leader s

80 දශකයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මෙන්ම ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස කටයුතු කළ අභිප්‍රේරණ උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි මහත්මිය

අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඇය පිළිකා රෝගී තත්ත්වයකින් පීඩාවට පත්ව සිටියාය.

වසර ගණනාවක් තිස්සේ කාන්තාවන් අතරට ගොස් වැඩමුළු පැවැත්වීම මගින්ද මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හා ලේඛනය හරහාද ශ්‍රි ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා කරන ලද ප්‍රශංසාත්මක සේවය අගය කරමින් ලෝක සාමය හා උපාය මාර්ග පිළිබඳ සංවිධානය හා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානය මගින්  රත්නා පුෂ්ප කුමාරි මහත්මිය වෙත විශිෂ්ටතම කාන්තා සම්මානය ද පිරිනැමිණි.

කැළණිය ගුරුකුල විද්‍යාලයේ ආදි සිසුවියක වන ඇය පාසැල් සමයේම නාට්‍ය ඇතුළු කලා ක්ෂේත්‍රයට එක් වූ අතර ඇගේ  මව මෙන්ම කාව්‍යකරණයට ද දක්ෂතා දැක්වූවා සේම පාසැල අවදියේම ගුවන්විදුලි ළමා වැඩසටහන් සඳහා ද සම්බන්ධ වී ඇත.

ඉන්පසුව ජර්මානු සංස්කෘතික ආයතනය මගින් පැවැත්වුණු නාට්‍ය පාඨමාලාවක් ද ඇය හැදෑරූ අතර ජයන්ත චන්ද්‍රසිරි, කමල් අද්දරආරච්චි සහ ශ්‍රියන්ත මෙන්ඩිස් වැනි අද්‍යතන ප්‍රවීණයන් එකල එහි ඇගේ සමකාලීන ශිෂ්‍යයන් ය.

349564716 776623827249602 6821793077271183904 n
1979 වසරේ ළමා නාට්‍යයක්  නිෂ්පාදනය කරමින් ප්‍රකට වේදිකාවට අවතීර්ණ වන ඇය 1982 වසරේ ගුවන්විදුලි සංස්ථාවට එක්වනුයේ සහාය වැඩසටහන් නිෂ්පාදිකාවක ලෙසිනි. පසුව 1985 වන විට එහිම සහන නිවේදිකාවක් වූ ඇය පසුව 1988 වන විට ජාතික රූපවාහිනියට ද තේරී පත්වූ අතර වසර ගණනාවක්  වැඩසටහන් හා ප්‍රවෘත්ති ඉදිරිපත් කළාය.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සේම ස්වාධීන රූපවාහිනී සේවයේ යන ආයතන තුනෙහිම සමකාලයක ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස ඇය සේවය කළේය.

ළමා වේදිකා නාට්‍ය නිර්මාණය කරමින් එම නාට්‍ය ඔස්සේ අන්තර්ජාතික තරඟාවලි හා උත්සව රැසක්  නියෝජනය කොට සම්මානිත භූමිකාවක් හොඹ වූ ඇය ලෝක නාට්‍ය ආයතනයේ නාට්‍යවේදින්ගේ සංගමයේ  උප සභාපතිනිය ලෙස ද විදෙස් ඡන්දයෙන් පත්වූයේ ස්පාඤ්ඤයේ පැවති අන්තර්ජාතික කොන්ග්‍රසයේදීය.

පුවත්පත් ලිපි පන්දහසක් පමණ ලියා ඇති ඇය මනෝ විද්‍යාව, පෞරුෂ සංවර්ධනය, නාට්‍යවේදය සහ නිවේදන කලාව වැනි විෂය ගණනාවකට සබැඳි කෘති 18ක් පමණ ද රචනා කොට ඇත.

ළමා කුසලතා සංවර්ධන වැඩසටහනේ වසර 25 ක් අධ්‍යක්ෂිකා ලෙසද  කටයුතු කරමින් විවිධ ඇගේ විෂය ක්ශේත්‍රයේ  ලක්ෂ සංඛ්‍යාත සිසු නියැදියක් මේ වන විටත් දැයට දායාද කළ ඇය සුබ TV නමින් ඇගේම Youtube නාලිකාවක් ද පවත්වාගෙන ගියේය.

ඇයගේ දේහය අද (29) උදෑසන 10.00 සිට බෞද්ධාලෝක මාවතේ සුදර්ශි ආයතනයේත්, හෙට එනම් අගහරුවාදා(30) පෙරවරු 8.00ට දේහය ජයරත්න respect ශාලාව වෙත ගෙන ඒමට නියමිතය. 


අවසන් කටයුතු බදාදා සවස සිදු කෙරේ.

(dinamina.lk)
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්