටවීමේ ව්‍යායාමයේ නිරත පිරිසකගේ ප්‍රචාරක ව්‍යාපාරයකට ඔවුන්ට මුහුණදීමට සිදුව තිබේ. එම අභියෝගය එල්ල වන්නේ, ජනතාව සමග දේශපාලනය කරන එජාපය, ජවිපෙ, ටී.එන්.ඒ. වැනි විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ම නොවේ. පැවති ආණ්ඩුවේ, යහපාලන කොටසට උරුමකම් කියන රාජ්‍ය නොවන සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් සහ එහි හිතවතුන් එය වෙනම ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරමින් සිටින බව දැකිය හැක.
එහෙත් වැදගත් වන්නේ, එජාපයේ අනාගත පැවැත්මට බලපෑම් කරන්නේ මෙන්ම ආණ්ඩුවට එරෙහි සැලසුම් සහගත ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යන්නේ එකම පිරිසක් බවය.
ඒකාබද්ධ විපක්ෂ කඳවුරට විරුද්ධ, මෙම පිරිස ජනාධිපතිවරණ සමයේදී දෙකට කැඞී, කොටස් දෙකක් බවට පත්විය. එක් කොටසක් එජාප අපේක්ෂකයා ප්‍රේමදාස මහතා වියයුතු බව කියා ඔහු දිනවීමේ ව්‍යාපෘතියේ කොටස්කරුවන් බවට පත් වූහ. අනෙක් කණ්ඩායම ප්‍රේමදාස මහතාට ප්‍රහාර එල්ල කරමින් වික්‍රමසිංහ මහතාට හෝ කරු ජයසූරිය මහතාට අපේක්ෂකත්වය ලබාදීමට වෙහෙසුණේය.
අපේක්ෂක සටනින් සජිත් ජය ගැනීමත් සමග, එක්තරා ආකාරයකට අතරමං වූ මේ කණ්ඩායම රාජපක්ෂ මහතා පරාජය කිරීම උදෙසා, ප්‍රේමදාස මහතාව බදා ගත්තේය. ජනාධිපතිවරණයෙන් සජිත් පරාජය වීමත් සමග යළිත් ජයසූරිය කතානායකවරයා එජාප නායකයා කිරීමට මොවුන් ක්‍රියාත්මක වී ඇති ආකාරය දැකිය හැකිය.
මොවුන් ජවිපෙටද ඔවුන් හා එක්වූ ජාතික ජන බලවේගයේ කලාකරුවන්- බුද්ධිමතුන්ටද බැණවදිමින් සිටින්නේ, එම පිරිසද මෙම රාජ්‍ය නොවන සිවිල් සංවිධානවලින් යැපුන/යැපෙන එහෙත් හිතුවක්කාර වූ කණ්ඩායමක් ලෙස හැඟී යන පරිදිය.
වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ජවිපෙ ගත්තේ සිය පක්ෂයට සමපාත වූ දේශපාලන තීන්දුවක් ලෙස සැලකිය හැකිය. දේශපාලන පක්ෂ ගන්නා එවැනි තීරණ, පත්තර/ටී.වී.වලින් රට තේරුම් ගන්නා තුන් හතර දෙනෙකු වාඩි වී ගන්නා තීරණවලට වඩා බොහෝ වෙනස්ය.
රනිල් වික්‍රමසිංහ:
එක්සත් ජාතික පක්ෂය යනු ශ්‍රී ලංකාවේ සියලූ ජන කොටස් නියෝජනය කරන ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිය මත ක්‍රියාකරන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රධාන දේශපාලන පක්ෂයකි. එය ”එක්සත් ජාතික” පමණක් නොව, ”එක්සත් ආගමික” පක්ෂයක්ද වන්නේය.
මුල් කාලයේදී එහි ප්‍රධාන පෙළේ දෙමළ, මුස්ලිම් නායකයන් සිටියා පමණක් නොව, ඒ අනුව සියලූ ආගම් නියෝජනය කරන නායකයෝද සිටියහ. මේ නිසා සියලූ ජන කොටස්වල සහයෝගය එජාපයට ලැබුණේය.
එහෙත් මෙවර ජනාධිපතිවරණයේදී ඔවුන්ගේ පරාජයේ මූලික හේතුව වී ඇත්තේ, එම පක්ෂයට සහය දැක්වූ රටේ ප්‍රධාන ජන කොටස වන සිංහලයන්ගේ සහ ප්‍රධාන ආගම වන බෞද්ධයන්ගේ සහයෝගය සැලකිය යුතු මට්ටමින් ඔවුන්ට නොලැබීමය.
2015දීත් උතුර හා නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනයාගේ සහය ලැබුණේද මහින්ද රාජපක්ෂට නොව, එජාපය- ටී.එන්.ඒ. කඳවුර ඉදිරිපත් කළ මෛත්‍රීපාල සිරිසේනටය. 2019දීද එහි වෙනසක් නැති අතර මා මීට පෙරද ලියා ඇති පරිදි, සිදුවූයේ එම පළාත්වලින් ගෝඨාභය, මහින්දට වඩා සැලකිය යුතු අඩු ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමය.
මේ නිසා ඡන්ද ජයග්‍රහණය කිරීමට නම් සිංහල ජනතාවගේ මෙන්ම බෞද්ධ ජනතාවගේ විශ්වාසය යළි කඩිනමින් දිනා ගැනීම, එජාපයේ ප්‍රධාන අභියෝගයක් බවට පත්ව තිබීම සැඟවිය නොහැක.
එජාපයේ අර්බුදය ලෙස හඳුනාගත යුත්තේ.....
එහෙත් එජාපයේ අර්බුදය ලෙස හඳුනාගත යුත්තේ, මෙම අභියෝගය ජයගත නොහැකි වන අයුරින් එජාපය ග්‍රහණයට ගැනීමට ඇතැම් ප්‍රබල රාජ්‍ය නොවන සිවිල් සංවිධාන දරන උත්සාහයයි. ඔවුන්ට පොදුජන පෙරමුණට හෝ ශ්‍රී ලනිපයට එලෙස ළංවීමට තවමත් නිසි මාවතක් විවර වී නොමැති වුවද 2015 යහපාලන ආණ්ඩුවත් සමග එජාපය තුළ යම් දුරක් පැමිණ ඇති බව අනුමාන කළ හැකිය.
මෙය පැහැදිලිව පෙනෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කිරීමට ඔවුන් කළ මැදිහත්වීම හේතුවෙනි. එය අසාර්ථක වුවද උත්සාහය අත්හැර නැති මෙම කණ්ඩායම, දැන් එජාප නායකයා කවුරුන්දැයි තීරණය කිරීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි සිතිය හැක.
එජාපයට මෙහි ඇති අභියෝගය වන්නේ, ශ්‍රී ලංකාවේ බහුතරය වන සිංහල සහ බෞද්ධ ජනතාව නොසලකා හැරීමේ ප්‍රතිපත්තියක් පක්ෂය තුළට ඇතුළුවීමට ඇති ඉඩකඩය. 
කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන දෙදෙනා ම එජාපයේ සිටින සිංහල- බෞද්ධ නායකයන් යැයි කිවහැකි වුවද මෙම රාජ්‍ය නොවන සිවිල් සංවිධාන තෝරා ගන්නේ ම ජයසූරිය මහතාම පමණි. තවත් එවැනි නායකයෙකු ලෙස සැලකිය හැකි චම්පික රණවකද එජාපය හා එක්වීමට සූදානම් බව අඟවා තිබීම හොඳ දෙයක් ලෙස සැලකිය හැකිය.
මේ අනුව වික්‍රමසිංහ එජාප නායකයා වුවද, සිය පක්ෂයේ අනාගත පැවැත්ම ඇත්තේ දෙමළ, මුස්ලිම් ජනතාවගේ පමණක් නොව; හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි-කතෝලික ජනතාවගේ පමණක් නොව; බහුතරය වන සිංහල සහ බෞද්ධ ජනතාවගේද සහයෝග මත බව තේරුම් ගත යුතුව තිබෙන්නේය.
අනෙක් පැත්තෙන් රටේ බහුතර ජන කොටසේ ඡන්දවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් ලබාගත නොහැකි පක්ෂයක් ප්‍රධාන දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය හැකිද යන ප්‍රශ්නයටද ඔහු පිළිතුරු සෙවිය යුතුව තිබෙන්නේය.
ශ්‍රී ලාංකේය ජනතාව සමග පොළොවේ දේශපාලනය කරන නායකයන් හරහා මිස, රස්සාව ලෙස ”කෘතිම විප්ලව” කිරීමට උත්සාහ දරන රාජ්‍ය නොවන සංවිධානවල ග්‍රහණයට ලක්වූ නායකයන් හරහා ඊට මුහුණ දිය හැකි යැයි සිතිය නොහැක.
ගෝඨාභයට එරෙහි ව්‍යාජ වීඩියෝවට එරෙහි නොවිම....
ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යක් වනවාටද කැමැත්තෙන් සිටින විදෙස් ආධාර මුදල්වලින් යැපෙන ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන, රටේ බොහෝ මර්මස්ථාන සහ ඒවායේ සිටින බලපෑම් සහගත පුද්ගලයන්, සිය ග්‍රහණයට ගැනීමට කාලාන්තරයක් තිස්සේ උත්සාහ දරමින් සිටින බව පෙනේ. ඔවුන්ගේ ම වන මාධ්‍යවේදීන් පිරිසක් හා මාධ්‍ය සංවිධාන කිහිපයක්ද කලක සිට ක්‍රියාත්මක කරවමින් සිටින්නේද එහි කොටසක් ලෙස විය හැකිය.
ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ලෙස ලෝකයට හඳුන්වා දී ඇත්තේද ඔවුන්වය. රටේ සිටින මාධ්‍යවේදීන් අතරින් ඉතා සුළු පිරිසක් වන මෙම කණ්ඩායම, මාධ්‍ය සමබර වීම අනුන්ට උගන්වමින් සිටිනවා වුවද ඔවුන්ගේ වෘත්තීය භාවිතය තුළ හෝ එවැන්නක් තිබෙනවා දැකිය නොහැක.
ජනාධිපතිවරණය ආසන්නයේදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාවගේ ප්‍රකාශයක් යැයි කියමින්, අපේක්ෂකයෙකු වූ ගෝඨාභයට එරෙහිව ව්‍යාජ වීඩියෝවක් එළියට දැමූ සමාජ මාධ්‍ය භාවිතට එරෙහි නොවූ මෙම සංවිධාන, ගෝඨාභයගේ ජයග්‍රහණයෙන් පසු, සජිත් වෙනුවෙන් පෙනී සිටි යූ ටියුබ් සමාජ මාධ්‍යකරුවෙකුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීම පිළිබඳ සෑහෙන උනන්දුවක් දැක්වූයේය.
ජනමාධ්‍යකරුවෙකුගෙන් හෝ සමාජ මාධ්‍යකරුවෙකුගෙන් හෝ කාගෙන් හෝ නිසි හේතු දැක්වීමකින් තොරව, සී.අයි.ඩි.ය ප්‍රශ්න කරන්නේ නම් එය ප්‍රශ්න කළ යුතු කාරණාවක් වන්නා සේම රාජ්‍ය තාන්ත්‍රීක නිලධාරියෙකුගේ වීඩියෝවක් හඬ කවා, වර්ණ වෙනස් කර ව්‍යාජ ලෙස ඉදිරිපත් කිරීමේ අශෝභන ක්‍රියාවද හෙළා දැකීමට තරම් ශීලාචාර විය යුතුය.
එජාපය අද මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩ යායුත්තේ, පක්ෂ නායකත්වය වෙනස් කර ගැනීමෙන් පමණක් නොව, පක්ෂයේ අනන්‍යතාවද ආරක්ෂා කරගනිමින්ය. බහුතරය වන සිංහලයා කොන් කරන හෝ බෞද්ධයා කොන් කරන ක්‍රියාකාරීත්වයක් සහිත පක්ෂයක නායකයා ජාතික ඇඳුම ඇන්දාට, පන්සල් ගියාට ජනතා පිළිගැනීමට ලක්වේ යැයි සිතිය නොහැක.
ජනතා පරමාධිපත්‍යයට ගරු කරන්නේ නම්, එම සැබෑවට එජාපය මුහුණ දිය යුතුවාක් මෙන්ම පක්ෂය රාජ්‍ය නොවන සංවිධාන ග්‍රහණයෙන් ගලවා ගත හැකි නව නායකත්වයක්ද සොයාගත යුතුය.
ශානි අබේසේකර :
ශානි අබේසේකර යනු ජනමාධ්‍යවේදියෙකු දැයි කවුරුන් හෝ විමසුවහොත් එය සිනාවට කාරණාවක් වුවද එහි ගත යුත්තක් නැතැයි කිව නොහැකිය. ඒ, හිටපු සී.අයි.ඞී. අධ්‍යක්ෂවරයා වූ ඔහුව ස්ථාන මාරු කිරීම පිළිබඳ වැඩියෙන් ම විරෝධය පළකරමින් කතා කරන්නේ ජනමාධ්‍ය සංවිධාන වීම හේතුවෙනි.
මාධ්‍යවේදීන් රැසකට පසුගිය රාජපක්ෂ පාලන සමයේ අත්වූ බරපතළ ඉරණම පිළිබඳ විමර්ශන කළේ අබේසේකර මහතා නිසා, ඔහු වෙනුවෙන් පෙනී සිටින බව ඔවුන්ට තර්ක කළ හැකිය. එහෙත්, යළි රාජපක්ෂ පාලනයක් පැමිණීම වළක්වා ගැනීම උදෙසා රාජකාරිය ඉක්මවා කටයුතු කළ නිලධාරියෙකු යැයි ඔහුගේ විමර්ශන දෙස බලා තවත් අයෙකුට තර්ක කළ හැකිය.
මේ නිසා පක්ෂග්‍රාහී විමර්ශන උදෙසා බලපෑම් කළ බවට ඔහුට එල්ල වන චෝදනාද විභාග නොකර, ඔහු මාධ්‍යවේදීන් පිරිසකගේ මිතුරෙකු වූ පමණින්ම කිසිදු වරදක් නැති නිලධාරියෙකු වන්නේ නැත. අනෙක් පැත්තෙන් ශානි අබේසේකර සී.අයි.ඩි.යේ සිටි දක්ෂ විමර්ශන නිලධාරියෙකු ලෙස සැලකිය හැකි වුවත් දක්ෂතම නිලධාරියා හෝ එකම දක්ෂයා නොවන්නේය. ඔහුට මාරුවක් ලබා දී ඇත්නම් එය නීති විරෝධී නම් ඊට පොලිස් කොමිසම හරහා හෝ අධිකරණය මගින් කටයුතු කිරීමේ හැකියාවද ඇත්තේය.
අබේසේකර මහතා යටතේ සේවය කළ, සී.අයි.ඞී. ස්ථානාධිපතිවරයෙකු වූ නිශාන්ත සිල්වා පොලිසියටවත් නොදන්වා ක්ෂණිකව රටින් පිටවීම පිළිබඳව ඇත්තේද පැහැදිලි අදහසක් නොවේ. එසේ රටින් පැන ගිය හේතුව ඔහු
තවම පැහැදිලි කර නැත.
ශානිගේද ඔහුගේද මාධ්‍ය මිතුරන් සමාජ මාධ්‍ය හා ජනමාධ්‍යවල කියන පරිදි ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබූ නිසා විමර්ශනවල වැදගත් ම ලියවිලිද රැගෙන මෙසේ රටින් පිටව ගොස් තිබේ. ඔහුට මෙතරම් රහසිගතව, මෙතරම් ඉක්මනින් ස්විස්ටර්ලන්තයට යාමට හැකිවන්නේ කෙසේද? අත්අඩංගුවෙන් ගැලවීම සඳහා ගියේ නම් රාජකාරි ලිපි ගොනු රැගෙන ගියේ ඇයි? ඔහු ස්විස් තානාපති කාර්යාලය සමග බොහෝ කාලයක් තිස්සේ පවත්වාගෙන පැමිණි සබඳතාවක් මේවාට හේතුවිය හැකිය. නැතහොත් එම තානාපති කාර්යාලය හා සබඳතා පවත්වන රාජ්‍ය නොවන සංවිධාන ඊට උදව් කළා විය හැක.
අනෙක් පැත්තෙන් පැහැරගෙන ගොස් ලිංගික අඩත්තේට්ටම් කර, තර්ජනය කර, නිශාන්ත සිල්වා පිළිබඳ විමසු, බව කියන ස්විස් තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකේය සේවිකාව වන ගනියා බැනිස්ටර් ෆැන්සිස් ඔහුගේ ඥාතියෙකු හෝ මිතුරෙකු විය හැක.
මෙම සේවිකාව කවුදැයි හෙළි කිරීමට ස්විස් තානාපති කාර්යාලය සූදානම් නොවීමද සැකයට හේතුවන්නක් ලෙස සැලකිය හැකිය. අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගත නොවන්නැයි සහ 9 වැනිදාට පෙර අසී.අයි.ඞී.යට ප්‍රකාශයක් දෙන්නැයි, අධිකරණ නියෝග කර ඇති නිසා සහ ප්‍රශ්නය උසාවියට ගොස් ඇති නිසා එය විසඳාගත හැකිවනු ඇත.
ස්විස් තානාපති කාර්යාලයේ සහයෝගය නැතිව සී.අයි.ඩි.ය සොයාගෙන තිබුණේ ඇය මාළිගාකන්ද මහල් නිවාස සංකීර්ණයේ පදිංචි අයෙකු බවත් සැමියා නේෂන් ට්‍රස්ට් බැංකුවේ සේවය කරන බවත්ය. ”අපේ දුවලා ඇඳුම් අරගෙන රට ගියා” යනුවෙන් ඇගේ මව තමන්ට කී බව නිවාස සංකීර්ණයේ මුරකරු සඳහන් කළේ යැයි සී.අයි.ඩි.ය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියට දන්වා තිබිණි.
නිශාන්ත සිල්වා පොලිසියේ විමර්ශන නිලධාරියෙකු පමණක්ද නැතහොත් ඔහුගේ ක්‍රියාකාරිත්වය රාජකාරියෙන් එහා ගොස් තිබුණේද යන්න මෙම නූල් බෝලය ලිහා ගැනීමෙන් හා ඔහු අනාගතයේ ස්විස්ටර්ලන්තයේ සිටිමින් කරන කටයුතුවලින් තේරුම්ගත හැකිය.
රාජ්‍ය නොවන සිවිල් සංවිධානවල මැදිහත්වීම !
මේ සියලූ සිද්ධීන්වල වගකීම ක්ෂණිකව ආණ්ඩුව වෙත පැවරීමට ඉක්මන් වී ඇති පිරිස රාජ්‍ය නොවන සිවිල් සංවිධානවල සාමාජිකයන් හෝ හිතවතුන් වන පෙර කී කණ්ඩායම බවද අපැහැදිලි නැත. අදාළ මාධ්‍ය සංවිධාන පවා එම රාජ්‍ය නොවන සංවිධාන විසින් බිහිකරනු ලැබූ ඒවාය.
එහෙත් මෙවැනි කාරණා සාකච්ඡා නොකළ යුතු දේවල් ලෙස මා සලකන්නේ නැත. මක්නිසාද, නිවැරදිකරුවන් වැරදිකරුවන් කිරීමට හෝ නිසි පරීක්ෂණයකින් තොරව, නීතියට පිටින්-අධිකරණ ක්‍රියාමාර්ගයකින් බැහැරව කිසිවෙකුට එරෙහිව කටයුතු කිරීමට ආණ්ඩුවට හෝ කිසිවෙකුටත් අයිතියක් ඇත්තේ නැත.
ඒ වගේම, සිද්ධියක එක් පැත්තක් නොව, පැති කිහිපයක් ම තිබෙන්නේය. මේ නිසා තවමත් අපැහැදිලි සිද්ධීන් පවා ආණ්ඩුව කරපිටින් යවමින් සිටින අභියෝගයට, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට මුහුණ දිය හැක්කේ විනිවිද තීරණ හා විමර්ශන තුළින් බව අපැහැදිලි නැත.
අනෙක් පැත්තෙන් ජනතාව සමග පොළොවේ දේශපාලනය කරන පක්ෂද ඉක්මවා යමින් ආණ්ඩු හැදීමට, ආණ්ඩු පෙරළීමට පමණක් නොව, පක්ෂ නායකත්වයන් වෙනස් කිරීමට පවා මෙවැනි රාජ්‍ය නොවන සංවිධාන මැදිහත් වන්නේ නම් එය රටකට යහපත් තත්ත්වයක් යැයිද සිතිය නොහැක.
(ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ : උපුටා ගැනීම -රාවය පුවත්පතින්)







