බරපතල ලෙස හානි කරන ලද වව්නියාව දිස්ත්‍රික්කයේ හින්දු කෝවිලක ට අයත්, පොලීසිය භාරයේ මේ වන විට පවතින වන්දනා වස්තුවල සුන්බුන් පෙර තිබු ස්ථානයේ හෙට දිනයේම ස්ථාපිත කිරීමට කටයුතු යොදන ලෙස අධිකරණය විසින් පොලීසියට නියෝග කර තිබේ.



දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ එම්.ඒ සුමන්තිරන් පවසන්නේ වෙඩුක්කුනාරි ආදී ලිංගේස්වර කෝවිලට අයත් ආදිලිංගේශ්වරර් ප්‍රතිමාව ඇතුළු පුජා භාණ්ඩ තැන්පත් කිරීම සඳහා ඒවා හෙට දිනයේම පැමිණිලිකරුට බාර දෙන ලෙස නියෝග කළ වව්නියාව මහේස්ත්‍රාත් සුභාෂිනී තේවරාසා, සිදු විය හැකි හානිය වැලැක්වීම වෙනුවෙන් පමණක් එය අධීක්ෂණය කරන ලෙස පුරා විද්‍යා දෙපාර්තමේන්තුට දැනුම් දෙන්නැයි අප්‍රේල් 27 වැනිදා පොලීසියට නියෝග කළ බවයි.

 

"අපි ඉදිරිපත් කරපු කරුණු වලට සවන්දුන් විනිසුරු හෙට දිනයේම මේ පිළිම ටිකයි පූජා භාණ්ඩ ටිකයි පැමිණිලිකරුට දෙන්න කියලත්,  ඒ ටික හෙට දියේම එතනම ස්ථාපිත කරන්න කියලාත්, මේක පුරා විද්‍යා ප්‍රදේශයක් කියලා තියන නිසා මේක කරන කොට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නිරීක්ෂණය  කරන්න පුළුවන් විදිහට එයාලව දැනුවත් කරන්න කියලත් පොලීසියට අධිකරණය උපදෙස් දීලා තියනවා."

 

පැමිණිලි පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ එම්.ඒ සුමන්තිරන් වැඩි දුරටත් මාධ්‍යවේදීන් හා කියා සිටියේ ප්‍රධාන පැමිණිලිකරු වන කෝවිලේ ප්‍රධාන පූජක මනිමුගරාජා හෙට දිනයේම එම පිළිම සහ පුජා භාණ්ඩ තැම්පත් කිරීමට කටයුතු කරන බවයි.

"ප්‍රධාන පැමිණිලිකරුවන මනිමුගරාජා පොලීසියෙන් මේ බඩු ටික භාර අරගෙන හෙට දින ඔහු එතන ස්ථාපිත කරනවා.පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඒකට සහාය පළ කරලා හානි සිදුවීම වැලැක්වීමට පමණක් එයාලා කටයුතු කරන්න ඕනේ, වෙන බාධා මුකුත් කරන්න බෑ."

නඩුව මැයි 17 වැනිදාට කල් තැබු වව්නියාව මහේස්ත්‍රාත් සුභාෂිනී තේවරාසා වැඩි දුරටත් පොලීසියට නියෝග කර ඇත්තේ, වෙඩුක්කුනාරි  කන්දේ පිහිටි ආදී ලිංගේස්වර කෝවිලට හානි සිදු කළ පිරිස් අත්අඩංගුවට ගැනීමේ කටයුතු කඩිනම් කරන ලෙසයි.

 

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින වව්නියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කේනි ප්‍රදේශයේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදී ලිංගේස්වර කෝවිලට කිසියම් පිරිසක් විසින් හානි සිදු කිරීම සම්බන්ධයෙන් කෝවිලේ පාලනාධිකාරිය විසින් මාර්තු 17 වැනිදා වව්නියාවේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රාදේශිය කාර්යාලයට සහ පොලීසියට පැමිනිලි කර තිබුනි.

 

පළාත් බද වාර්තාකරුවන්ට පවසන්නේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදී ලිංගේස්වර කෝවිලට හානි සිදු කළ පිරිස කඳු මුදුනේ තැන්පත් කර තිබූ ආදිලිංගේශ්වරර් ප්‍රතිමාව ගලවා ලඳු කැලෑවට දමා තිබු  බවයි.

ආදී ලිංගේස්වර පිළිමයට අමතරව එම ස්ථානයේ තැම්පත් කර තිබු ගණදෙවි, අම්මන් සහ බහිරව යන ප්‍රතිමා ත්‍රිත්වයත් එම ස්ථානයෙන් අතුරුදහන් කර ඇති බව ට ඔවුහු වැඩි දුරටත් වාර්තා කර තිබුනි. මේතාක් එම ප්‍රතිමා හෝ සැකකරුවන් සොයා ගැනීමට පොලීසිය සමත්ව නැත.

කඩා  බිද දමා තිබූ වෙඩුක්කුනාරි ආදී ලිංගේස්වර කෝවිල ස්වෙච්ඡාවෙන් පිළිසකර කිරීමට ගිය පුෂ්පරාසා යුවරාජ් (24), යෝගේස්වරන් විශ්වරූබන් (17) සහ සිවලිංගම් මදියාලගන් (46) යන තිදෙනා අප්‍රේල් 1 වැනිදා අත්අඩංගුවට ගත් නෙදුන්කර්නි පොලිසිය ඔවුන් විසින් වඩා හින්දුවන්නට ගිය පිළිමය සහ පුජා භාණ්ඩ ද සිය භාරයට ගෙන තිබුණි.

මාර්තු 30 වැනි බ්‍රහස්පතින්දා වව්නියාවේ දී දැවැන්ත විරෝධතා පෙළපාලියක් සහ උද්ඝෝෂණ  දියත් කළ සිය ගණනක හින්දු බැතිමතුන් රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින වව්නියාව වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදී ලිංගේස්වර කෝවිලට හානි සිදු කළ  පිරිස් සොයා වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

දෙමළ ජනයාගේ වාර්ගික සහ ආගමික උරුමය වෙනස් කිරීමේ අරමුණින් උතුරු නැගෙනහිර සිදු කෙරෙන සියලුම ආක්‍රමණකාරී කටයුතු වහාම නතර කරන ලෙස රජයට බලකරමින් අප්‍රේල් 16 වැනි ඉරිදා යාපනයේදී එක්දින සත්‍යග්‍රහයක් දියත් කළ හින්දු සහ කතෝලික පූජකවරුට අමතරව දේශපාලනඥයන්ද ඉල්ලා තිබුනේ මේ වන විට විනාශයට පත් කර තිබෙන වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදි ලිංගේස්වර කෝවිලේ ශිව ලිංගය සහ දේව පිළිම වහා ප්‍රතිසංස්කරණය කොට  සාධාරණ නඩු විභාගයක් පවත්වා වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවයි.


සබැඳි පුවත් :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්