ශ්‍රී ලංකාවේ බලයේ සිටි රජයයන් මානව හිමිකම් කඩකිරීම් සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කර ඇති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හෙවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි.
එම සංවිධානය පෙන්වා දෙන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ පොදු දේපළ පනත යොදාගනිමින් ක්‍රියාත්මක කළ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන බව ය.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ වාර්ෂික වාර්තාවෙන් මේ බව අනාවරණය කර තිබේ.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ 2022/23 වාර්තාවෙන් දකුණු ආසියාතික රටවල් හතක් ගැන අවධානය යොමු කර ඇත. ඒ, ඉන්දියාව, පාකිස්ථානය, ඇෆ්ඝනිස්ථානය, බංගලාදේශය, මාලදිවයින, නේපාලය හා ශ්‍රී ලංකාව පිළිබඳව යි.
සංවිධානයේ වාර්ෂික වාර්තාව දකුණු ආසියානු කලාපයේ දී එළිදැක්වීම මාර්තු 28 වැනිදා කොළඹ දී පැවැත්විණි.
ආර්ථික අසමානතාව !
1970 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවට මැදිහත් වන ක්ෂමා සංවිධානය මෙවර වාර්තාවෙන් මතුකර ඇති ප්‍රධානත ම කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික අසමානතාව යි.
පසුගිය සැප්තැම්බර් මාසය වන විට උද්ධමනය 73.7%ක් දක්වා ඉහළ යාමත් සමග ජනතාවට ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා ලබාගැනීමට ඇති හැකියාවේ කැපීපෙනෙන අඩුවීමක් සංවිධානය නිරීක්ෂණය කරයි.
ක්ෂමා සංවිධානයේ වාර්තාවේ ශ්‍රී ලංකාව පිළිබඳ නිරීක්ෂණයේ දී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බොහෝ මානව හිමිකම් කඩවීම් සඳහා බලයේ සිටි රජයන් භාවිත කර ඇති බව පෙන්වා දෙයි.
සාමකාමීව රැස්වීමේ ජනතා අයිතියට බාධා වන අන්දමින් 2022 වසරේ අප්‍රේල්, මැයි, ජුලි මාසවල දී වරින් වර සිදු කළ හදිසි නීතිය පැනවීම් මෙන් ම ගාලුමුවදොර අරගල භූමියට එවක රජයේ ආධාරකරුවන් මැයි 09 දා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ද වාර්තාවේ අවධානය යොමුකර තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ පොදු දේපළ පනත යොදා ගනිමින් කළ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් මෙන් ම, "අගෝස්තු මාසයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශිෂ්‍ය විරෝධතා නායකයන් තිදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීමට අනුමැතිය ලබා දුන්නේයැ"යි ද වාර්තාවේ සඳහන් ය.
උද්ඝෝෂකයින්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීම මෙන් ම, ඉන් ඔබ්බට ගොස් ජීව උණ්ඩවලින් වෙඩි තැබීම නිසා රඹුක්කන ප්‍රදේශයේ පුද්ගලයෙකු මියයෑම හා 2022 ජුලි 21 දින අරගලකරුවන්ට, මාධ්‍යවේදීන්ට, නීතිඥයන්ට පහරදීම ද වාර්තාව ඉස්මතු කර ඇත.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) ඉවත් කරන ලෙස හා පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස රජයට බලකරමින් විශ්වවිද්‍යාල සිසුන් මාර්තු 7 වැනිදා පැවැත්වූ විරෝධතාවයේ දී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.
"ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන බවට රජය පොරොන්දු වී තිබුණ ද දිගින් දිගට ම එය පවත්වාගෙන යාම සහ ජාතිකත්වය පදනම් කරගෙන මෙම පනත භාවිත කිරීම මේ දක්වා ම සිදු ව තිබේ. අතුරුදන්වූවන්ගේ පවුල්වලට මෙතෙක් යුක්තිය ඉටු වී නොමැත," වාර්තාවේ සඳහන් ය.
අතුරුදන් වූ බවට ලබාදෙන සහතිකයක් වෙනුවට පවුල්වල සාමාජිකයන්ට මූල්‍යමය වන්දි සහ මරණ සහතික භාරගන්නා ලෙස බලපෑම් කර ඇති බව ද ක්ෂමා සංවිධානය හෙළි කරයි.
මීට අමතර ව LGBTIQ ප්‍රජාවට එරෙහි නීති මෙතෙක් සංශෝධනය නොකිරීම සහ ඔවුන්ට වෙනස්කොට සැලකීම ද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය නිරීක්ෂණයේ දී හෙළිදරවු වී ඇති කරුණක් වේ.
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත (ATA) ගැනත් අවධානය
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරියක් වන අම්බිකා සත්කුණනාතන් සහ වෘත්තිය සමිති හා මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන ස්වස්තිකා ආරුලින්ගම්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා සභාවක් ද මෙහිදී පැවැත්වුණි.
එහි දී, ශ්‍රී ලංකාව දශක ගණනාවක් මුහුණ දි සිටින ජාතික ප්‍රශ්නය සහ ගෝල්ෆේස් අරගලය සමග එහි තත්ත්වයන් වෙනස් වූ ආකාරය පිළිබඳ සාකච්ඡා විය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට සම්මත කිරීමට ගෙන එන නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත (ATA) සම්බන්ධයෙන් ද එහි දී අවධානය යොමු විය.
එම පනත් කෙටුම්පතේ ද අපැහැදිලි නිර්වචන, රැඳවුම් නියෝග ලබා ගැනීමට ඇති හැකියාව, ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳ ගැටලු වැනි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ද තිබූ හිඩැස් ම තිබෙන බව අම්බිකා සහ ස්වස්තිකා යන දෙදෙනා ම මෙහිදී අවධාරණය කළහ.
(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)