මැයි 12 වැනිදා සිට කොළඹ නගරයේ ආරක්ෂව තර කර තිබේ.

කොළඹ නගරයේ මෙන්ම තදාසන්න ප්‍රදේශවල සැරිසැරීමේදී පොලිසිය හා යුද හමුදාව නගරාසන්න ආරක්ෂාව සදහා යොදවා ඇති බව දැකගත හැකිය.

මහජන ආරක්ෂාව කඩකිරීමට කිසිවකුට කිසිවිටෙක ඉඩක් නොදෙන බව ජනාධිපති වික්‍රමසිංහ, ආරක්ෂක ප්‍රධානීන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවක දී පවසා ඇත.  

යම් සංවිධානානත්මක පිරිසක් විසින් මහජන කැලැඹීමක් ඇති කිරීමට හා මහජන ආරක්ෂාවට තර්ජනයක් ඇති කිරීමට සූදානම් වන බවට ජනාධිපතිවරයාට ලැබුණු තොරතුරු මත පසුගිය 12 වැනිදා සිට කොළඹට දැඩි ආරක්ෂාවක් යොදවා තිබේ.

මේ තොරතුරු ලැබීමත් සමඟ ජනාධිපතිවරයා වහාම ජනාධිපති ලේකම් සමන් ඒකනායකට සහ ආරක්ෂක උපදේශක සාගල රත්නායක මේ පිළිබඳ අවශ්‍ය පියවර ගන්නා ලෙසට දැනුම් දී තිබිණි.

ඒ අනුව, සාගල රත්නායක වහාම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සමග මේ පිළිබඳ සාකච්ඡා කොට හදිසි රැස්වීමක් කැඳවා තිබිණි. මේ අනුව යුද හමුදාපති විකුම් ලියනගේ, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සලේ, බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් යන නිලධාරින් ජනාධිපති කාර්යාලයට කැඳවා ඇත.

මෙහි දී ජනාධිපතිවරයාට ලැබී තිබු තොරතුරුවලට අනුව ආරක්ෂක අංශ කෙසේ සූදානම් විය යුතුද යන්න සහ ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ කෙසේ දැයි සාකච්ඡා කර ඇත.

මෙහි දී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ට,  ශ්‍රී ලංකා පොලිසිය හා යුද හමුදාව සම්බන්ධීකරණය කිරීමේ වගකීම පවරා ඇත. ඒ අනුව පසුගිය 12 සිට මේ දක්වා කොළඹ ආරක්ෂාව දැඩි කර තිබේ.


''අපට එහෙම තොරතුරක් ලැබිලා නැ '' - ආරක්ෂක අංශ කියයි


කෙසේවුවද බුද්ධි අංශ ප්‍රධානින් සහ ආරක්ෂා අංශ ප්‍රධානින් මෙම සාකච්ඡා පවසා ඇත්තේ අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයෙන් හෝ වෙනත් දේශපාලන කණ්ඩායමකින් මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුකරන බවට මෙතෙක් කිසිඳු තොරතුරක් ලැබී නොමැති බවයි.

එහෙත්, රජයේ 'දිනමිණ' පුවත්පත වාර්තා කර ඇත්තේ, කොළඹ ආරක්ෂාව තර කිරීම හේතුවෙන් මහජන සාමයට බාධාවන කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවීම වැළැක්වීමට ආරක්ෂක අංශ සමත්ව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් BBC සිංහල සේවය කළ විමසීමකදී හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් පැවසුවේ “අද දවසේ අලුතින් මාර්ග බාධක යොදවා තිබෙනවා. පොලිසිය හා හමුදාව එක්ව ඒ මාර්ග බාධක දාලා තියෙන්නේ. හමුදාව යොදවලා ඉන්නේ ස්ටෑන්බයි.” කියාය.

ඒ සම්බන්ධයෙන් හේතූ විමසීමේදී හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, “හේතුව තමා මේ දවස්වල රටේ පවතින මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැඩිවීම, බීමත්ව රිය පැදවීම් නතර කිරීම සහ ක්‍රයිම් රේට් එක”

“ඊයේ දිනයේ සාමාන්‍යයෙන් පොලිසිය හා යුද හමුදාව කන්ටින්ජන්සි එකක් තමා කළේ, හදිසි අවස්ථාවකට කොහොමද මුහුණ දෙන්නේ කියලා බලන්න. ඊයේත් හමුදාව හිටියේ ස්ටෑන්බයි. පොලිසිය තමා රාජකාරිය කරන්නේ. හමුදාව ඉන්නවා හදිස්සියක් වුණොත් ඒ ගොල්ලන්ට උදව් කරන්න.” ඔහු කියා සිටියේය.

මේ අතර නිල නොවන ආරංචිමාර්ග වලින් වාර්තා වන්නේ, මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි විරෝධතාවයක් ඉදිරියේදී  වුවහොත් ඊට මුහුන දීමට අවශ්‍ය පෙරහුරුවක් ලෙස මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බවයි.


සබැඳි පුවත් :
හදිසියේ ම කොළඹ ආරක්ෂාව තර කළේ ඇයි?- BBC වාර්තාව

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්