MCC හෙවත් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් යළිත් වරක් දැඩි අවධානයක් යොමු වී තිබේ. ඊට හේතු වී ඇත්තේ, ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වූ දේශපාලනඥයින් MCC ගිවිසුම සම්බන්ධයෙන් පළ කරන විවිධ අදහස් හේතුවෙනි.
මේ සම්බන්ධයෙන් ඊයේ (11) පස්වරුවේ මොරටුවේදී පැවති 'ජාතික වියත්පවුර' සංවිධානයේ මධ්‍යම කාරක සභා රැස්වීම අමතමින් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ පැවසුයේ, MCC ගිවිසුම අත්සන් කරන ආණ්ඩුවක තමන් නොසිටිනු ඇති බවයි.
එම අවස්ථාවට වැඩමකළ 'ජාතික වියත් පවුර' සංවිධානයේ සභාපති පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
වීඩියෝ
“ආණ්ඩුව ඩොලර් මිලියන 480කට දණගහන්නේ නැහැ” – වාසු කියයි
මේ අතර රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසන්නේ, වත්මන් ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් නොකරන බවයි.
ඔහු මෙම අදහස් පළ කළේ ආණ්ඩු පක්ෂ නායක රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එසේ සිදුකරන්නේ නම් තමා එම ආණ්ඩුවෙන් ඉවත් වන බව ඔහු එහිදී අවධාරණය කළේය.
එම ගිවිසුම අත්සන් කිරීමට ජනාධිපති ගෝඨාභය හෝ අගමැති මහින්ද කිසිම දවසක එකඟ නොවන බවත් ඩොලර් මිලියන 480කට සිය ආණ්ඩුව දණ නොනමන බවත් ඇමැතිවරයා තවදුරටත් පැවසිය.
"70%ක් හොඳ" වුණු "ඇමෙරිකානු මර උගුල"
ජනාධිපතිවරණයට පෙර පැවති ප්‍රචාරක රැලියකදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ, "ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනපති වූ වහාම මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම කුණු කූඩෙට විසික් කරනවා කියන එක ජාතියට ලබා දෙන," බවය.
එහෙත්, පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් උදය ගම්මන්පිලගේ අදහස වූයේ, "ඇමෙරිකාවෙන් එන හැම දේට ම විරුද්ධ වෙන කුහකකමක්වත් මෝඩකමක්වත් අපට නැහැ," යන්නය.
"70%ක මුදලක් වෙන් වෙන්නේ ප්‍රවාහන ව්‍යාපෘතියට. 30%ක මුදලක් තමයි ඉඩම් ව්‍යාපෘතියට වෙන් වෙන්නෙ. අපේ ස්ථාවරය තමයි ප්‍රවාහන ව්‍යාපෘතියට අපේ කිසි විරෝධයක් නෑ. මේ ඇමෙරිකාවෙන් එන හැම දේට ම විරුද්ධ වෙන කුහකකමක්වත් මෝඩකමක්වත් අපට නැහැ," යනුවෙන් එහිදී උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සඳහන් කළේය.
වීඩියෝ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට පෙර චෝදනා කළේ, එය "ඇමෙරිකානු මර උගුලක්" වන අතර ඒ හරහා ඇමෙරිකාවට ශ්‍රී ලංකාවේ ඉඩම් "කුණු කොල්ලයට" විකිණෙන බවටය.
වත්මන් රජය MCC ගිවිසුම සම්බන්ධයෙන් දරන ස්ථාවරයේ යම් වෙනසක් සිදුවෙමින් පැවතීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ද අදහස් පළ වී තිබිණි.



මේ අතර, හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය ට්විටර් ගිණුමෙහි පළ කර තිබූ අදහසක දැක්වුණේ, "ඊයේ රැස්වුණු වොෂිංටන්හි MCC අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකා රජයේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය බවට තීන්දු කර ඇතැයි වාර්තා වන," බවය.
කෙසේ වෙතත්, ඇමෙරිකානු රජය මේ පිළිබඳ නිල ප්‍රකාශයක් මෙම ලිපිය සකසන අවස්ථාව වන විටත් නිකුත් කර නොතිබිණි.
පාර්ලිමේන්තු අනුමැතිය !
මෙම ගිවිසුම හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක මුදලක් ප්‍රදානයක් ලෙසින් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත අතර එම මුදල් ලැබෙනුයේ, ගිවිසුමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුවහොත් පමණි.
කෙසේ වෙතත්, සුළුතර ආණ්ඩුවක් සහිත වත්මන් රජයට MCC ගිවිසුමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම අභියෝගයක් බවට පත්ව තිබේ. ඒ, එක්සත් ජාතික පක්ෂය මෙම ගිවිසුම සම්බන්ධයෙන් කුමන ස්ථාවරයක් අනුගමනය කරයි ද යන්න නිශ්චිත නොවන හෙයිනි.
මොකක් ද මේ MCC ගිවිසුම?
මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා නැවත අය කර ගනු නොලබන ආධාරයක් ලෙස ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 85ක්) සැපයීමට නියමිතය.
ඒ, ව්‍යාපෘති ආධාර වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 447.5ක් සහ පහසුකම් සැපයීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 32.5ක් වශයෙනි.
මෙම ආධාර මුදල ලබා දෙන්නේ ප්‍රධාන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහාය.
# ප්‍රවාහන ව්‍යාපෘතිය: මේ යටතේ මධ්‍යම වටරවුම් මාර්ග ජාලයට (Central Ring Road Network) ඇතුළත් ප්‍රදේශවල මාර්ග නවීකරණය කිරීම, මාර්ග තදබදය කළමනාකරණය කිරීම, පොදු බස් රථ සේවාව නවීකරණය කිරීම, මාර්ග තදබදය පාලනය කිරීම සදහා ප්‍රවාහන කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීම ආදී කාර්යයන් සිදු කිරීමට නියමිතය.
# ඉඩම් ව්‍යාපෘතිය: මේ යටතේ තෝරාගත් දිස්ත්‍රික්ක 12ක රජයට අයත් සහ අයිතිකරුවන් සහිත ඉඩම් මැන නිසි ඔප්පුවක් නොමැතිව බලපත්‍ර මගින් ඉඩම් අයිතිය ලබාගෙන සිටින පුද්ගලයින්ට නිසි ඔප්පු ලබා දීමත්, ඉඩම් ඔප්පු ඩිජිටල්කරණය හරහා වාර්තා පවත්වාගෙන යාමත් අපේක්ෂිතය.
(උපුටා ගැනීම් -බීබීසී සිංහල සේවය)
සබැඳි පුවත් :
MCC ගිවිසුම: ඇමරිකාව නව රජය ගැන අධික්ෂණයක !
ගම්මන්පිලලා පදය වෙනස්කරයි : ''ඇමරිකානු MCC ආධාරය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ලු! (VIDEO)
MCC ගිවිසුම: අත්සන් කරන්නේ නෑ - විමල්; යළි සලකා බලනවා - කෙහෙළිය; අපි විරුද්ධයි - එජාප
‘MCC ගිවිසුම ලංකාවේ ක්‍රියාත්මක කරනවා' -ඇමරිකාව කියයි (VIDEO)
ජනපති ගෝඨාභය මුහුණදෙන පළමු අභියෝගය : ඇමරිකානු MCC ආධාරය ගන්නවද? නැද්ද?
MCC ගිවිසුම වාසියි -'සුද්ද සිංහලෙන් පැහැදිලි නොකිරීම ආණ්ඩුවේ වරදක්' - ආර්ථික විද්‍යාඥයෝ කියති







